ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
54. කච්චාන වග්ග
10. මොඝරාජ ථෙරාපදානය
’’පසැස් ඇත්තාවූ, සියළු ලෝකයන් (තත්වූ පරිදි) දැනගත්තාවූ, පස්මරුන් ජයගත්තාවූ, පදුමුත්තර නම් බුදුරජතෙමේ මින් (පෙර) සියක් දහස්වන කපෙහි ලොව පහළවූහ.
’’සව්සත්නට ඔවා දෙන්නාවූ, දහම් පිළිවිදුවන්නාවූ, (සත්ත්‍වයන්) සසරින් එතර කරන්නාවූ, දේශනාවෙහි දක්‍ෂවූ බුදුරජතෙමේ බොහෝ ජන සමූහයා සසර සයුරින් එතර කරවූහ.
’’සව්සත්නට අනුකම්පා කරන්නාවූ, කාරුණීකවූ, හිත කැමැත්තාවූ (එම බුදුරජතෙම) පැමිණි සියළු තීර්ත්‍ථකයින් පන්සිල්හි පිහිටවූහ.
’’මෙසේ (එම කාලය) තීර්ත්‍ථකයන්ගෙන් හිස්වූ, නිරවුල්වූ, තාදී ගුණ ඇති, (පඤ්චවශිතාවන්ගෙන්) වශීභූතවූ, රහතුන්ගෙන් විසිතුරුවූවක් විය.
’’එම බුදුරජතෙම අටපණස් රියනක් උසය. රන් ඇගෑවක් මෙන් බබලන්නේය. දෙතිස් මහ පුරිස් ලකුණු ඇත්තේය.
’’එකල්හි වර්‍ෂ ලක්‍ෂයක් ආයුෂ වෙයි. ඒ තාක් කල් වැඩහුන්නාහු, මෙම සර්‍වඥ තෙමේ බොහෝ ජන සමූහයා (සසරින) එතර කළහ.
’’එකල්හි මම හංසවතී නගරයෙහි එක්තරා කුලයක උපනිමි. අනුන්ගේ බැල මෙහෙ කිරීමෙහි යෙදුනේ, මට කිසිදු ස්වකීය ධනයක් නැත.
’’ආසන ශාලාවෙහි (පිරියම්) නොකළ බිමෙහි වසන්නේ එහි ගිනි දැල්වීමි. පොළොව දැඩිසේ කළුවිය.
’’එකල්හි සිව්සස් පවසන්නාවූ බුදුරජතෙමේ, පිරිස් මැදෙහි රළු සිවුරු දරන්නාවූ සව්වෙකුට පැසසූහ.
’’(මම) ඔහුගේ එම ගුණයෙහි සතුටුවූයේ, තථාගතයන් නැමී වැඳ, රූක්‍ෂචීවරධාරී භික්‍ෂූන් අතුරෙන් අග්‍රවූ එම උතුම් තනතුර පැතීමි.
’’එකල්හි පදුමුත්තර බුදුරජතෙමේ සව්වනට (මෙසේ) වදාළ සේක. ’’වැරහැලිවූ වස්ත්‍ර ඇති, සිහින් සිරුර ඇති, ප්‍රීතියෙන් පැහැදුනු මුහුණු ඇති, ශ්‍රද්ධා ධනයෙන් යුත්, ඌර්ධර්‍වාග්‍රවූ රෝම ඇති, සතුටුවූ, නිශ්චලවූ, සල් ගෙඩියක් අතින් ගත්තාවූ මෙතෙම රූක්‍ෂචීවරධාරීවූ, සත්‍යසේන නම් භික්‍ෂුවගේ එම (චීවර) වර්‍ණයට ඇදී ගිය සිත් ඇත්තේ ඒ තනතුර පතයි’’ යි (කියායි.)
’’එය අසා සතුටුවූයේම බුදුරජුන් හිස නමා නැමී වැඳ, බුදු සසුන්හි දිවි ඇතිතාක් යහපත්වූ කර්ම කොට,
’’මම මැනවින් කරන ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියේ වෙමි.
’’ආසන ශාලාවෙහි බිම දැවීමේ කර්‍මය කරණකොටගෙන, දුක් වේදනාවෙන් පීඩිතවූයේ, සත සහශ්‍ර වර්‍ෂයක් (හවුරුදු දහසක්) නිරයෙහි දැවුනෙමි.
’’මම ශේෂවූ එම කර්‍මයෙන් පන්සියයක් ජාතීන්හි කුලවත් මිනිසෙක්ව උපතින්ම සිරුරෙහි ලප ඇත්තෙක් වීමි.
’’පන්සියයක් ජාතීන්හි කුෂ්ඨ රෝගයෙන් ආතුරවූයේ, එම කර්‍මයාගේ බලයෙන්ම මහත් දුක් වින්දෙමි.
’’පැහැදි සිත් ඇති මම මෙම භද්‍ර කල්පයෙහි උපරිට්ඨ (පසේ)බුදුරජුන් පිණ්ඩපාතයෙන් තෘප්තියට පැමිණවීම කෙළෙමි.
’’එම විශේෂ කර්‍මය කරණකොටගෙනද, චිත්තප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
’’පශ්චිම භවය පැමිණි කල්හි කැත් කුලෙහි උපනිමි. පියාගේ ඇවෑමෙන් මම මහරජබවට පැමිණියේ වෙමි.
’’මම කුෂ්ඨ රෝගයෙන් වැඩුනේ (රජ සැපෙහි) ඇල්මක් නොලබමි. සුවයක්ද නොලබමි. යම් හෙයකින් රජ සුවය හිස්වීද, එහෙයින් මම මොඝරාජ නම් වීමි.
’’ශරීරයාගේ දොස් දැක අනගාර්‍ය්‍ය නම්වූ (බාහිර) සසුනෙහි පැවිදිවීමි. බාවාරි නම් ශ්‍රේෂ්ඨ බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යයෙකු බවට පැමිණියෙමි.
’’මහත්වූ පිරිවර සහිතව බුදුරජුන් වෙත එළඹ, වාදීන් මඩින්නාවූ එම වීරයන් වහන්සේගෙන් සියුම් ප්‍රශ්ණයක් විචාළෙමි.
’’මෙම (මිනිස්) ලොවද, (ඉන් පිටත්) පරලොවද, දෙව්ලොව සහිතවූ බඹලොවද, (ඔබවහන්සේගේ නුවණින්) දතයුතුය. හෙතෙම සර්වඥවූ ඔබවහන්සේගේ (ඒ පිළිබඳ) හැඟීම (කුමක්දැයි) නොදනිමි.
’’(දෙවියන් සහිත ලෝකයාගේ ආසයානුසය චරිතාධිමුක්ති ආදීන් දැකීමෙහි සමත් බැවින්) මෙසේ මනා දැකුම් ඇති (ඔබවහන්සේගේ) ප්‍රශ්න කිරීමෙන් (ඥාන) ආගමයක් (නුවණ පහළවීමක්) ඇත. ලෝකය කෙසේ දකින්නා මෘත්‍යුරාජයා නොදකීද,
’’මොඝරාජ හැමකල්හි සිහි ඇත්තේ සක්කාය දෘෂ්ඨිය ඇතිකොට (නොවසඟයෙහි පවත්නා බැවින් හෝ සංස්කාරයන්ගේ අසාර බැවින්) හිස් (ශූන්‍ය) වූවක් ලෙස ලෝකය දෙස බලනු මැනව. මෙසේ (ඇති කල්හි) ඉක්මවූවෙක් වන්නේයයි’’ සියළු සසර රෝගයනට වෛද්‍යවරයෙකු (වැනි)වූ බුදුරජතෙම මට මෙසේ වදාළ සේක.
’’(මෙම) ගාථාව දෙසා අවසාන වෙනවාත් සමගම කෙස් රැවුල් විරහිතවූයේ, කසාවත් හැඳුනේ, එබඳුවූ රහත් භික්‍ෂුවක් වීමි.
’’(කුෂ්ඨ) රෝගයෙන් පෙළුනාවූ මම වාත රෝගයකිනුදු පීඩිතවූයේ, ’’විහාරය කිලිටි නොවේවා’’යි සංඝීක විහාරයන්හි නොවිසීමි.
’’කසලගොඩින්ද, සොහොනින්ද, වීදිවලින්ද, (රෙදි කැබලි) ගෙනවුත් ඉන් සඟල සිවුරක් කොට රූක්‍ෂ චීවරයක් දැරීමි.
’’මාගේ එම ගුණයෙහි සතුටුවූ, සසර ලෙඩට අග්‍ර වෛද්‍යකවූ, ලෝකනායක බුදුරජතෙමේ මා රූක්‍ෂ චීවරධාරීන් අතුරෙන් අග්‍රයයි එතදග්‍රස්ථානයෙහි තැබූහ.
’’කුසලාකුසල කර්‍ම රැස්කිරීම නැතිවූයේ, සියළු රෝගයන්ගෙන් වෙන්වූයේ, දර නොමැති ගින්නක් මෙන් ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නෙමි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
’’මෙහි මේ අයුරින් ආයුෂ්මත් මොඝරාජ තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මොඝරාජත්ථෙරස්සාපදානං දසමං.
කච්චායනවග්ගො චතුපඤ්ඤාසමො.