ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

55. භද්දිය වග්ග

1. ලකුණ්ඨක භද්දිය ථෙරාපදානය

’’මින් (පෙර) සියක් දහස්වන කපෙහි සියළු ධර්‍මයන් විෂයයෙහි (විනිවිද දක්නා) ඇස් ඇත්තාවූ, ලෝකනායකවූ පදුමුත්තර නම් බුදුරජතෙමේ (ලොව) පහළවූහ.

’’එකල්හි මම හංසවතී නගරයෙහි මහත් ධන ඇති සිටුපුතෙක් (වීමි.) (ඒ) මම ජංඝා විහාරයෙහි හෙවත් සක්මණෙහි හැසිරෙන්නේ, සංඝාරාමයට ගියෙමි.

’’එකල්හි ඒ (පදුමුත්තර නම්වූ) ලොව බබුළුවන්නාවූ, ලෝකනායක (බුදුරජ) තෙම දහම් දෙසූහ. මිහිරි ස්වර ඇතියවුන් අතුරෙන් අග්‍රවූ භික්‍ෂුවකට පැසසූහ.

’’එය අසා සතුටුවූයේව මහර්ෂීවූ බුදුරජුන්හට සත්කාරකොට එම ශාස්තෘන් වහන්සේගේ (සිරි) පා වැඳ එම තනතුර පැතීමි.

’’එකල්හි ශ්‍රෙෂ්ඨ නායකවූ බුදුරජතෙම සංඝයා මධ්‍යයෙහිදී මතු කාලයෙහි එම චිත්තාභිලාශය සමෘද්‍ධවන්නේයයි ප්‍රකාශ කළ සේක.

’’මින් (මතු) සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපන්නාවූ, නම්න් ගෞතම නම් වූ ශාස්තෘතෙමේ ලොව පහළ වන්නාහ.

’’උන්වහන්සෙගේ ධර්‍මයෙහි දායාදීවූ, ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස (බුද්‍ධ) පුත්‍රවූ, නම්න් භද්දිය නම් වූ ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය.’’

’’මැනවින් කරන ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්තප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර, තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.

’’මින් පෙර දෙයානූවන කපෙහි (ගුණයෙන් කිසිවෙකුටත්) ලංවිය නොහැක්කාවූ, බලාත්කාරයෙන් මැඩලිය නොහැක්කාවූ, සව්ලෝ මුදුන්වූ, පස්මරුන් ජයගන්නාවූ, (පසළොස්) චරණ ධර්‍මයන්ගෙන් යුක්තවූ, මහත්වූ ඎජු ප්‍රතාප ගුණ ඇති ඵුස්ස නම් බුදුරජතෙමේ ලොව පහළවූහ. සව්සත්හට හිත කැමැත්තාවූ (එම බුදුරජතෙම) බොහෝ ජනයා (සසර) බැදුමින් මිදූහ.

’’උන්වහන්සේගේ නන්‍දාරාම නම් රාජොද්‍යානයෙහි ඵුස්ස නම්වූ කෝකිලයෙක් වීමි. (ඒ) මම ගඳකිළිය අබියස අඹ රුකෙක්හි වසමි.

’’එකල්හි මම පිඬු පිණිස හැසිරෙන්නාවූ, දක්‍ෂිණාර්‍හවූ බුදුරජුන් දැක සිත පහදවා මිහිරි හඬින් හැඬීමි.

’’එකල්හි රජ උයනට ගොස් (ඉදීගිය බැවින්) රන්වන්වූ පිට පොතු ඇති, මොනවට පැසුනාවූ අඹ ගෙඩියක් ගෙන බුදුරජුන්හට පිරිනැමීමි.

’’එකල්හි ලොකනායතවූ, මහාකාරුණීකවූ, බුදුරජතෙමේ මාගේ අදහස් දැන උපස්ථායකයන්ගේ අතින් පාත්‍රය ගත්සේක.

’’මම සතුටු සිත් ඇත්තේ අඹගෙඩිය බුදුරජුන්හට දුනිමි. එය පාත්‍රයෙහි බහා පියාපත්වලින් ඇඳිලි බැඳ (සිත්) අලවන්නාවූ, මනොඥවූ, මිහිරිවූ, ඇසීමට ප්‍රිය උපදවන බැවින් ශ්‍රවණීයවූ ස්වරයෙන් බුදුපුද පිණිස හඬලමින් මම කැදැල්ලට ගොස් හොත්තෙමි.

’’එකල්හි බුද්‍ධාලම්බන ප්‍රීති සහගත සිත් ඇති ප්‍රමුදිතවූ මා වෙත දුෂ්ඨ සිත් ඇති උකුස්සෙක් පැමිණ (ඒ මා) නැසීය.

’’මම ඉන් සැව එම කර්‍මයාගේ බලයෙන් තුෂිත දෙව්ලොව මහත් සැප අනුභවකොට, මිනිසත් බවට පැමිණියෙමි.

’’මෙම (මහා) භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, කථාකරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ටවූ, ගොත්‍රයෙන් කාශ්‍යප නම්වූ බුදුරජතෙම ලොව පහළවූහ.

’’හෙතෙම සසුන බබුළුවා, මිථ්‍යා තීර්ත්‍ථකයන් මැඩ (හික්මවියයුතු) විනෙය්‍ය ජනයන් හික්මවා, ශ්‍රාවකයන් සහිතවූ එම බුදුරජතෙම පිරිනිවියේ වූහ.

’’ඒ බුදුරජුන් පිරනිවි කල්හි පැහැදුනාවූ බොහෝ දෙන බුදුරජුන්හට පිදීම පිණිස (එම) ශාස්තෲන් වහන්සේට සෑයක් කරවත්.

’’සත් රුවනින් සරසන ලද, සත් යොදුන් සෑයක් මහර්ෂීවූ බුදුරජුන්හට කරන්නෙමු’’ යයි මෙසේ ඔවුහු මන්ත්‍රණය කරත්.

’’මම එකල්හි කිකී නම් කාසි රජුගේ සේනාවෙහි නායකයාව, චෛත්‍යයෙහි අප්‍රමාණවූ (විශාලවූ) ප්‍රමාණය (ගැන) කීමි.

’’එකල්හි මාගේ වචනය නිසා ඔවුහු බුදුරජුන්ගේ සත්රුවනින් සැරසූ චෛත්‍යය (සත් යොදුන් නොකොට) යොදුනක් උසැතිකොට කළාහුය.

’’මැනවින් කරන ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොට ගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.

’’මම දැන් (මේ) පශ්චිම භවය පැමිණි කල්හි, සැවත් පුරවරයෙහි සමෘද්‍ධවූ, පිරුණාවූ, මහත් ධන ඇති සිටු කුලයෙහි උපන්නේ,

’’නගර දොරෙහිදී බුදුරජුන් දැක විෂ්මය පත්වූයේ, පැවිදිව නොබෝ කලකින්ම රහත්බවට පැමිණියෙමි.

’’චෛත්‍යයාගේ (විශාලත්‍වය අඩුකොට) යම් ප්‍රමාණයක් කෙළෙම්ද, එම කර්‍මය කරණකොට ගෙන මම නින්‍දාවට සුදුසුවූ මිටි සිරුරු ඇත්තේ (වීමි.)

’’මම මිහිරි ස්වරයෙන් බුදුරජුන් පුදා, මිහිරි ස්වර ඇති භික්‍ෂූන් අතුරෙන් අගතැන්පත් බවට පැමිණියෙමි.

’’බුදුරජුන්හට (කළ) අම්බ ඵල දානය කරණකොටගෙනද, (උන්වහන්සේගේ) ගුණ සිහිකිරීම කරණකොටගෙනද, (සෝවාන් ආදී මාර්‍ග ඵල නම්වූ) ශ්‍රාමාණ්‍ය ඵලයන්ගෙන් යුක්තවූයේ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ලකුණ්ඨක භද්දිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

ලකුණ්ඩභද්දියත්ථෙරස්සාපදානං පඨමං.