ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
55. භද්දිය වග්ග
2. කඞ්ඛා රෙවත ථෙරාපදානය
’’මින් (පෙර) සියක් දහස්වන කපෙහි සියළු ධර්‍මයන් විෂයයෙහි (විනිවිද දක්නා සුළු) නුවණැ’ස් ඇති, ලෝකනායකවූ, පදුමුත්තර බුදුරජතෙමේ ලොව පහළ විය.
’’(එම සර්‍වඥතෙම) සිංහයෙකුගේ හණුවලට බඳු පිරුණු හණු ඇත්තේය. (අෂ්ටාංග සමූපෙත) බ්‍රහ්ම ස්වර ඇත්තේය. හංසධවනී ඇති බෙරයකට බඳු හඬ ඇත්තේය. හස්ති (රාජ) යෙකුගේ ගමනට බඳු ගමන් ඇත්තේය. සඳ හිරු පැහැයට අධිකවූ පැහැ ඇත්තේය.
’’මහනුවණැත්තේය. මහා විර්‍ය්‍ය ඇත්තේය. මහත් බල ඇත්තේය. මහා කරුණා ඇත්තේය. (අනාථයනට) නාථය. මහත් මොහඳුර නසන්නේය.
’’සත්ත්‍වයින්ගේ ආශයානුශයාදීන් (සිත හා එහි පවත්නා රාගාදිය) දන්නාවූ, තිලොවට අග්‍රවූ, මොනෙය්‍ය ගුණ යුත් ඒ සම්බුදුරජතෙම කිසි කලෙක්හි බොහෝ විනෙය්‍ය ජනයන් හික්මවමින් දහම් දෙසූහ.
’’එම බුදුරජතෙමේ ධ්‍යාන කරණසුළුවූ, ධ්‍යානයෙහි ඇළුනාවූ, උපශාන්තවූ, නොකැළඹුනාවූ, වීරවූ ශ්‍රාවකයෙකු පිරිස් මැදදී (ධ්‍යාන කරන්නවුනට අග්‍රයයි) වර්‍ණනා කරමින් ජනසමූහයා සතුටු කරවූහ.
’’එකල්හි මම හංසවතී නගරයෙහි (ත්‍රි) වේදයෙහි තෙරපත් බමුණෙක් (වීමි.) (එම) ධර්‍මය අසා සතුටුවූයේ, එකී තනතුර පැතීමි.
’’එකල්හි විශිෂ්ඨ නායකවූ බුදුරජතෙමේ සඟමැද මෙසේ පැවසුහ. ’’බමුණ, තුටුවනු මැනව. එම චිත්තාභිලාෂය (සමෘද්‍ධව) ලබනෙහිය.
’’(මින්) මතු සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නේය.
’’උන් වහන්සේගේ ධර්‍මයෙහි දායාදීවූ, ධර්මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස (බුද්ධ) පුත්‍රවූ, නම්න් ’’රේවත’’ නම්වූ ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය.’’
’’මැනවින් කරන ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් ලොව හැර තව්තිසාවට උත්පත්ති වශයෙන් ගියෙමි.
’’මම දැන් පශ්චිම භවය පැමිණි කල්හි කෝලිය නගරයෙහි කුලවත්, සමෘද්ධවූ, සම්පූර්‍ණවූ, මහත් ධන ඇති ක්‍ෂත්‍රිය වංශයෙහි උපන්නේ,
’’යම් කලෙක්හි (ගෞතම) බුදුරජතෙමේ කපිලවස්තු නගරයෙහි දහම් දෙසීද, එකල්හි බුදුරජුන් කෙරෙහි පැහැදුනේ, අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදි වීමි.
’’ඒ ඒ තන්හිදී කැප නොකැප දැයෙහි මාගේ සැකය බහුල විය. බුදුරජතෙමේ උතුම් දහම් දෙසා ඒ සියල්ල වැරදි අදහස් නැති කිරීමෙන් හික්ම වූහ.
’’ඉක්බිති මම තරණය කරන ලද සසර සයුරු ඇත්තේ, සෑම කල්හි දැහැන් සුවයෙහි ඇළුනේ වෙසෙමි. එකල්හි බුදුරජතෙම මා දැන මෙය වදාළ සේක.
’’සිය දැනුමෙහි හෝ, අනුන්ගේ දැනුමෙහි හෝ, මෙලෙව්හි හෝ, පරලෙව්හි හෝ, යම්කිසි සැකයක් වේද, ඒ සියල්ල ධ්‍යාන කරන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, බඹසරෙහි හැසිරෙන්නාවූ යමෙක් වෙත් නම්, (ඔවුහු) දුරුකෙරෙත්’’ (ය කියායි.)
’’මින් පෙර සියක් දහස්වන කපෙහි කරන ලද මාගේ කර්මය මෙහිදී විපාක දැක්විය. (දුන්නෙන්) මනාව මිදීගිය හී සැරයක් මෙන් මාගේ කෙළෙස් දැවීය.
’’ඉක්බිති ලොව කෙළවරට ගිය, මොනෙය්‍ය ගුණ යුත්, මහ නුවණැති බුදුරජතෙම, ධ්‍යානයෙහි ඇළුනාවූ මා දැක, ධ්‍යාන කරන්නාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයයි (අග්‍ර ස්ථානයෙහි) තැබූහ.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
’’මෙහි මේ අයුරින් ආයුෂ්මත් කඞ්ඛා රේවත තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කඞ්ඛාරෙවතත්ථෙරස්සාපදානං දුතියං.