ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
55. භද්දිය වග්ග
3. සීවලී ථෙරාපදානය
’’මින් පෙර සියක් දහස්වන කපෙහි හෙවත් කල්ප ලක්‍ෂයකට පෙර ලෝකනායකවූ, සියළු ධර්‍මයන්හි (විනිවිද දක්නා සුළු) නුවණැස් ඇති පදුමුත්තර බුදුරජතෙම ලොව පහළවූහ.
’’උන්වහන්සේගේ ශීලය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය. සමාධිය (බිඳිය නොහැකි බැවින්) වජ්‍රයක් මෙනි. උතුම්වු ඥානයද (මෙතෙකැයි) පමණ කළ නොහැකිය. විමුක්තියද (මෙබඳුයයි) උපමාවක් කළ නොහැකිය.
’’(එම ලෝක) නායකවූ බුදුරජතෙම මහණ බමුණන්ගෙන් ගැවසීගත් මිනිස්, දෙව් හා බඹ යන මොවුන්ගේ සමාගමයෙහි දහම් දෙසූහ.
’’(සිව්) පිරිස්හි විශාරදවූ බුදුරජ තෙමේ (ශීල සමාධ්‍යාදී) ආලෝකවත්වූ, පින්වත්වූ, මහත් ලාභ ලබන්නාවූ සිය සව්වෙකු එතදග්‍රස්ථානයෙහි තැබූහ.
’’එකල්හි මම හංසවතී නගරයෙහි රජෙක් විමි. (එකී) ශ්‍රාවකයාගේ බොහෝ ගුණ (පවසන) බුදුරජුන්ගේ (එම) වචනය අසා
’’ශ්‍රාවකයන් සහිත බුදුරජුන් පවරා සතියක් වළඳවා, මහදන්දී එම තනතුර පැතීමි.
’’එකල්හි පුරුෂ ශ්‍රේෂ්ඨවූ, මහා වීරවු, බුදුරජතෙම වැඳගෙන පාමුල නැමුනාවූ මා දැක මිහිරි ස්වරයෙන් මෙම වචනය (කීමට සැරසුනෝය.)
’’ඉක්බිති බුදුරජුන්ගේ වචනය අසනු කැමති මහාජනයාද, දිව්‍ය සුරගාන්‍ධර්‍වයෝද, මහත් ඎද්‍ධි ඇති බ්‍රහ්මයෝද,
’’මහණ බමුණෝද කරන ලද ඇඳිලි ඇත්තාහු, ’’පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා’’ යි (කිමින්) වැන්දාහුය.
’’(වැඳ) ඔබ වහන්සේට සතියක් මුළුල්ලෙහි (මෙම) රජතුමන් විසින් මහා දානයක් දෙන ලද මහාමුනීන් වහන්ස, (අපි) ඔහුගේ (එම කර්‍ම) විපාකය (කෙසේදැයි) අසනු කැමැත්තෝ වෙමු. පවසනු මැනවැ’’ යි (කිහ.)
’’ඉක්බිති භාග්‍යවත් තෙමේ (මෙසේ) වදාළ සේක. ’’මාගේ වචනය අසව්. දක්‍ෂිණා තොමෝ අපමණවූ ගුණ ඇති බුදුරජුන් කෙරෙහිද, සඞ්ඝයා කෙරෙහිද, මැනවින් පිහිටියාය. එම දක්‍ෂිණාවගේ (විපාකය) පවසන්නේ කවරෙක්ද, ඕතොමෝ අප්‍රමෙය්‍යවූ විපාක ඇත්තීය. එතකුදුවූවත් මේ මහාභාග්‍ය ඇති රජතෙමේ උතුම් තනතුරක් පතයි.
’’මහත් ලාභ ඇතියවුන් අතුරෙන් (ශ්‍රෙෂ්ඨ) ලාභියාවූ සුදර්‍ශන භික්‍ෂුතෙම යම්සේද, මමද එසේම වෙම්වා,’’ යනු ඔහුගේ පැතුමයි. මතු කාලයෙහි මෙම තනතුර හෙතෙම ලබන්නේය.
’’මින් (මතු) සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේය.
’’උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදීවූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස (බුද්‍ධපුත්‍ර)වූ නම්න් සීවලී නම් ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය’’ (කියායි.)
’’මැනවින් කරන ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්තප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) එළඹියේ වෙමි.
’’මින් (පෙර) එක් අනූවන කපෙහි මනොඥ ඇස් ඇති, සියළු දතයුතු ධර්‍මයන් වෙසෙසින් දක්නා සුළුවූ, ලෝකනායකවූ, විපස්සී බුදුරජතෙමේ ලොව පහළවූහ.
’’එකල්හි මම බන්ධුමතී නගරයෙහි එක්තරා කුලයෙක (නෑයන් විසින් කරන ලද) දයාව ඇත්තාවූ, (දෙමාපියන් විසින්) ප්‍රාර්ත්‍ථනාකොට ලබන ලද්දාවූ, කර්‍මාන්තයන්හි යෙදුනාවූ පුතෙක් වීමි.
’’එකල්හි එක්තරා උපාසක සමූහයෙක් තෙම විපස්සී බුදුරජුන්හට මහත්වූ ඉතා ප්‍රකටවූ පිරිවෙණක් කරවීය.
’’(පිරිවෙණ) නිමි කල්හිද, ඛාද්‍යවර්‍ගයන්ගෙන් යුක්තවූ මහා දානයක් දෙන්නේ (මෙහි කුමක් නැද්දැයි) සොයන්නේ, අළුත් දී හා (කැටි) මීද නොදුටුවෙමි.
’’එකල්හි මම ඒ අළුත් දී හා කැටි මීද ගෙන කර්‍මාන්ත ස්වාමියාගේ ගෙට ගියෙමි. (ඒ අළුත් දී හා කැටි මී) සොයන්නෝ මා දුටුවාහුය.
’’දහසකුදු දී ඒ දැක ඔවුහු නොලැබුවාහුය. එබැවින් මම (මෙසේ) සිතීමි. මෙය ලාමක වන්නෝය.
’’යම්සේ මේ සියළු ජනයෝ සත්කාර කෙරෙත්ද, ශ්‍රාවක සංඝයා සහිතවූ ලෝකනායක බුදුරජුන් කෙරෙහි සත්කාරයක් කරන්නෙමි’’ යි (කියායි.)
’’එකල්හි වනාහි මම මෙසේ සිතා, දීද, මීද එකට යොදා සඞ්ඝයා සහිතවූ ලෝකනායකයන් වහන්සේට දුනිමි.
’’මැනවින් කරන ලද එම කර්‍මය කරණකොට ගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
’’මම නැවත බරණැස් නුවර මහත් යස පිරිවර ඇති රජෙක්ව එකල්හි සතුරු රජෙකුට කිපියෙම්, නුවරින් (පිටවිය නොහැකි සේ) දොර වැසීම කරවූයෙමි.
’’ඉක්බිති (නුවරින් බැහැර යා නොහැකි සේ) අවුරණ ලද සතුරෝ සතියක් මුළුල්ලෙහි (හිරකොට) රක්නා ලද්දාහුද, එහෙයින් එම (අකුශල ධර්‍මයාගේ) විපාකය කරණකොටගෙන දැඩිවූ ඒ නිරයෙහි (දුකට) වැටුනෙමි.
’’මම දැන් අන්තිම ජාතියෙහි කොලිය නගරයෙහි උපන්නේ (වෙමි.) මාගේ මව් තොමෝ සුප්පවාසා (රජ මෙහෙසිය)ය. පියතෙම ’’මහාලී’’ ලිව්ඡවි (රජ) තෙමේය.
’’කුශල කර්‍ම බලයෙන් කැත් කුලයෙහි උපනිමි. නුවර දොර වැස්වූ අකුශල කර්‍ම බලයෙන් සත් අවුරුද්දක් මුළුල්ලෙහි හටගත් දුක් ඇත්තේ මව් කුසයෙහි විසීමි.
’’මම සතියක් මුළුල්ලෙහි මූඩගර්භව මහ දුකින් යුක්තවීමි. මාගේ මව් තොමෝ නුවර දොර වැසීමට කැමැත්ත දීම කරණකොට ගෙන මෙසේ අතිශයින් හටගත් දුක් ඇත්තී වුවාය.
’’බුදුරජුන් විසින් අනුකම්පා කරන ලද මම නිදුකින් (මවු කුසින්) නික්මුනෙමි. (සතියකට පසු ගිහිගෙන්) නික්මුනු දවස්හිම අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.
’’මහ නුවණැති ශාරීපුත්‍ර තෙමේ මාගේ උපාධ්‍යායයන් වූහ. මහත් ඎද්‍ධි ඇති මෞද්ගල්‍යාන තෙමේ මාගේ හිසකේ බාමින් අනුශාසනා කළහ.
’’හිසකේ බානා කල්හිම (කරගෙහිදීම) රහත්බවට පැමිණියෙමි. දෙවියෝද, මනුෂ්‍යයෝද, නාගයෝද සිව් පසය මට එලවත්.
’’පදුමුත්තර බුදුරජුන්ද, විපස්සී බුදුරජුන්ද, යම් හෙයකින් පිදූයෙම් නම්,
’’ඒ හේතුවෙන් එම කුශල කර්‍මයන්ගේ (විපාකයෙන්) වනයෙහිද, ගමෙහිද, දියෙහිද, ගොඩබිම්හි (දැයි යන) හැම තන්හි මහත්වූ, උතුම්වූ සිවු පසය වෙසෙසින් ලබමි.
’’යම් කලෙක්හි ලෝකාග්‍රනායකවූ බුදුරජතෙම තිස් දහසක් භික්‍ෂූන් සමග රේවත ස්ථවිරයන් දකින පිණිස වඩීද,
’’එකල්හි මාගේ ප්‍රයෝජනය පිණිස දෙවියන් විසින් එළවන ලද, සිව් පසයෙන් මහත් ප්‍රඥා ඇත්තාවූ මහත් වීර්‍ය්‍ය ඇති සංඝයා සහිතවූ, තුන්ලොවට නායකවූ බුදුරජතෙම මා විසින් උවටැන් කරන ලද්දේ වැඩමවා රේවත තෙරුන් දුටුසේක. ඉන්පසු දෙව්රමට වැඩ, ’’මහණෙනි, මාගේ සිසුන් අතුරෙහි සීවලී තෙමේ ලාභීන්ගෙන් අග්‍රය’’ යි මා ලාභීන් අතුරෙහි එතදග්‍රස්ථානයෙහි ලා තැබූහ. සව්ලොවට හිතවූ ශාස්තෘ තෙමේ පිරිස මැදදි මට පැසසූහ.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
’’මෙහි මේ අයුරින් ආයුෂ්මත් සීවලී තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සීවලිත්ථෙරස්සාපදානං තතියං.