ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

55. භද්දිය වග්ග

4. වඞ්ගීස ථෙරාපදානය

’’මින් (පෙර) දහස්වන කපෙහි හෙවත් කල්ප ගක්‍ෂයකට පෙර, ලොකනායකවූ,

’’සයුරේ රළ යම්සේ (විසිතුරුද), අහසෙහි තරු යම්සේ (විසිතුරුද), එසේ උන්වහන්සේගේ සසුන රහතුන්ගෙන් විසිතුරු විය.

’’ඒ ජනෝත්තමවූ බුදුරජතෙම දිව්‍ය, අසුර, නාග යන මොවුන් විසින් පිරිවරන ලදුයේ, බමුණන්ගෙන් ගැවසීගත් ජනයා මැද,

’’(භවෝත්පත්තිය දුරුකිරීමෙන්) ලෝකයාගේ කෙළවරට ගිය ඒ බුද්ධ දිවාකර තෙම ප්‍රභාවෙන් ලෝකයා රඳවමින් විනෙය්‍ය ජන නමැති පියුම් වචනයෙන් (හෙවත් වචන රැසින්) පොබයමින්,

’’චතුර්වෛශාරද්‍යයන්ගෙන් යුක්තවූ දුරුකරනලද බිය හා ඇළුම් ඇති (ක්‍ෂෙමයයි කියන ලද) නිවනට පැමිණියාවූ විශාරදවූ, පුරුෂෝත්තමවූ,

’’ලෝකනායකවූ බුදුරජතෙම හුදෙක් ශ්‍රේෂ්ඨවූ, උතුම්වූ තනතුර වන බුද්ධ භූමිය (හෙවත් බුද්ධත්‍වය තමා තුළ ඇතැයි) විරුද්‍ධව එන්නවුන් ඉදිරියෙහි දන්වයි. (එහෙත් උන්වහන්සේ හමුවෙහි ඔබට එබඳු බුද්ධත්‍වයක් නැතැයි චෝදනා කරන) කිසියම් චෝදකයෙක් නැත.

’’(මෙසේ) අභීත සිංහනාදය කරන, තාදී ගුණ ඇති උන්වහන්සේට විරුද්ධව කියන දෙවියෙක්, මිනිසෙක් හෝ බඹෙක් හෝ නැත.

’’උතුම් දහම් දෙසමින්, දෙවියන් සහිත ලෝකයා (සසර සයුරින්) එතර තරමින් පිරිස් මැද විශාරදව දම්සක් පවත්වයි.

’’වැටහීම් ඇති භික්‍ෂූන් අතුරෙන් අග්‍රවූ මැනවැයි සම්මතවූ ශ්‍රාවකයෙකු (දැක) බොහෝ ගුණ පවසා හේ එතදග්‍රස්ථානයෙහි තැබූහ.

’’එකල්හි මම හංසවතී නගරයෙහි උපන්නේ, මැනවැයි සම්මතවූ සියළු වේදයන් දන්නාවූ, වාදීන්ට අධිපතිවූ, වාදීන් මැඩපවත්වන්නාවූ බමුණෙක් වූයේ,

’’ඒ මහාවීරවූ බුදුරජුන් වෙත එළඹ එකී දම් දෙසුම අසා (ප්‍රතිභාණවත්) ශ්‍රාවකයාගේ ගුණයෙහි ඇළුනේ උතුම්වූ ප්‍රීතිය ලැබීමි.

’’එකල්හි මම සංඝයා ලෝකයා තුටු කරන්නාවූ බුදුරජුන් පවරා සතියක් වළඳවා වස්ත්‍රයන්ගෙන් හැඳවීමි.

’’හිසින් පාමුල වැටී (වැඳ) ලබන ලද අවකාශ ඇත්තේ, බඳින ලද ඇඳිලි ඇත්තේ, සතුටුවූයේ, එකත්පසෙන් සිටියේ, උතුම්වූ බුදුරජුන්හට ස්තූති කෙළෙමි. (කෙසේදයත්?)

’’වාදී (මෘගය)නට කොටියෙකු වැනිවූ උත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. මුළු ලොවට අග්‍රවූ උතුමාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා, අභය (දානය) කරන්නාවූ උත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා.

’’මාර බල මර්දනය කරන්නවුන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. (දෙසැට) මිසදිටු මඩිනවුන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ශාන්ති සුඛ දායකයාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. සත් ලොවට පිහිට (සිදු) කරන උතුමාණනි, ඔබ වහන්සේට නමස්කාර වේවා.

’’පින්වත් තෙමේ අනාථවූවනට පිහිටය. බියවූවනට අභය දෙන්නේය. ඝ්‍රාන්ත (විඩා) වූවනට විඩා හරනා බිමෙක. සරණ සොයනවුනට පිළිසරණෙක.

’’මේ ආදී නයින් මහත්වූ ගුණ ඇති සම්බුදුරජුන්හට පසසා, ’’වාදීශූරවූ (ප්‍රතිභාණවත්) භික්‍ෂුවගේ ස්වභාවය (තනතුරට) පැමිණියෙමි’’ යි කීමි.

’’එකල්හි අනන්තවූ වැටහීම් ඇති භාග්‍යවත් තෙමේ (මෙසේ) වදාළසේක. ’’ඒ යමෙක් තෙම පහන්වූයේ, ශ්‍රාවකයන් සහිතවූ බුදුරජුන් සියතින් වැළඳවීද, (ඒ සම්බුද්‍ධවූ) මාගේ ගුණ පැවසීද, මෙතෙම වාදීශූරවූ (ඒ ප්‍රතිභාණවත්) භික්‍ෂුවගේ තනතුර පතයි.

’’නොඅඩුවූ දෙවි මිනිස් සැප අනුභවකොට මතුකාලයෙහි ඒ ඔහුගේ සිත්හිවූ අදහස (සමෘද්‍ධව) ලබන්නේය.

’’මින් (මතු) සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේය’’

’’උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදීවූ, ධර්මයෙන්ම නිර්මිත කළාක් වැනි, ඖරස බුද්ධපුත්‍රවූ, නම්න් වංගීස නම්වූ ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය’’ කියායි.

’’එකල්හි එය අසා සතුටුවූයේම මෙත් සිතැත්තේ දිවි ඇතිතාක් තථාගත බුදුරජුන් (සිව්) පසයෙන් උවටැන් කෙළෙමි.

’’මම මැනවින් කරණලද එම කර්මය හේතුකොටගෙනද, චිත්තප්‍රණිධීන් කරණකොටගෙනද, මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.

’’මම දැන් (මේ) අන්තිම ජාතියෙහි පිරිවැජි කුලයෙහි උපන්නේ, උපතින් සත් හැවිරිදි වූයේ වීමි.

’’සියළු වේද දන්නෙක් වූයේ, වේදශාස්ත්‍රයෙහි විශාරදවූයේ, වාදීන්හට ශ්‍රේෂ්ඨවූයේ, චිත්තකථිකවූයේ, විරද්‍ධවාදීන් මඩනාසුළු වූයේ,

’’වඞ්ග රටෙහි උපන්නේනු’’ යි ’’වඞ්ගීසය නොහොත් වචනයෙහි අධිපතිනු’’ යි වංගීසයයි මාගේ නාමය සම්මත විය.

’’යම් කලෙක්හි මම දනුමැතිබවට පැමිණියේ, පළමු යෞවනයෙහි සිටියේ වෙම්ද, එකල්හි රම්‍යවූ රජගහනුවරදී සැරියුත් තෙරුන් දුටිමි.

පස්විසිවෙනි බණවරයි.

’’පිඬු පිණිස හැසිරෙන්නාවූ, ඒ පාත්‍රය ගත් අත් ඇති, සන්හුන්වූ, ලොල් නොවූ (නිශ්චල) ඇස් ඇති, පමණ දැන කථාකරන්නාවූ, වියදඬු පමණ දුර බලන්නාවූ,

’’එම සැරියුත් තෙරුන් දැක, මම හටගත් විෂ්මය ඇත්තේව, සිතට සුදුසුවූ, එකෙණෙහි වැටහුනාවූ, එතන්හිදීම රචිතවූ, විචිත්‍රවූ ගාථා පදයක් කීමි.

’’එකල්හි ඒ වීරවූ පණ්ඩිත ශාරීපුත්‍ර තෙමේ, ලොකනායකවූ, ශාස්තෘවූ සම්බුදුරජුන් ගැන කීය. මට පිළිතුරුද කීය.

’’තාදී ගුණ ඇති එම සැරියුත් තෙරුන් විසින් සතුටුකරන (මම) තෘෂ්ණා නොවූ බැවින් විරාග සහිතවූ, දුද්දස හෙවත් අවබෝධයට දුෂ්කරවූ, උතුම්වූ වාක්‍යයක් (ගාථාවක්) කොට, විසිතුරු වැටහීම් හෙවත් ප්‍රතිභාණයන් කරණකොටගෙන (එම සැරියුත් තෙරුන්ගේ) පාමුල සිරසින් නැමී (වැඳ), ’’මා පැවිදිකළ මැනවැ’’ යි කීමි.

’’ඉක්බිති ඒ මහා ප්‍රාඥවූ ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ මා බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණවීය. පාමුල සිරසින් නැමී (වැඳ) ශාස්තෘන් වහන්සේගේ සමීපයෙහි හුනිමි.

’’කථා කරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ බුදුරජතෙමේ, ’’වංගීස, කිම, කිසියම් ශිල්පයක් දනිහිදැ’’ යි මගෙන් ඇසූහ. මම උන්වහන්සේට, ’’දනිමි’’ යයි කීමි.

’’දොළොස් හවුරුදු ඉක්මගිය නමුදු වනයෙහි බැහැරලූ මළවුන්ගේ හිස්කබලක් (ගෙන), ’’තාගේ විද්‍යා විශෙෂය කරණකොටගෙන (එම හිස්කබල අයත් තැනැත්තා කොහි උපන්නේදැයි කීමට) ඉදින් හැකිවෙහි නම් (එය) කියව.’’

’’එසේය’’ යි මා පිළිගත් කල්හි හිස් කබල් තුණක් දැක්විය. නරකය, මිනිස් ලොව, දෙව් ලොව යන මේ තන්හි උපන්නවුන් (ගැන) කීමි.

’’එකල්හි ලෝකනායකවූ බුදුරජතෙම, පසේබුදුවරයෙකුගේ හිස්කබලක් දැක්වීය. ඉක්බිති මම (උන්වහන්සේ උපන් තැන කිය නොහැකි බැවින්) නටුවාවූ මාන ඇත්තේ පැවිද්ද ඉල්වීමි.

’’පැවිදිව බුදුරජුන්හට ඒ ඒ තන්හිදී ස්තූති කරමි. එහෙයින් මේ භික්‍ෂූහු මට කවියම සැපතකොට ඇත්තේයයි දොස් පහළ කෙරෙත්.

’’ඉක්බිති විශිෂ්ඨ නායකවූ බුදුරජතෙම විමසනු සඳහා මට මෙසේ වදාළ සේක. ’’මෙම ගාථාවෝ (කල් ඇතිව) සිතා මතා ගොතන ලද්දාහුද, නොහොත් තැනට සුදුසු පරිදි (එකෙණෙහි හිතට) වැටහෙන්නේද’’ (කියායි.)

’’වීරයන් වහන්ස, මම කවි ගැන සිතීම සම්පත්තිය කොට ඇත්තෙක් නොවෙමි. එම කවි එකෙණෙහි මට වැටහෙත්’’ (යයි කීමි.) වංගීස, එසේ නම් දැන් තැනට සුදුසු පරිදි (එකෙණෙහි) මට ස්තූති කරව’’ යි (බුදුරජතෙම වදාළ සේක.)

’’එකල්හි මම වීරවූ බුදුරජුන්හට එතැන්හිදීම ගාථාවන්ගෙන් ස්තූති කෙළෙමි. එකල්හි සතුටුවූ බුදුරජතෙම මා (ප්‍රතිභාණවත් භික්‍ෂූන් අතුරෙන්) අග්‍රස්ථානයෙහි තැබූහ.

’’මම (එකෙණෙහි) වැටහෙනසුළු සිතින් අනික් ප්‍රියශීලී භික්‍ෂූන් ඉක්මවීමි. එහෙයින්ම කළකිරුණේ රහත්බවට පැමිණියෙමි.

’’මෙම වංගීස භික්‍ෂුව වැනි (වහා) වැටහීම් ඇත්තවුන් අතුරෙන් අග්‍රවූ අන් කිසිවෙක් නැත. මහණෙනි, මෙසේ (එයින් අග්‍රයයි සිත්හි ලා) දරව්.’’

’’(මින් පෙර) සියක් දහස්වන කපෙහි කරන ලද කර්මය මෙහිදි මට විපාක දැක්වීය. (දුන්නෙන්) මැනවින් මුදා හළ හී සැරයක් මෙන් මාගේ කෙළෙස් දැවීය.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

’’මෙහි මේ අයුරින් ආයුෂ්මත් වඞ්ගීස තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

වඞ්ගීසත්ථෙරස්සාපදානං චතුත්ථං.