ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

55. භද්දිය වග්ග

5. නන්‍දක ථෙරාපදානය

’’(මින් පෙර) සියක් දහස්වන කපෙහි ලෝකනායකවූ, සියළු ධර්මයන්හි (විනිවිද දක්නාසුළු) නුවණැස් ඇත් පදුමුත්තර බුදුරජ ලොව පහළවූහ.

’’කථා කරන්නවුනට උතුම්වූ, පුරුෂ ශ්‍රේෂ්ඨවූ, බුදුරජතෙම සව්සත්නට හිත පිණිස, සුව පිණිස, වැඩ පිණිස දෙවියන් සහිත ලෝකයෙහි පිළිපන්නේ,

’’යසසින් අගතැන් පැමිණියාවූ, ශ්‍රී (සම්පත්) ඇත්තාවූ, ගුණ ඝෝෂා කථනය දරන්නාවූ, සියළු ලෝකයා විසින් පුදන ලද සිව්දිගින්හි ප්‍රකටවූ බුදුරජතෙම,

’’ඉක්මවූ (බුද්ධාදී අටතැන්හි සැකයයි කියන ලද) විචිකිච්ඡා ඇති, ඉවත්කළ (ධර්ම විෂයයෙහි) කෙසේද යනුවෙන් පැවති විමති ඇති, පරිපූර්‍ණවූ චිත්ත සංකල්පනාවෙන් හෙවත් සපිරුණු අදහස් ඇති හෙතෙම උතුම් සම්‍යක් සම්බෝධියට පැමිණියේ,

’’නූපන් මාර්ගයන්(ගේ) උපදවන්නාවූ මිනිස්නට උතුම්වූ (ඒ බුදුරජතෙම) (පෙර) කිසිවකු විසින් නොකියන ලදද (චතුරාර්‍ය්‍ය සත්‍යය)ද කීය. නොහටගත් (ඵල සමාපත්තීන්ද) හටගැන්වීය.

’’(නිවන්) මග අවබෝධකළ (නිවන්) මග දැනගත් (සෝවාන් ආදීවූ මගෙහි) දක්‍ෂවූ, (දෙව් මිනිස්නට) අනුශාසනා කරන්නාවූ (පුරුෂයන් හික්මවීමෙහි ලා රථාචාර්‍ය්‍යයෙකු බඳුුවූ පුරිසධම්ම) සාරථී ගුණ ඇතියවුන් අතුරෙන් උතුම්වූ නරශ්‍රේෂ්ඨවූ,

’’මහා කරුණාව ඇත්තාවූ බුදුරජුන් වනාහි එකල්හි දහම් දෙසූ සේක. මොහො-මඩෙහි ගැළුනු සත්ත්‍වයන් (ඉන්) ගොඩලති.

’’ඒ මහා මුනිතෙම භික්‍ෂුණීන්හට ඔවා දීමෙහි අග්‍රයයි සම්මතවූ ශ්‍රාවකයෙකු වණමින් (පසසමින්) එතදග්‍ර ස්ථානයෙහි තැබූහ.

’’එය අසා සතුටුවූ මම බුදුරජුන් පවරා සංඝයා සහිතව වළඳවා එම උතුම් තනතුර පැතීමි.

’’එකල්හි ප්‍රමුදිතවූ, මහර්ෂීවූ සර්‍වඥතෙම මට මෙසේ කීහ. ’’සුව ඇත්තේ වේවා. දිගාසිරි ඇත්තේ වේවා. ඒ මනදොළ (සපුරා) ලැබෙන්නේය.

’’මින් (මතු) සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළ වන්නේය.

’’උන්වහන්සේගේ ධර්මයෙහි දායාදීවු, ඒ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස බුද්‍ධපුත්‍රවූ නම්න් ’’නන්‍දක’’ නම්වූ ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය’’ කියායි.

’’මම මැනවින් කරන ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.

’’දැන් පශ්චිම භවය පැමිණි කල්හි මම සමෘද්ධවූ (සම්පත්තීන්) පිරුණු, මහත් ධන ඇති, උතුම්වූ සැවැත්නුවරෙහි සිටු කුලයක උපන්නේ (වෙමි.)

’’නගරයට පිවිසෙන කල්හි බුදුරජුන් දැක විෂ්මිතවූ සිත් ඇත්තේ, ජේතවනාරාමය පිළිගැනීමේදී අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.

’’නොබෝ කලකින්ම රහත්බවට පැමිණියේ වෙමි. ඉක්බිති සර්‍වදර්ශීවූ බුදුරජුන් විසින් අනුශාසනා කරන ලද මම තරණය කළ සසර සයුරු ඇත්තේ,

’’මම භික්‍ෂුණීන්හට ධර්‍මකථාවද පටිපුච්ඡාවද (විචාරීම) කෙළෙමි. මා විසින් අනුශාසනය කරන ලද ඒ සියළු භික්‍ෂුණීහු නොඅඩුවූ පන්සියයක් රහත් මෙහෙණියෝ වූහ. එකල්හි තුටුවූ බුදුරජතෙම භික්‍ෂුණීන්හට ඔවා දෙන්නවුන් අතුරෙන් මා අගතැන්හි තැබුහ.

’’මින් (පෙර) සියක් දහස්වන කපෙහි කරන ලද කර්‍මය මෙහිදී මට විපාක දැක්විය. (දුන්නෙන්) මැනවින් මුදාහළ හී සැරයක් මෙන් මාගේ කෙළෙස් දැවීය.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුමාරකස්සප තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

නන්දකත්ථෙරස්සාපදානං පඤ්චමං.