ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
55. භද්දිය වග්ග
6. කාළුදායි ථෙරාපදානය
’’මින් (පෙර) සියක් දහස්වන කපෙහි ලෝකනායකවූ, සියළු ධර්මයන්හි (විනිවිද දක්නාසුළු) නුවණැස් ඇති, පදුමුත්තර බුදුරජතෙම ලොව පහළවිය.
’’නායකයන් අතුරෙහි උතුම්වූ ගුණ අගුණ දැය මේ මේයයි දන්නාවූ, (දෙවි මිනිසුන්හට) ශාස්තෘවූ, කෙළෙහිගුණ නැවත, නැවත සිහිකරන්නාවූ බුදුරජතෙම සත්ත්‍වයන් තීර්ත්‍ථයෙහි හෙවත් නිවන් මගෙහි යොදයි.
’’අනන්ත ගුණ රාශියක් බඳුවූ, දයාවට වාසස්ථානවූ (එම සර්‍වඥතෙම) සියල්ල දන්නා නුවණින් (තරාදියකින් කිරිමක් මෙන් සත්ත්‍වයන්ගේ ආසයානුසය චරිතාධිමුක්තීන්) විමසා බලා උතුම්වූ ධර්‍මය දෙසති.
’’ඒ මහාවීරවූ බුදුරජතෙම කිසිකලෙක්හි අනන්ත ජනයාගෙන් යුත් සබ මැදදී සිව්සස් දහම් සහිතවූ මිහිරි ධර්‍මය දේශනා කරති.
’’ආදි, මධ්‍ය, පරියොසාන කල්‍යාණවූ ඒ උතුම් ධර්‍මය අසා සියක් දහසක් (ලක්‍ෂයක්) ප්‍රාණීන්හට ධර්‍මාවබෝධය විය.
’’එකල්හි පෘථිවි තොමෝ මහත් නාද පැවැත්වූවාය. මේඝයෝ ගර්‍ජනය කළාහුය. දෙව්-බඹ-මිනිස්-අසුර යන මොවුහු සාධුකාර පැවැත්වුහ.
’’කාරුණීකවූ ශාස්තෘතෙමේ ආශ්ර්‍ච්‍යයකි. සදහම් දෙසුමද ආශ්චර්‍ය්‍යයකි. සර්‍වඥතෙම භවසයුරෙහි ගිලුනුවුන් ගොඩ නැගූහ. ආශ්චර්‍ය්‍යයකි.
’’මෙසේ විශ්මයෙන් ඇලලීගිය, දෙව් බඹුන් ඇති කල්හි බුදුරජතෙම කුල පහදවන්නවුන් අතුරෙන් අග්‍රයයි ශ්‍රාවකයෙකු වර්‍ණනා කළ සේක.
’’එකල්හි මම හංසවතී නගරයෙහි ඇමති කුලයෙක උපන්නේ, දුටුවන් පහදවන්නාවූ, දැකුම්කළුවූ, සමෘද්ධවූ ධන ධාන්‍ය ඇති කෙනෙක් විමි.
’’මම හංසාරාමයට එළඹ එම බුදුරජුන්හට වැඳ, මිහිරි දහම් අසා, තාදී ගුණ ඇති එම බුදුරජුන්හට සත්කාරකොට,
’’මම (උන්වහන්සේගේ) පාමුල වැඳ (වැටී) මෙම වචනය කීමි. මුනීන්‍ද්‍රයන් වහන්ස, ඔබ වහන්සේ විසින් කුල පහදවන්නවුන් අතුරෙන් අග්‍රයයි යම් ශ්‍රාවකයෙක් තෙම පසසන ලදද, වීරයන් වහන්ස, මමද ශ්‍රේෂ්ඨවූ බුදුවරයෙකුගේ සසුනෙහි එබඳු (කුලප්පසාදක භික්‍ෂූන් අතුරෙන් අග්‍රවූ) ශ්‍රාවකයෙක් වෙවැ’’ යි කීමි. එකල්හි මහා කාරුණිකවූ බුදුරජතෙමේ මට අමා ඉසින්නාක් මෙන් ’’පුතණුවෙනි, නැගිටිනු මැනව, එම මනදොළ (සපුරා) ලබන්නෙහිය. බුදුවරයෙකු කෙරෙහි සත්කාරයක් කොට කෙසේ නම් නිෂ්ඵල වන්නේදැ’’ යි මට වදාළ සේක.
’’මින් මතු තිස් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ නම්න් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නේය.
’’උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදීවූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ ඖරස (බුද්ධ) පුත්‍රවූ නම්න් උදායි නම්වූ ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය’’ යි (වදාළසේක.)
’’එකල්හි එය අසා සතුටුවූයේව මෙත් සිත් ඇත්තේ විශිෂ්ඨ නායකවූ බුදුරජුන්හට (සිව්) පසයෙන් පරිවරණය (සේවය) කෙළෙමි.
’’එම කර්‍ම විපාකය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
’’දැන් මේ අන්තිම භවයෙහි රම්‍යවූ කපිලවස්තු නගරයෙහි සුද්ධොදන මිහිපතිහුගේ මහ ඇමති කුලයෙහි උපන්නේ,
’’යම් කලෙක්හි නරශ්‍රේෂ්ඨවූ සිද්ධාර්ත්‍ථ බෝසත් තෙමේ සව්ලොවට හිත පිණිසද, සුව පිණිසද ලුම්බිණි සල් උයනෙහිදී (මව් කුසින්) බිහිවීද,
’’එදවස්හිම මමද උපන්නේ එම බෝසත් සිදුහත් සමගම වැඩුනේ, (ඔහුට) ප්‍රියවූයේම දයාවත්වූ, ව්‍යක්තවූ, නිතිදක්‍ෂවූ සහායකයෙක් (වීමි.)
’’වයසින් එකුන් තිස්හැවිරිදිවූ ඒ (සිදුහත්) බෝසත්තෙමේ ගිහිගෙන් නික්මුනේ, පැවිදිවිය. (දුෂ්කර ක්‍රියාවෙහි යෙදීමෙන්) සවසක් ගෙවා විශිෂ්ඨ නායකවූ බුදුවරයෙක් වූහ.
’’(එම සිදුහත්තෙම) සේනා සහිතවූ මාරයා ජයගෙන ආශ්‍රවයන් ක්‍ෂයකොට, භව සයුර තරණය කොට, දෙවියන් සහිත ලෝකයෙහි බුදුවරයා වූහ.
’’ඉසිපතනයට ගොස්, පඤ්චවග්ගිය භික්‍ෂූන් හික්මවා, ඉක්බිති භාග්‍යවත් තෙමේ ඒ ඒ තන්හි ගොස් (විනෙය්‍යාජනයන්) හික්මවූහ.
’’හික්මවියයුතු ජනයන් හික්මවන්නාවූ එම බුදුරජතෙම දෙවියන් සහිත ලෝකයාට සංග්‍රහ කරමින් මගධ පර්‍වතයට හෙවත් රජගහනුවරට එළඹ එකල්හි එහි විසූහ.
’’එකල්හි සුදොවුන් රජතුමන් විසින් යවන ලද මම ගොස් බුදුරජුන් දැක පැවිදිව රහත්වීමි.
’’එකල්හි බුදුරජුන් අයැද කපිලවස්තු නගරයට පැමිණවීමි. උන්වහන්සේ එහි වැඩමවීමට පෙරාතුවම මම ගොස් (සුදේධාදන) මහරජ කුලය පැහැදවීමි.
’’එම ගුණයෙහි සතුටුවූ, විශිෂ්ඨ නායකවූ එකී (ගෞතම) බුදුරජතෙම මහ පිරිස් මැදදී මා කුල පහදවන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තැබූහ.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කාළුදායි තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කාළුදායිත්ථෙරස්සාපදානං ඡට්ඨං.