ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

55. භද්දිය වග්ග

7. අභය ථෙරාපදානය

’’මින් (පෙර) සියක් දහස්වන කපෙහි ලෝකනායකවූ, සියළු ධර්‍මයන්හි (විනිවිද දක්නාසුළු) නුවණැස් ඇති පදුමුත්තර බුදුරජතෙම ලොව පහළවිය.

’’(එම) තථාගතතෙම කිසිවෙකු සරණාගමනයෙහි පිහිටුවති. කිසිවෙකු ශීලයෙහිද, උතුම්වූ දශ (කුශල) කර්‍ම පථයෙහිද පිහිටුවති.

’’ඒ බුද්ධවීරතෙමේ කිසිවෙකුට උතුම්වූ (සෝවාන් ආදිවූ සතර) ශ්‍රාමාණ්‍යඵලය හෙවත් ශ්‍රමණ බැව්හි උසස් ප්‍රතිඵල දෙයි. එසේම ත්‍රිවිද්‍යාවන්ද, අෂ්ඨසමාපත්තීන්ද දෙයි.

’’නරෝත්තමවූ (එම) බුදුරජතෙම කිසියම් සත්ත්‍ව කෙනෙක් ෂඩ් අභිඥාවන්හි යොදවයි. ඒ (පිහිටක් නොමැති) අනාථයනට (පිහිටවන බැවින්) නාථවූ තථාගතතෙම කිසිවෙකුට සිව් පිළිසිඹියාවන් දෙයි.

’’(දමනය කළයුතු පුරුෂයන් හික්මවන බැවින්) නරසාරථීවූ බුදුරජතෙම යොදුන් අංසඛ්‍යයක් දුර තන්හි සිටියාවූද, ධර්‍මාවබෝධයට සුදුසු සත්ත්‍ව සමූහයා දැක මොහොතකින් (එහි) එළඹ (ඔවුන්) හික්මවති.

’’එකල්හි මම හංසවතී නගරයෙහි සියළු වේදයන්ගේ පරතෙරට ගියාවූ, ව්‍යාකරණ සංඛ්‍යාත ශබ්ද ශාස්ත්‍රයෙහි විශාරදයෙකැයි සම්මතවූ, (ශබ්දාර්ත්‍ථයන් නිවැරැදි ලෙස තැනුමට උගන්වන) නිරුක්ති ශාස්ත්‍රයෙහි දක්‍ෂවූ, (ශබ්දාභිදානයන් දැනගැනුමට උගන්වන) නිඝණ්ටු ශාස්ත්‍රයෙහි විශාරදවූ, (ව්‍යාකරණයෙහිම ආදීම අවස්ථාව ලෙස සැලකෙන නාවාදී) පදයන් දන්නාවූ, (කාව්‍යකරණයේදී කවීන්හට උපකාරවන අලඞ්කාරාදිය ඇතුළත් ක්‍රියා කල්ප විකල්පයැයි කියන ලද) කෙටුහ ශාස්ත්‍රයද දන්නාවූ, (අක්‍ෂරයන්ගේ නියමය දැක්වෙන ඡන්‍දස් වෙන්කොට දැනගැනීමට උගන්වන) ඡන්‍දො විචිති වෙදාඞ්ගයෙහිද දක්‍ෂවූ බ්‍රාහ්මණ පුත්‍රයෙක් වීමි.

’’මම ජඞ්ගාවිහාරයෙහි යෙදෙමින් හෙවත් ශරීර සනීපය උදෙසා ඇවිදිමින් හංසාරාමයට එළඹ කථාකරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ, මහාජනයා විසින් පිරිවරන ලද, නිර්‍මලවූ ධර්‍මය දේශනා කරන්නාවූ බුදුරජුන් දුටිමි. (එයට) විරුද්ධ අදහස් ඇති මම (සමීපයට) එළඹ උන්වහන්සේගේ නිර්‍මලවූ වචනය අසා,

’’වැරදි ලෙස යොදන ලද්දාවූ හෝ, නැවත නැවත කියන ලද්දාවූ හෝ, විරුද්ධ අදහස් ඇත්තාවූ හෝ, නිරර්ත්‍ථකවූ හෝ, එම බුදුරජුන්ගේ (වචනයක්) මම නොදුටිමි. එහෙයින් මම පැවිදිවූයේ වෙමි.

’’නොබෝ කලකින්ම සියළු ශාස්ත්‍රයන්හි විශාරදවූයේ, බුද්ධ වචනයෙහි දක්‍ෂවූයේ, ගණයා පරිහරණයට සුදුසුයැයි සම්මතවූයේ හෙවත් ස්ථිරවූයේ වීමි.

’’එකල්හි මම බුදුරජුන්හට පසසන්නාවූ, (අක්‍ෂර) ව්‍යඤ්ජන ඇති, ගාථා හතරක් ගොතා දිනපතා කියන්නෙමි. (කෙසේද යත්?)

’’මහාවීරයන් වහන්ස, (ඔබ) භය සහිතවූ සසරෙහි වසමින් (ඉන්) වෙන්වූයේ වෙහිය. (සත්ත්‍වයා කෙරෙහි පතළාවූ) කරුණාව කරණකොටගෙන පිරිනිවන් නොපෑය. එහෙයින්ම බුදුරජතෙම කාරුණිකය.

’’යමෙක් පෘථග්ජනවූයේම ක්ලේශ වසඟ නොවූයේද, යමෙක් ප්‍රඥාවෙන් හා ස්මෘතියෙන් යුක්තවේද, එහෙයින් මෙතෙම නොසිතිය හැකි ගුණ ඇත්තේය.

’’යමෙකුගේ සිතෙහිවූ මෙම දුර්වල ක්ලේශයෝ ඥානාග්නියෙන් දවන ලද්දාහු ඉතිරි නොවූවාහුද, එය විෂ්මයකි.

’’යම් බුදුවරයෙක් තෙම සියළු ලෝකයාහට යම්සේ ගරුද, එසේම යම් ඒ බුදුරජුන්හට ලෝකයාද එසේම ගරුය. එසේම උන්වහන්සේ ලෝකාචාර්‍ය්‍යය. ලෝකයා උන්වහන්සේ අනුගමනය කරන්නේ වේ.

’’මේ ආදීන්ගෙන් සම්බුදුරජුන්හට පසසමින් දිවි ඇතිතාක් දම් දෙසුම් කොට ඉන් චුතවූයේ ස්වර්‍ගයට ගියේ වෙමි.

’’මින් (පෙර) සියක් දහස්වන කපෙහි බුදුරජුන්හට පැසසීමක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (බුදුරජුහට) පැසසීමෙහි මේ විපාකයයි.

’’මම දෙව්ලොවෙහි මහාරාජ්‍යයද, ප්‍රාදේශිකවූ යම් රාජ්‍යයක් වේනම් එයද, චක්‍රවර්ති මහාරාජ්‍යයද බෙහෙවින් අනුභව කෙළෙමි.

’’දෙව් අත්බැව්හිද, යලි මිනිස් අත්බැව්හිද යන දෙඅත්බැව්හිම උපදීමි. (ඉන් පිටත්) අනික් ගතියක් නොදනිමි. (බුදුරජුන්ගේ) ගුණ කීර්‍තනයෙහි මේ විපාකයයි.

’’කැත් කුලයෙහි, යලි බමුණු කුලයෙහිද යන දෙකුලයෙහිම උපදිමි. පහත් කුලයෙහි නොඋපදිමි. (බුදුරජුන්ගේ) ගුණ කීර්‍තනයෙහි මේ විපාකයයි.

’’මම දැන් (මේ) පශ්චිම භවය පැමිණි කල්හි උතුම්වූ ගිරිව්‍රජ පුරයෙහි නම්න් අභය නම්වූ බිම්සර රජුගේ පුත්‍රයෙක් වීමි.

’’පාපමිත්‍ර වසඟයට ගොස් නිගණ්ඨයෙකු විසින් මුලාකරණ ලද්දාවූ (නිගණ්ඨ) නාථ පුත්‍රයා විසින් මෙහෙයන ලද්දාවූ මම බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹ,

’’(නිගන්ඨයන් විසින්) පුහුණු කරන ලද ප්‍රශ්නයක් විචාරා (බුදුරජුන්ගේ) උතුම්වූ (එම ප්‍රශ්න) විසඳීම අසා පැවිදිව නොබෝ කලකින්ම රහත් බවට පැමිණියෙමි.

’’බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට පසසා හැමකල්හිම පසසන ලදුයේ වෙමි. සුවඳවත්වූ සිරුර හා මුව ඇත්තේ සැප ලබන්නෙක් වීමි.

’’මම එම කර්‍මයාගේ බලයෙන් තික්ඛපඤ්ඤද, හාසුපඤ්ඤද, ලහුපඤ්ඤද, මහාපඤ්ඤද, එසේම විසිතුරු වැටහීම් ඇත්තේද වෙමි.

’’පහන් සිත් ඇත්තේ, අසමවූ, සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පදුමුත්තර නම් බුදුරජුන්හට පසසා එම කුශල කර්‍මයාගේ විපාකයෙන් කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි අපාය භූමියට නොගියෙමි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

’’මෙහි මේ අයුරින් ආයුෂ්මත් අභය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

අභයත්ථෙරස්සාපදානං සත්තමං.