ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
55. භද්දිය වග්ග
8. ලොමස කඞ්ගිය ථෙරාපදානය
’’මෙම (මහා) භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, කථාකරන්නවුන් අතුරෙන් උතුම්වූ කාශ්‍යප නම්වූ බුදුරජතෙම ලොව පහළ විය.
’’එකල්හි මමද, (මාගේ සහායවූ) චන්‍දන තොමේද සසුනෙහි පැවිදිව ජීවිතාන්තය දක්වා ශාසනයෙහි ප්‍රතිපත්ති ධර්‍මය පුරා,
’’අප දෙදෙනම ඉන් සැව සන්තුෂිතයෙහි උපන්නාහු, එහි දිව්‍යමයවූ නෘත්‍ය-ගීත-වාදිතයන් කරණකොටගෙනද,
’’රූපයාදී දශවිධ අංගයන් කරණකොටගෙනද, සෙස්සන් අභිභවනයකොට මහත් සම්පත් අනුභවකොට දිවි ඇතිතාක් වැස,
’’ඉන් සැව චන්‍දන තෙමේ දෙවියෙක්ව උපන්නේය. මම කපිලවස්තු නගරයෙහි ශාක්‍යපුත්‍රයෙක් වීමි.
’’යම් කලෙක්හි උදායී ස්ථවිරයන් විසින් ඇරයුම් කරන ලද බුදුරජතෙම ශාක්‍යයන්හට අනුකම්පාකොට කපිලවස්තු නගරයට වැඩි සේක්ද,
’’එකල්හි අතිශය මානවත්වූ, බුදුරජුන්ගේ ගුණ නොදන්නාවූ, ජාතිමානයෙන් තදවූ, ආදර විරහිතවූ ශාක්‍යයෝ සම්බුදුරජුන්හට නොවඳිත්.
’’ඔවුන්ගේ අදහස දත් බුදුරජතෙම අහසෙහි සක්මන් කළ සේක. වස්ස වළාහකයා මෙන් වැස්සවූ සේක. ගින්න මෙන් දිලිසුණ සේක.
’’අසමානවූ (උන්වහන්සේගේ) රූපය දක්වා නැවත අතුරුදහන් වූ සේක. පළමුවෙන් එකෙක්ව (පෙනී) නැවත බොහෝදෙනා (ලෙස පෙනෙන්නට) විය. යලි එකෙක් ලෙස පෙනෙන්නට විය.
’’අඳුරද, එලියද නොයෙක් අයුරින් දක්වා ප්‍රාතිහාර්‍ය්‍යකොට බුදුරජතෙම ඥාතීන් හික්මවූ සේක.
’’සිව්දිගෙහි පවත්නාවූ මහා මේඝයක් වැස්සේය. එකල්හි බුදුරජතෙම වෙස්සන්තර ජාතකය දේශනා කළ සේක.
’’එකල්හි ඒ සියළු ක්‍ෂත්‍රියයෝ ජාතිමානයෙන් හටගත්තාවු මදය නැතිකොට බුදුරජුන් සරණකොට ගියාහුය. එකල්හි සුදේධාදන රජතෙම මෙසේ කීය.
’’(මහත් ප්‍රඥා ඇති බැවින්) භූරිපඤ්ඤ නම්වූ, (සර්‍වඥතා ඥානයෙන් යුත් බැවින්) සමන්ත චක්ඛු නම්වූ බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේගේ සිරිපා වඳිමි. මේ තෙවන වැඳුමයි. යම් කලෙක්හි විශිෂ්ඨ ජන්ම ඇත්තේ, පෘථිවිය කම්පාවීද, (ඒ අසිත තවුස් හමුවෙහි මාගේ පළමු වැඳුම විය.) (එසේම) යම් කලෙක්හි වප්මඟුල්දා සමවත් සුවෙන් පළක් බැඳ හිඳ දඹරුක් සෙවන නොහැරීද, ඒ මාගේ දෙවන වැඳුමයි.’’
’’එකල්හි ඒ බුද්ධානුභාව දැක විෂ්මය පත් සිත් ඇත්තේ මවට පුදන්නාවූ මම පැවිදිව එහිම විසීමි.
’’එකල්හි චන්‍දන දිව්‍යපුත්‍රතෙමේ මා වෙත එළඹ භද්දෙකරත්ත (සූත්‍ර)ය පිළිබඳ සංක්‍ෂිප්ත ක්‍රමය හා විස්තර ක්‍රමය විචාළේය.
’’එකල්හි මම දිව්‍ය පුත්‍රයා විසින් මෙහෙයන ලදුයේ, බුදුරජුන් වෙත එළඹ භද්දෙකරත්ත සූත්‍රය අසා කලකිරුණේ, වනයෙහි විසීමට කැමතිවූයේ,
’’එකල්හි හුදකලාව වනයෙහි වසන්නෙමැයි (මවගෙන් කැමැත්ත) විචාළෙමි. මාගේ මවුතොමෝ (මා) සිව්මැලියයි එය වැළකුවාය. එකල්හි (මම මවට) මෙසේ කීමි.
’’හිඳීම්, සිටීම්, සක්මන් කිරීම් යන ත්‍රිවිධ ඉරියව්වෙන්ම යුතුව (විවේකයෙන්) භාවනා වඩමින් දබ්භ නම්වූ කුසතණද, කාශනම් තෘණද, සැවැන්නද, මුඤ්ජතෘණ හා බබ්වජ තෘණද, (සයනය) කළවිට ලයෙහි තැවරෙන බැවින් සයනය නොකරමි. ලයින් ඉවත් කරන්නෙමැයි (කියායි.)
’’එකල්හි වනයට පිවිසි මම භද්දෙකරත්ත අවවාදය සිහිකොට රහත්බවට පැමිණියෙමි. කෙසේදයත්?
’’අතීතවූ පස්කඳ ගැන (තෘෂ්ණා දෘෂ්ඨි වශයෙන් සිතමින්) ඒ අනුව නොයන්නේය. අනාගතයවූ (පස්කඳ තෘෂ්ණා දෘෂ්ඨි වශයෙන් සිතමින්) නොපතන්නේය. (කුමක් හෙයින්ද යත්?) යම් අතීතයක් වූයේ නම් එය ගෙවී ගියේය. යම් අනාගතයක් වන්නේ නම් එය නොපැමිණියේය. (එහෙයිනි.)
’’යමෙක්තෙම වර්‍තමානවූ (පඤ්චස්කන්‍ධ) ධර්‍මයන් (පිළිබඳව සිතට ඇතිවන අදහස්) ඒ ඒ තන්හිදීම (අනිත්‍යාදී වශයෙන්) විදසුන් නුවණින් දකීද, එබඳු නුවණැත්තේ රාගාදියෙන් නොසෙල්විය හැකි (එසේම රාගාදියෙන්) නොසෙල්විය හැකි, (එසේම රාගාදියෙන් වෙනස්කළ නොහැකි, (ඒ විදර්‍ශනාව) භාවනා වශයෙන් වඩන්නේය.
’’අද අදම වීර්‍ය්‍ය කළයුතුය. මරණය හෙටදැයි කවරෙක් දන්නේද? (ගිනි-විස- අවි ආදී මරණයට කරුණු වන නොයෙක් හේතු නමැති) මහ සෙනග ඇති, මරණය හෙවත් මාරයා සමග අපගේ (මිත්‍ර සන්ථව වශයෙන් හෝ, අල්ලස් දීම් වශයෙන් හෝ, බලයෙන් මැඩලීම් වශයෙන් හෝ ඇතිකරගන්නා) පොරොන්දුවක් නැත.
’’මෙසේ වසන්නාවූ, වීර්‍ය්‍යවත්වූ, දිවා රෑ දෙක්හි අනලස්වූයේ, එකාන්තයෙන් ’’භද්දෙකරත්ත’’ යයි ශාන්තවූ බුදුරජතෙම වදාරණ සේක.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
’’මෙහි මේ අයුරින් ආයුෂ්මත් ලොමස කඞ්ගිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ලොමසකඞ්ගියත්ථෙරස්සාපදානං අට්ඨමං.