ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
55. භද්දිය වග්ග
9. වන වච්ඡ ථෙරාපදානය
’’මෙම (මහා) භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, කථාකරන්නවුන් අතුරෙන් උතුම්වූ, නම්න් කාශ්‍යප නම්වූ බුදුරජතෙම ලොව පහළවිය.
’’එකල්හි මම එම බුදුරජුන්ගේ සසුනෙහි පැවිදිව, දිවි ඇතිතාක් බඹසර වැස ඉන් සැව,
’’මැනවින් කරන ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්තප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
’’ඉන් ච්‍යුතවූයේ, මම අරණෙහි පරවියෙක් වීමි. හැමකල්හි ධ්‍යානයෙහි ඇළුනාවූ (අභිඥා) ගුණයන්ගෙන් යුක්තවූ, මෙත් සිත් ඇති, කාරුණිකවූ, නිතරම පුබුදුවූ මුහුණු ඇති, උපෙක්‍ෂාවෙන් යුක්තවූ, මහත් වීර්‍ය්‍ය ඇති, (මෙත්තා-කරුණා-මුදිතා-උපෙක්‍ෂා නම්වූ) අප්‍රමාණ්‍යාලම්බනයන්හි දක්‍ෂවූ භික්‍ෂුවක් එම වනයෙහි වසයි.
’’කෙළෙසුන්ගෙන් නොඇවිරුණු සිත් ඇති, සව් සත්නට හිතවූ අදහස් ඇති, එම බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ කෙරෙහි නොබෝ කලකින්ම විශ්වාසවූයේ වෙමි.
’’එකල්හි ඒ තවුස්තෙම එළඹ පාමුල හුන් මට කිසිදිනක (ආහාරයවූ) ආමිසයෙක් දෙයි. කිසියම් දිනක දහම් දෙසයි.
’’එකල්හි මහත්වූ ප්‍රේමයෙන් (එම) බුද්ධ ශ්‍රාවකයන් ඇසුරුකොට ඉන් ච්‍යුතවූයේ, දුරු රටක ගොස් සිට ගෙදරට එන්නාක් මෙන් ස්වර්‍ගයට ගියේය.
’’පුණ්‍යකර්‍ම බලයෙන් ස්වර්‍ගයෙන් ච්‍යුතව මිනිසත්බැව්හි උපන්නාවූ මම ගිහිගෙය (ලුහුඬු වශයෙන් සළකා) අතහැර දමා පැවිදිවීමි.
’’එසේම මම නේ සියක්වර ශ්‍රමණයෙක්ද, බ්‍රාහ්මණයෙක්ද, පරිව්‍රාජකයෙක්ද වී, අරණෙහි විසීමි.
’’දැන් මේ අන්තිම ජාතියෙහි රම්‍යවූ කපිලවස්තු නගරයෙහි මච්ඡගොත්ත නම් පරිව්‍රාජකයෙක් වීමි. මා ඔහුගේ භාර්‍ය්‍යාවගේ කුසෙහි පිළිසිඳ ගතිමි.
’’මව්කුසෙහි පිළිසිඳගත් මාගේ මවට ප්‍රසූතිය ලංවු කල්හි වනයෙහි විසීමේ තීරණය (දොළදුක) විය.
’’ඉක්බිති මාගේ මව්තොමෝ සිත්කළු වනයෙහිදී (මා) ප්‍රසූතකළාය. මව්කුසින් නික්මෙන්නාවූ මා කසාවතකින් පිළිගත්තාය.
’’ඉක්බිති ශාක්‍ය වංශයට ධජයක් වැනිවූ සිදුහත් කුමර තෙමේ උපන්නේය. (මම) ඔහුගේ ඉතා විශ්වාසවූ, අතිශයින් බුහුමන් කටයුතුවූ ප්‍රිය මිත්‍රයා වීමි.
’’මහත්වූ සම්පත් හැරදමා බෝසතුන් ගිහිගෙන් නික්මුණු කල්හි මමද පැවිදිව හිමවතට එළඹියෙමි.
’’වනවාසීවු, ගරුකටයුතුවූ, ධුතවාදීවු, (මහ) කසුප් තෙරුන් දැක බුද්ධෝත්පාදය ගැන අසා තථාගතයන් වහන්සේ වෙත එළඹියෙමි.
’’ඒ සර්‍වඥතෙම සියළු අර්ත්‍ථයන් ප්‍රකට කරමින් මට දහම් දෙසූහ. ඉක්බිති මම පැවිදිව යලි වනයට ආමි.
’’එහි නොපමාවූයේ වෙසෙමින් ෂඩභිඥාවන් ලැබීමි. කලණ මිතුරු (මහකසුප්) තෙරුන් විසින් අනුකම්පා කරන ලදුයේ, උතුම් ලාභයක් ලබන ලදුයේ වෙමි. ආශ්චර්‍ය්‍යයකි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
’’මෙහි මේ අයුරින් ආයුෂ්මත් වන වච්ඡ තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
වනවච්ඡත්ථෙරස්සාපදානං නවමං.