ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
55. භද්දිය වග්ග
10. චූලසුගන්ධ ථෙරාපදානය
’’මෙම (මහා) භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, කථාකරන්නවුන් අතුරෙන් උතුම්වූ, දෙතිස් මහ පුරිස් ලකුණු ඇති, අසූවක් අනුව්‍යඤ්ජනයන්ගෙන් යුක්තවූ, (බඹයක් ඈතට විහිදෙන) බ්‍යාමප්‍රභාවෙන් වටවූ, රැස් සමූහයෙන් ගැවසීගත්තාවූ, සඳු මෙන් ලෝ වැස්සන් ඉවසන්නාවු, හිරු මෙන් පැහැ විහිදෙන්නාවු, වැහි වළාවක් මෙන් (සත්ත්‍වයින්ගේ ගිමන්) නිවන්නාවූ, සයුර මෙන් ගුණයට ආකරයක්වු, ශීලයෙන් මහ පොළොව වැනිවු, සමාධියෙන් හිමව් පව්ව වැනිවු, ප්‍රඥාවෙන් අහස මෙන්වූ, සුළඟ මෙන් නම්න් නොඇලෙන, කාශ්‍යප නම්වූ බුදුරජතෙම ලොව පහළවිය.
’’එකල්හි මම බරණැස් නුවර සමෘද්‍ධවූ, ධන-ධාන්‍ය ඇති, විවිධ රත්න සමූහ ඇති, මහා කුලයක උපන්නේ,
’’මහත්වූ පිරිවර සහිතව වැඩ හුන්නාවූ බුදුරජුන් වෙත එළඹ අමෘතය මෙන් මනොඥවූ ධර්‍මය ඇසීමි.
’’තාරකා සහිතවූ සඳු මෙන් දෙතිස් මහ පුරිස් ලකුණු දරන්නාවූ, (අසූ) අනුව්‍යඤ්ජනයන්ගෙන් යුක්තවූ, පිපුනු සල් රුකක් වැනිවූ,
’’රැස් සමූහයෙන් වට කරන ලද දීප්තිමත් ස්වර්‍ණ පර්‍වතයක් වැනිවූ, බඹයක් දුරට පැතිරෙන රශ්මියෙන් වට කරන ලද රැස් සහිත හිරු වැනිවූ,
’’ස්වර්‍ණවර්‍ණ මුහුණක් ඇති, මැණික් සහිතවූ පර්‍වතයක් වැනි, (පස්මරුන් ජයගත් බැවින්) ජිනවරයෙකුවූ, කරුණාවෙන් පිරුණු හදවතක් ඇත්තාවූ, ගුණයෙන් සයුර වැනිවූ,
’’ලෝකයෙහි ප්‍රකට කීර්ති ඇත්තාවූ, සිනෙරු පර්‍වත රාජයා වැනිවූ, යසසින් පතළාවූ, ආකාශය සදෘශවූ, (මෙනෙය්‍ය ගුණ යුක්ත බැවින්) මුනිවූ,
’’වාතය මෙන් සියළු තන්හි නොඇලෙන සිත් ඇති, (නිවන් මගට පමුණුවන බැවින්) නායකවූ, මහ පොළොව මෙන් සව් සත්නට පිහිටවූ, පෙර බුදුවරයන් සයදෙනෙකුගෙන් පසු ලොව පහළවූ බැවින් මුනි සත්තමවූ,
’’ජලයෙන් නොතැවරුන පියුම මෙන් ලොකය හා නොතැවරුනාවූ, මිත්‍යාවාද නමැති පැලෑටි දවන ගිනි කඳක් මෙන් (එම කසුප් බුදුරජතෙම) බබලයි.
’’(එසේම එම බුදුරජතෙම) සියළු තන්හි කෙලෙස් විස නසන්නාවූ බෙහෙතක් මෙනි. ගුණ සුවඳින් සරසන ලද්දාවූ ගන්‍ධමාදන පර්‍වතය මෙනි.
’’(එම) වීරවූ බුදුරජතෙම රත්නයනට සයුර මෙන් ගුණයට ආකරයකි. ධනරාජීන්ගේ (කසල යොදා හරන්නාවූ) සින්‍ධු නදිය මෙන් කෙළෙස්මල දුරු කෙළෙමි.
’’(සතුරන්) දිනනසුළු මහා යෝධයෙකු මෙන් මරසෙනඟ මඩින්නෙකි. (එසේම) ඒ බුදුරජතෙම (සත්රුවනට ඉසුරුවූ) සක්විති රජකුමෙන් බොධ්‍යඞ්ග නමැති රත්නයනට අධිපතියෙකි.
’’(ක්ලේශ) දෝෂ නමැති ව්‍යාධියට පිළියම් කරන්නාවූ මහා වෛද්‍යවරයෙකු මෙනි. (මිථ්‍යා) දෘෂ්ඨි නමැති ගෙඩිය පලන්නාවූ ශල්‍ය වෛද්‍යවරයෙකුද වැනිය.
’’එකල්හි දෙව් මිනිසුන් විසින් ගරුකරනලද ලොව බබුළුවන්නාවූ, මිනිස්නට හිරුවූ බුදුරජතෙම පිරිස මැද දහම් දෙසති.
’’දන්දී මහත් භෝග සම්පත් ඇත්තෙක් වන්නේය. සීලය කරණකොටගෙන සුගතියට යන්නෙක් වන්නේය. භාවනාවෙන් (කෙළෙස් පිරිනිවනින්) පිරිනිවන්පාය’’ යි මෙසේ අනුශාසනා කළ සේක.
’’මහත් ආශ්වාද ජනකවූ හෙවත් රසවත් බවක් ඇති කරන්නාවූ, ආදි-මධ්‍ය-පරියොසන කල්‍යාණවූ එම දහම් දෙසුම සියළු පිරිස මහත් රසවත් අමෘතයක්මෙන් අසත්.
’’ඉමිහිරි දහම් දෙසා බුදුසසුන්හි පැහැදුනේ එම බුදුරජුන් සරණකොට ගොස් දිවි ඇතිතෙක් සරණගතයෙක්ව නමස්කාර කෙළෙමි.
’’එකල්හි මම බුදුරජුන්ගේ ගඳකිලියෙහි පොළොව මසකට අට දිනක් සිව්දෑ ගඳින් පිසදැමීමි.
’’එකල්හි (ගඳකිලිය) සුවඳ බැව්හි තබා (ඒ හේතුවෙන්) ශරීර සුගන්‍ධය නැති මට සුවඳවත් සිරුරක් ලැබෙන බව බුදුරජතෙම වදාළහ.
’’යමෙක් මේ ගඳකිළි බිම නිතර සුවඳින් පිසදමාද, එම කර්‍ම විපාකය කරණකොටගෙන ඒ ඒ තන්හි උපන්නේ,
’’ඒ සියළු තන්හිදී මේ මිනිස් තෙම ගුණ සුවඳින් යුතුවූයේව, ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය’’ (කියායි.)
’’මැනවින් කරනලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
’’දැන් (මේ) අන්තිම ජාතියෙහි මම බමුණු කුලයෙහි උපන්නේ, (මව්) කුසෙහි වසන්නාවූ මාගේ මවුතොමෝ සිරුරින් සුවඳවත් වූවාය.
’’යම් කලෙක්හි මවුකුසින් නික්මෙත්ද, එකල්හි සැවැත්නුවර සියළු සුවඳින් කවන ලද්දක් මෙන් (සුවඳ) හැමීය.
’’මනරම්වූ සුමිහිරි දිව්‍යමය සුවඳ ඇති මල් වැසිද, මාහැඟි සුගන්ධ ධූමයෝද එකෙණෙහි හමා ගියාහුය.
’’යම් ගෘහයෙක මම උපන්නෙම්ද, දෙවියෝ එම ගෘහය සියළු සුගන්ධයන්ගෙන් යුත් දුම් හා මල් කරණකොටගෙන ඇතිවූ සුවඳින් සුවඳවත් කළහ.
’’යම් කලෙක්හි (මම) තරුණවූයේද, භද්‍රවූ ප්‍රථම යෞවනයෙහි සිටියේද, එකල්හි බුදුරජතෙම පිරිස් සහිතව සෙල බ්‍රාහ්මණයා හික්මවා,
’’ඒ සියල්ලන් සමග සැවැත්පුරයට පැමිණියේ එකල්හි මම ඒ බුද්ධානුභාවය දැක පැවිදිවූයේ,
’’අනුත්තරවූ සීලයද, සමාධියද, ප්‍රඥාවද, විමුක්තියද, (යන) සතර ධර්‍මයන් වඩා, ආශ්‍රවක්‍ෂය නම්වූ නිවනට පැමිණියෙමි.
’’මම යම් කලෙක්හි පැවිදිවූයේ වෙම්ද, යම් කලෙක්හි රහත්වූයේ වෙම්ද, (එසේම) යම් කලෙක්හි පිරිනිවන් පාන්නෙම්ද, ඒ (සියළු) කල්හි සුගන්ධ (වර්‍ෂා පැවැත්තේ) විය.
’’මාහැඟිවූ සඳුන්, සපු, උපුල් මල් සුවඳ මිශ්‍රව මාගේ ශරීර ගන්ධය හැම කල්හි හමයි. එසේම සෙසු සුගන්ධයන්ද, ඒ ඒ තන්හි ගියේ, වේගවත්ව විහිදුවයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
’’මෙහි මේ අයුරින් ආයුෂ්මත් චූලසුගන්ධ තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
භද්දියවග්ගො පඤ්චපඤ්ඤාසමො.