ඛුද්දක නිකාය

උදානය

8. පාටලීගාම වර්ගය

9. (ප්‍රථම) දබ්බ සූත්‍රය

(මෙහි 1 වර්ගයේ 6 සූත්‍රයේ 1 ඡෙදය යුතුයි.)

ඉක්බිති ආයුෂ්මත් මල්ලරාජ පුත්‍රවූ දබ්බ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවූම මල්ල රජුගේ පුත්‍රවූ ආයුෂ්මත් දබ්බ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට “සුගතයන් වහන්ස, දැන් මාගේ පිරිනිවන්පාන කාලයයි” යන මේ වචනය කීයේය. “දබ්බයෙනි, තෝ යම් ගමනකට කල් සිතන්නෙහිද, දැන් එයට කලැයි” (වදාළ සේක.)

ඉක්බිති මල්ල රාජ පුත්‍රවූ ආයුෂ්මත් දබ්බ ස්ථවිර තෙම හුනස්නෙන් නැගීසිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට අහසට පැනනැගී ඉහළ අහසෙහි බද්ධපර්යංකයෙන් වැඩහිඳ තෙජොධාතු කසිණ චතුර්ථධ්‍යාන සමාපත්තියට සමවැද පිරිනිවියේය.

ඉක්බිති අහසට නැගී ඉහළ අහසෙහි බද්ධපර්යංකයෙන් වැඩහිඳ තෙජොධාතු කසිණ සමාපත්තියට සමවැද ඉන් නැගිට පිරිනිවියාවූ මල්ල රජුගේ පුත්‍රවූ ආයුෂ්මත් දබ්බ ස්ථවිරයන්ගේ සිරුරට ගිනි ඇවුලුණු කල්හිද ගිනි නිවීගිය කල්හිද හලු නොපැමිණි නම් දැලි නොපැමිණිනම් යම්සේ වනාහි ගිනි ඇවිල ගත්තාවූද, ගිනි නිවුනාවූද, ගිතෙල් හෝ තල තෙල් හෝ හලු නොපෙණේද, අඳුන් නොපෙණේද, එපරිද්දෙන්ම අහසට පැන නැගී ඉහළ අහසෙහි පලගින් වැඩහිඳ තෙජොධාතු කසිණ චතුර්ථධ්‍යාන සමාපත්තියට සමවැද (ඉන්) නැගිට පිරිනිවියාවූ මල්ල රාජ පුත්‍රවූ ආයුෂ්මත් දබ්බ තෙරුන්ගේ ගිනි ඇවිලෙන්නාවූද ගිනිදැල් පහව ගියාවූද සිරුර පිළිබඳ හලු නොපෙණුනේය. දැලි නොපෙණුනේය.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දබ්බ තෙරුන් අනුපාදා පරිනිර්වානය සියලු අයුරෙන් දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළ සේක.

“රූපකයෙක් වීද, නිරුද්ධ වීය, සංඥාවෝ නිරුද්ධ වීය, වේදනාවෝ සිහිල් වූහ. සියලුම සංස්කාරයෝ විශෙෂයෙන්ම සංසිඳුනාහුය, සියලු විඤ්ඤාණය විනාසයට ගියේයයි.”