අංගුත්තර නිකාය

එක නිපාතය

15. මංගල වර්ගය

150. අකුසල උපහතත්ත සූත්‍රය

“මහණෙනි, ධර්ම තුනකින් යුක්තවූ අව්‍යක්තවූ අසත්පුරුෂවූ, බාල තෙමේ, ගුණ සාරා දමන ලද විනාශ කරනලද ආත්මයක් පරිහරණය කරයි. වරද සහිතයෙක්ද නුවණැතියන් විසින් ගර්හාකළ යුත්තෙක්ව බොහෝ අකුසල්ද රැස්කරයි. කවර තුනකින්ද?

“අකුශල කාය කර්මයෙන්ද, අකුශල වාක්කර්මයෙන්ද, අකුශල මනොකර්මයෙන්ද වෙයි.

“මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් අව්‍යක්තවූ අසත්පුරුෂවූ බාල තෙම ගුණසාරා දමන ලද විනාශ කරන ලද ආත්මයක් පරිහරණය කරයි. වරද සහිතයෙක්ව නුවණැතියන් විසින් ගර්හාකළ යුත්තෙක්ව බොහෝ අකුසල්ද රැස්කරයි.

“මහණෙනි, ධර්ම තුනකින්යුත් ව්‍යක්තවූ සත් පුරුෂවූ පණ්ඩිත පුරුෂතෙමේ ගුණ නොනසනලද, විනාශ නොකරනලද, ආත්මය පරිහරණය කරයි. නිරවද්‍යවූයේ නුවණැතියන් විසින් ගර්හා නොකළ යුත්තෙක් වෙයි. කවර තුනකින්ද?

“කුසල කාය කර්මයෙන්ද, කුසල වාක් කර්මයෙන්ද, කුසල මනොකර්මයෙන්ද වෙයි.

“මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් ව්‍යක්තවූ සත් පුරුෂවූ පණ්ඩිත පුරුෂතෙමේ ගුණ නොනසනලද, විනාශ නොකරනලද ආත්මය පරිහරණය කරයි. නිරවද්‍යවූයේ නුවණැත්තන් විසින් ගර්හා නොකළ යුත්තෙක්ව බොහෝ පින්ද රැස්කරයි.