සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

4. කළාරඛත්තිය වර්ගය

5. අවිජ්ජා සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේ. සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාම රූප ඇතිවේ. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරා, මරණද, ශෝකවීම් හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවේ. මෙසේ මේ තනිකර දුක් සමූහයාගේ පහළවීම ඇතිවේ.”

මෙසේ කී කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, ජරාමරණය වනාහි කවරේද? මේ ජරාමරණය වනාහි කාගේද?” භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නය නුසුදුසුයයි වදාළ සේක. “මහණ ජරාමරණය කවරේද? මේ ජරා මරණය කාගේ දැයි’ මෙසේ හෝ යමෙක් කියන්නේද, මහණ, ජරාමරණය අනිකකි. මේ ජරාමරණය වනාහි අනිකකුගේයයි. මෙසේ හෝ යමෙක් කියන්නේද මේ කීම් දෙකම ඒකාර්ථය. ව්‍යඤ්ජන පමණක් වෙනසි. මහණ, ජීවයත් එයය. ශරීරයත් එයමයයි යන දෘෂ්ටිය හෝ ඇති කල්හි ආර්ය මාර්ගයට පැමිණීමක් නොවේ. මහණ, ජීවය අනිකකි. ශරීරය අනිකකියි යන දෘෂ්ටි හෝ ඇති කල්හි ආර්ය මාර්ගයට පැමිණීමක් නොවේ. මහණ ඒ මේ අන්ත දෙකට නොපැමිණ, ජාතිය නිසා ජරාමරණය ඇතිවේ යයි” තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක.”

“ස්වාමීනි, ජාතිය කවරේද? මේ ජාතිය කාගේද?” භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නය නුසුදුසුයයි වදාළ සේක:- “මහණ, ජාතිය කවරේද? මේ ජාතිය කාගේ දැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණ, ජාතිය අනිකකි. මේ ජාතිය වනාහි අනිකකුගේ යයි මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය. ව්‍යඤ්ජන පමණක් වෙනසි. මහණ, ජීවයත් එයය. ශරීරයත් එයමයයි යන දෘෂ්ටිය හෝ ඇති කල්හි මාර්ග බ්‍රහ්මචර්යාව නොවේ. මහණ, ජීවය අනිකකි. ශරීරය අනිකකියි යන දෘෂ්ටිය හෝ ඇති කල්හි හෝ මාර්ග බ්‍රහ්මචර්යාව නොවේ. මහණ, මේ අන්ත දෙකට නොපැමිණ, භවය නිසා ජාතිය ඇතිවේයයි තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක.

“ස්වාමීනි, භවය කවරේද? මේ භවය කාගේද?” භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නය නුසුදුසුයයි වදාළ සේක:- “මහණ, භවය කවරේද? මේ භවය කාගේ දැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණ, භවය අනිකකි. මේ භවය වනාහි අනිකකුගේයයි මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය, ව්‍යඤ්ජන පමණක් වෙනසි. මහණ, ජීවයත් එයය. ශරීරයත් එයමයයි යන දෘෂ්ටිය හෝ ඇති කල්හි මාර්ග බ්‍රහ්මචර්යාව නොවේ. මහණ, ජීවය අනිකකි. ශරීරය අනිකකියි යන දෘෂ්ටිය හෝ ඇති කල්හි හෝ මාර්ග බ්‍රහ්මචර්යාව නොවේ. මහණ, මේ අන්ත දෙකට නොපැමිණ උපාදානය නිසා භවය ඇතිවේයයි තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක”.

“ස්වාමීනි, උපාදානය කවරේද? මේ උපාදානය කාගේද?” භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නය නුසුදුසුයයි වදාළ සේක:- “මහණ, උපාදානය කවරේද? මේ උපාදානය කාගේදැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණ, උපාදානය අනිකකි. මේ උපාදානය වනාහි අනිකකුගේයයි මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය, ව්‍යඤ්ජන පමණක් වෙනසි. මහණ, ජීවයත් එයය. ශරීරයත් එයමයයි යන දෘෂ්ටිය හෝ ඇති කල්හි මාර්ග බ්‍රහ්මචර්යාව නොවේ. මහණ, ජීවය අනිකකි. ශරීරය අනිකකියි යන දෘෂ්ටිය හෝ ඇති කල්හි හෝ මාර්ග බ්‍රහ්මචර්යාව නොවේ. මහණ, මේ අන්ත දෙකට නොපැමිණ, තණ්හාව නිසා උපාදානය ඇතිවේයයි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන සේක”.

“ස්වාමීනි, තණ්හාව කවරේද? මේ තණ්හාව කාගේද?” භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නය නුසුදුසුයයි වදාළ සේක:- “මහණ, තණ්හාව කවරේද? මේ තණ්හාව කාගේ දැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණ, තණ්හාව අනිකකි. මේ තණ්හාව වනාහි අනිකකුගේ යයි මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය, ව්‍යඤ්ජන පමණක් වෙනසි. මහණ, ජීවයත් එයය. ශරීරයත් එයමයයි යන දෘෂ්ටිය හෝ ඇති කල්හි මාර්ග බ්‍රහ්මචර්යාව නොවේ. මහණ, ජීවය අනිකකි. ශරීරය අනිකකියි යන දෘෂ්ටිය හෝ ඇති කල්හි හෝ මාර්ග බ්‍රහ්මචර්යාව නොවේ. මහණ, මේ අන්ත දෙකට නොපැමිණ වේදනාව නිසා තණ්හාව ඇතිවේ යයි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන සේක”.

“ස්වාමීනි, වේදනාව කවරේද? මේ වේදනාව කාගේද?” භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නය නුසුදුසුයයි වදාළ සේක:- “මහණ, වේදනාව කවරේද? මේ වේදනාව කාගේ දැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණ, වේදනාව අනිකකි. මේ වේදනාව වනාහි අනිකකුගේ යයි මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය, ව්‍යඤ්ජන පමණක් වෙනසි. මහණ, ජීවයත් එයය. ශරීරයත් එයමයයි යන දෘෂ්ටිය හෝ ඇති කල්හි මාර්ග බ්‍රහ්මචර්යාව නොවේ. මහණ, ජීවය අනිකකි. ශරීරය අනිකකියි යන දෘෂ්ටිය හෝ ඇති කල්හි හෝ මාර්ග බ්‍රහ්මචර්යාව නොවේ. මහණ, මේ අන්ත දෙකට නොපැමිණ ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ යයි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන සේක”.

“ස්වාමීනි, ස්පර්ශය කවරේද? මේ ස්පර්ශය කාගේද?” භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නය නුසුදුසුයයි වදාළ සේක:- “මහණ, ස්පර්ශය කවරේද? මේ ස්පර්ශය කාගේ දැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණ, ස්පර්ශය අනිකකි. මේ ස්පර්ශය වනාහි අනිකකුගේ යයි මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය, ව්‍යඤ්ජන පමණක් වෙනසි. මහණ, ජීවයත් එයය. ශරීරයත් එයමයයි යන දෘෂ්ටිය හෝ ඇති කල්හි මාර්ග බ්‍රහ්මචර්යාව නොවේ. මහණ, ජීවය අනිකකි. ශරීරය අනිකකියි යන දෘෂ්ටිය හෝ ඇති කල්හි හෝ මාර්ග බ්‍රහ්මචර්යාව නොවේ. මහණ, මේ අන්ත දෙකට නොපැමිණ, සළායතන නිසා ස්පර්ශය ඇතිවේ යයි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන සේක”.

“ස්වාමීනි, සළායතන කවරේද? මේ සළායතන කාගේද?” භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නය නුසුදුසුයයි වදාළ සේක:- “මහණ, සළායතන කවරේද? මේ සළායතන කාගේ දැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණ, සළායතන අනිකකි. මේ සළායතන වනාහි අනිකකුගේ යයි මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය, ව්‍යඤ්ජන පමණක් වෙනසි. මහණ, ජීවයත් එයය. ශරීරයත් එයමයයි යන දෘෂ්ටිය හෝ ඇති කල්හි මාර්ග බ්‍රහ්මචර්යාව නොවේ. මහණ, ජීවය අනිකකි. ශරීරය අනිකකියි යන දෘෂ්ටිය හෝ ඇති කල්හි හෝ මාර්ග බ්‍රහ්මචර්යාව නොවේ. මහණ, මේ අන්ත දෙකට නොපැමිණ, නාමරූප නිසා සළායතන ඇතිවේ යයි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන සේක”.

“ස්වාමීනි, නාමරූප කවරේද? මේ නාමරූප කාගේද?” භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නය නුසුදුසුයයි වදාළ සේක:- “මහණ, නාමරූප කවරේද? මේ නාමරූප කාගේ දැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණ, නාමරූප අනිකකි. මේ නාමරූප වනාහි අනිකකුගේ යයි මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය, ව්‍යඤ්ජන පමණක් වෙනසි. මහණ, ජීවයත් එයය. ශරීරයත් එයමයයි යන දෘෂ්ටිය හෝ ඇති කල්හි මාර්ග බ්‍රහ්මචර්යාව නොවේ. මහණ, ජීවය අනිකකි. ශරීරය අනිකකියි යන දෘෂ්ටිය හෝ ඇති කල්හි හෝ මාර්ග බ්‍රහ්මචර්යාව නොවේ. මහණ, මේ අන්ත දෙකට නොපැමිණ, විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ යයි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන සේක”.

“ස්වාමීනි, විඤ්ඤාණය කවරේද? මේ විඤ්ඤාණය කාගේද?” භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නය නුසුදුසුයයි වදාළ සේක:- “මහණ, විඤ්ඤාණය කවරේද? මේ විඤ්ඤාණය කාගේ දැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණ, විඤ්ඤාණය අනිකකි. මේ විඤ්ඤාණය වනාහි අනිකකුගේ යයි මෙසේ හෝ යමෙක් කියන්නේ වේ, මේ කීම් දෙකම ඒකාර්ථය, ව්‍යඤ්ජන පමණක් වෙනසි. මහණ, ජීවයත් එයය. ශරීරයත් එයමයයි යන දෘෂ්ටිය හෝ ඇති කල්හි මාර්ග බ්‍රහ්මචර්යාව නොවේ. මහණ, ජීවය අනිකකි. ශරීරය අනිකකියි යන දෘෂ්ටිය හෝ ඇති කල්හි හෝ මාර්ග බ්‍රහ්මචර්යාව නොවේ. මහණ, මේ අන්ත දෙකට නොපැමිණ, සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේ යයි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන සේක”.

“ස්වාමීනි, සංස්කාර කවරේද? මේ සංස්කාර කාගේද?” භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නය නුසුදුසුයයි වදාළ සේක:- “මහණ, සංස්කාර කවරේද? මේ සංස්කාර කාගේ දැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණ, සංස්කාර අනිකකි. මේ සංස්කාර වනාහි අනිකකුගේ යයි මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය, ව්‍යඤ්ජන පමණක් වෙනසි. මහණ, ජීවයත් එයය. ශරීරයත් එයමයයි යන දෘෂ්ටිය හෝ ඇති කල්හි මාර්ග බ්‍රහ්මචර්යාව නොවේ. මහණ, ජීවය අනිකකි. ශරීරය අනිකකියි යන දෘෂ්ටිය හෝ ඇති කල්හි හෝ මාර්ග බ්‍රහ්මචර්යාව නොවේ. මහණ, මේ අන්ත දෙකට නොපැමිණ, අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේ යයි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන සේක”.

“ස්වාමීනි, අවිද්‍යාව ඉතිරි නොකොට පහකිරීම හේතුකොටගෙන ඔහුට “ජරාමරණ නම් කවරේද? මේ කවරකුගේ ජරාමරණද කියා හෝ ජරාමරණ අනිකකි, මේ ජරාමරණ අනිකකුගේය කියා හෝ එයම ජීවයයි එයම ශරීරයයි කියා හෝ ජීවය අනිකකි ශරීරය අනිකකි කියා හෝ යම් දෘෂ්ටි වරදවා සහමුලින් ගැනීම් විපරිත ගැනීම් වෙත්ද ඒ සියල්ල අවිද්‍යාව ඉතිරි නොකොට පහකිරීම හේතු කොටගෙන යමෙකුට ජරා මරණය අනිකකි, මේ ජරාමරණය අනිකකුගේයයි කියා හෝ ජීවයත් එයය. ශරීරයත් එයම යයි කියා හෝ, ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ පවත්නාවූ ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල්සිඳින ලද්දාහු, තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු, මතු නො උපදින ස්වභාව ඇත්තාහු වෙත්.

“මහණ, මිථ්‍යාදෘෂ්ටි වැරදි දැකීම් විපරිත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. ජාතිය කවරේද, මේ ජාතිය කාගේදැයි කියා හෝ ජාතිය අනිකකැයි. කියා හෝ මේ ජාතිය අනිකකුගේයයි කියා හෝ ජීවයත් එයය. ශරීරයත් එයමයයි කියා හෝ ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල්සිඳින ලද්දාහු, තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු, මතු නො උපදින ස්වභාව ඇත්තාහු වෙත්.

“මහණ, මිථ්‍යාදෘෂ්ටි වැරදි දැකීම් විපරිත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. භවය කවරේද, මේ භවය කාගේදැයි කියා හෝ භවය අනිකකැයි කියා හෝ මේ භවය අනිකකුගේයයි කියා හෝ ජීවයත් එයය. ශරීරයත් එයමයයි කියා හෝ ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල්සිඳින ලද්දාහු, තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නො උපදින ස්වභාව ඇත්තාහු වෙත්.

“මහණ, මිථ්‍යාදෘෂ්ටි වැරදි දැකීම් විපරිත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. උපාදානය කවරේද, මේ උපාදානය කාගේ දැයි කියා හෝ උපාදානය අනිකකැයි කියා හෝ මේ උපාදානය අනිකකුගේයයි කියා හෝ ජීවයත් එයය. ශරීරයත් එයමයයි කියා හෝ ජීවය අනිකකි, ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු, තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නො උපදින ස්වභාව ඇත්තාහු වෙත්.

“මහණ, මිථ්‍යාදෘෂ්ටි වැරදි දැකීම් විපරිත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. තණ්හාව කවරේද, මේ තණ්හාව කාගේ දැයි කියා හෝ තණ්හාව අනිකකැයි කියා හෝ මේ තණ්හාව අනිකකුගේයයි කියා හෝ ජීවයත් එයය, ශරීරයත් එයමයයි කියා හෝ ජීවය අනිකකි, ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු, තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු, මතු නො උපදින ස්වභාව ඇත්තාහු වෙත්.

“මහණ, මිථ්‍යාදෘෂ්ටි වැරදි දැකීම් විපරිත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. වේදනාව කවරේද? මේ වේදනාව කාගේ දැයි කියා හෝ වේදනාව අනිකකැයි, කියා හෝ මේ වේදනාව අනිකකුගේයයි කියා හෝ ජීවයත් එයය. ශරීරයත් එයමයයි කියා හෝ ජීවය අනිකකි, ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු, තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නො උපදින ස්වභාව ඇත්තාහු වෙත්.

“මහණ, මිථ්‍යාදෘෂ්ටි වැරදි දැකීම් විපරිත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. ස්පර්ශය කවරේද, මේ ස්පර්ශය කාගේ දැයි කියා හෝ ස්පර්ශය අනිකකැයි, කියා හෝ මේ ස්පර්ශය අනිකකුගේයයි කියා හෝ ජීවයත් එයය. ශරීරයත් එයමයයි කියා හෝ ජීවය අනිකකි, ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු, තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නොඋපදින ස්වභාව ඇත්තාහු වෙත්.

“මහණ, මිථ්‍යාදෘෂ්ටි වැරදි දැකීම් විපරිත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. සළායතන කවරේද, මේ සළායතන කාගේ දැයි කියා හෝ සළායතන අනිකකැයි කියා හෝ මේ සළායතන අනිකකුගේයයි කියා හෝ ජීවයත් එයය. ශරීරයත් එයමයයි කියා හෝ ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු, තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නො උපදින ස්වභාව ඇත්තාහු වෙත්.

“මහණ, මිථ්‍යාදෘෂ්ටි වැරදි දැකීම් විපරිත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. නාමරූප කවරේද, මේ නාමරූප කාගේ දැයි කියා හෝ නාමරූප අනිකකැයි. කියා හෝ මේ නාමරූප අනිකකුගේයයි කියා හෝ ජීවයත් එයය. ශරීරයත් එයමයයි කියා හෝ ජීවය අනිකකි, ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු, තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නො උපදින ස්වභාව ඇත්තාහු වෙත්.

“මහණ, මිථ්‍යාදෘෂ්ටි වැරදි දැකීම් විපරිත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. විඤ්ඤාණය කවරේද, මේ විඤ්ඤාණය කාගේ දැයි කියා හෝ විඤ්ඤාණය අනිකකැයි. කියා හෝ මේ විඤ්ඤාණය අනිකකුගේයයි කියා හෝ ජීවයත් එයය. ශරීරයත් එයමයයි කියා හෝ ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්‍රහීණවෙත්. මුල් සිඳින ලද්දාහු, තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නො උපදින ස්වභාව ඇත්තාහු වෙත්.

“මහණ, මිථ්‍යාදෘෂ්ටි වැරදි දැකීම් විපරිත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. සංස්කාර කවරේද, මේ සංස්කාර කාගේදැයි කියා හෝ සංස්කාර අනිකකැයි කියා හෝ මේ සංස්කාර අනිකකුගේයයි කියා හෝ ජීවයත් එයය. ශරීරයත් එයමයයි කියා හෝ ජීවය අනිකකි. ශරීරය, අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු, තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නො උපදින ස්වභාව ඇත්තාහු වෙත්.

(පස්වන අවිජ්ජා සූත්‍රය නිමි.)