සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

4. කළාරඛත්තිය වර්ගය

6. අවිජ්ජා සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූසේක. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේ. සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාම රූප ඇතිවේ. නාම රූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරා මරණ, ශෝකවීම් හැඬීම්, දුක්වීම්, දොම්නස් වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවේ.

“මහණෙනි, ජරාමරණ කවරේද? මේ ජරාමරණය වනාහි කාගේ දැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණෙනි, ‘ජරාමරණය අනිකකිය. මේ ජරාමරණය වනාහි අනිකකුගේයයි’ මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය. ව්‍යඤ්ජන පමණක් වෙනසි. මහණෙනි, ජීවයත් එයය, ශරීරයත් එයමයයි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචර්යාවාසය නොවේ. මහණෙනි, ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියා වාසය නොවේ. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණ, ජාතිය නිසා ජරාමරණය ඇතිවේයයි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන සේක.

“මහණෙනි, ජාතිය කවරේද? මේ ජාතිය වනාහි කාගේ දැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද? මහණෙනි, ‘ජාතිය අනිකකි. මේ ජාතිය වනාහි අනිකකුගේයයි’ මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය. ව්‍යඤ්ජන පමණක් වෙනසි. මහණෙනි, ජීවයත් එයය ශරීරයත් එයමයයි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචර්යාවාසය නොවේ. මහණෙනි, ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියාවාසය නොවේ. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණ, භවය නිසා ජාතිය ඇතිවේයයි තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක.

“මහණෙනි, භවය කවරේද? මේ භවය වනාහි කාගේදැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණෙනි, ‘භවය අනිකකි. මේ භවය වනාහි අනිකකුගේයයි’ මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය. ව්‍යඤ්ජන පමණක් වෙනසි. මහණෙනි, ජීවයත් එයය. ශරීරයත් එයමයයි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචර්යාවාසය නොවේ. මහණෙනි, ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියා වාසය නොවේ. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණ, භවය නිසා උපාදානය ඇතිවේයයි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන සේක.

“මහණෙනි, උපාදානය කවරේද? මේ උපාදානය වනාහි කාගේදැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණෙනි, ‘උපාදානය අනිකකි. මේ උපාදානය වනාහි අනිකකුගේයයි’ මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය. ව්‍යඤ්ජන පමණක් වෙනසි. මහණෙනි, ජීවයත් එයය, ශරීරයත් එයමයයි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචර්යාවාසය නොවේ. මහණෙනි, ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියාවාසය නොවේ. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණ, උපාදානය නිසා තණ්හාව ඇතිවේයයි තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක.

“මහණෙනි, තණ්හාව කවරේද? මේ තණ්හාව වනාහි කාගේ දැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණෙනි, ‘තණ්හාව අනිකකි. මේ තණ්හාව වනාහි අනිකකුගේයයි’ මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය. ව්‍යඤ්ජන පමණක් වෙනසි. මහණෙනි, ජීවයත් එයය, ශරීරයත් එයමයයි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචර්යාවාසය නොවේ. මහණෙනි, ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියාවාසය නොවේ. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණ, තණ්හාව නිසා වේදනාව ඇතිවේයයි තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක.

“මහණෙනි, වේදනාව කවරේද? මේ වේදනාව වනාහි කාගේදැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණෙනි, ‘වේදනාව අනිකකි. මේ වේදනාව වනාහි අනිකකුගේයයි’ මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය. ව්‍යඤ්ජන පමණක් වෙනසි. මහණෙනි, ජීවයත් එයය, ශරීරයත් එයමයයි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචර්යාවාසය නොවේ. මහණෙනි, ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටිය ඇතිකල්හි බ්‍රහ්මචරියාවාසය නොවේ. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණ, වේදනාව නිසා ස්පර්ශය ඇතිවේයයි තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක.

“මහණෙනි, ස්පර්ශය කවරේද? මේ ස්පර්ශය වනාහි කාගේ දැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණෙනි, ස්පර්ශය අනිකකි. මේ ස්පර්ශය වනාහි අනිකකුගේයයි’ මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය. ව්‍යඤ්ජන පමණක් වෙනසි. මහණෙනි, ජීවයත් එයය, ශරීරයත් එයමයයි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචර්යාවාසය නොවේ. මහණෙනි, ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටිය ඇතිකල්හි බ්‍රහ්මචරියාවාසය නොවේ. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණ, ස්පර්ශය නිසා සළායතන ඇතිවේයයි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන සේක.

“මහණෙනි, සළායතන කවරේද? මේ සළායතන වනාහි කාගේ දැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණෙනි, ‘සළායතන අනිකකි. මේ සළායතන වනාහි අනිකකුගේයයි’ මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය. ව්‍යඤ්ජන පමණක් වෙනසි. මහණෙනි, ජීවයත් එයය, ශරීරයත් එයමයයි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචර්යාවාසය නොවේ. මහණෙනි, ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටිය ඇතිකල්හි බ්‍රහ්මචරියාවාසය නොවේ. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණ, සළායතන නිසා නාමරූප ඇතිවේයයි තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක.

“මහණෙනි, නාමරූප කවරේද? මේ නාමරූප වනාහි කාගේ දැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණෙනි, ‘නාමරූප අනිකකි. මේ නාමරූප වනාහි අනිකකුගේයයි’ මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය. ව්‍යඤ්ජන පමණක් වෙනසි. මහණෙනි, ජීවයත් එයය, ශරීරයත් එයමයයි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචර්යාවාසය නොවේ. මහණෙනි, ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටිය ඇතිකල්හි බ්‍රහ්මචරියාවාසය නොවේ. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණ නාමරූප නිසා විඤ්ඤාණය ඇතිවේයයි තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක.

“මහණෙනි, විඤ්ඤාණය කවරේද? මේ විඤ්ඤාණය වනාහි කාගේ දැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණෙනි, විඤ්ඤාණය අනිකකි. මේ විඤ්ඤාණය වනාහි අනිකකුගේයයි’ මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය. ව්‍යඤ්ජන පමණක් වෙනසි. මහණෙනි, ජීවයත් එයය, ශරීරයත් එයමයයි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචර්යාවාසය නොවේ. මහණෙනි, ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටිය ඇතිකල්හි බ්‍රහ්මචරියාවාසය නොවේ. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණ, විඤ්ඤාණය නිසා සළායතන ඇතිවේයයි තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක.

“මහණෙනි, සංස්කාර කවරේද? මේ සංස්කාර වනාහි කාගේ දැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණෙනි, ‘සංස්කාර අනිකකි. මේ සංස්කාර වනාහි අනිකකුගේයයි’ මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය. ව්‍යඤ්ජන පමණක් වෙනසි. මහණෙනි, ජීවයත් එයය, ශරීරයත් එයමයයි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචර්යාවාසය නොවේ. මහණෙනි, ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටිය ඇතිකල්හි බ්‍රහ්මචරියා වාසය නොවේ. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණ, සංස්කාර නිසා සළායතන ඇතිවේයයි තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක.

“මහණෙනි, මිථ්‍යාදෘෂ්ටි වැරදි දැකීම් විපරීත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. ජරාමරණය කවරේද? මේ ජරාමරණය කාගේදැයි කියා හෝ අවිද්‍යාව ඉතිරි නොකොට පහකිරීම හේතුකොටගෙන යමෙකුට ජරාමරණය අනිකකි. මේ ජරාමරණය අනිකෙකුගේයයි කියා හෝ ජීවයත් එයය, ශරීරයත් එයමයයි කියා හෝ, ජීවය අනිකකි ශරීරය අනිකකියි කියා හෝ පවත්නාවූ මිථ්‍යාදෘෂ්ටි වැරදි දැකීම් විපරිත දැකීම් වෙත්ද, ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු, තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නොඋපදින ස්වභාව ඇත්තාහු වෙත්.

“මහණෙනි, මිථ්‍යාදෘෂ්ටි වැරදි දැකීම් විපරීත දැකීම් වෙත්ද, ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. මහණෙනි, ජාතිය කවරේද? මේ ජාතිය කාගේදැයි කියා හෝ, ජාතිය අනිකකැයි කියා හෝ ජාතිය අනිකකුගේයයි කියා හෝ, ජීවයත් එයය. ශරීරයත් එයමයයි කියා හෝ, ජීවය අනිකකි. ශරීරයත් අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නොඋපදින ස්වභාව ඇත්තාහු වෙත්.

“මහණෙනි, මිථ්‍යාදෘෂ්ටි වැරදි දැකීම් විපරීත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. මහණෙනි, භවය කවරේද? මේ භවය කාගේදැයි කියා හෝ භවය අනිකකැයි අනිකෙකුගේයයි කියා හෝ මේ භවය අනිකකුගේ යයි කියා හෝ ජීවයත් එයය ශරීරයත් එයමයයි කියා හෝ ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්‍රහීණවෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු, මතු නොඋපදින ස්වභාව ඇත්තාහු වෙත්.

“මහණෙනි, මිථ්‍යාදෘෂ්ටි වැරදි දැකීම් විපරීත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. මහණෙනි, උපාදානය කවරේද? මේ උපාදානය කාගේදැයි කියා හෝ උපාදානය අනිකකැයි, කියා හෝ මේ උපාදානය අනිකකුගේයයි කියා හෝ ජීවයත් එයය. ශරීරයත් එයමයයි කියා හෝ ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්‍රහීණවෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු, මතු නොඋපදින ස්වභාව ඇත්තාහු වෙත්.

“මහණෙනි, මිථ්‍යාදෘෂ්ටි වැරදි දැකීම් විපරීත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. මහණෙනි, තණ්හාව කවරේද? මේ තණ්හාව කාගේදැයි කියා හෝ තණ්හාව අනිකකැයි කියා හෝ මේ තණ්හාව අනිකකුගේ යයි කියා හෝ ජීවයත් එයය ශරීරයත් එයමයයි කියා හෝ ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්‍රහීණවෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු, මතු නොඋපදින ස්වභාව ඇත්තාහු වෙත්.

“මහණෙනි, මිථ්‍යාදෘෂ්ටි වැරදි දැකීම් විපරීත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. මහණෙනි, වේදනාව කවරේද? මේ වේදනාව කාගේදැයි කියා හෝ වේදනාව අනිකකැයි කියා හෝ මේ වේදනාව අනිකෙකුගේයයි කියා හෝ ජීවයත් එයය. ශරීරයත් එයමයයි කියා හෝ ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු, මතු නොඋපදින ස්වභාව ඇත්තාහු වෙත්.

“මහණෙනි, මිථ්‍යාදෘෂ්ටි වැරදි දැකීම් විපරීත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. මහණෙනි, ස්පර්ශය කවරේද? මේ ස්පර්ශය කාගේදැයි කියා හෝ ස්පර්ශය අනිකකැයි කියා හෝ මේ ස්පර්ශය අනිකකුගේයයි කියා හෝ ජීවයත් එයය ශරීරයත් එයමයයි කියා හෝ ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්‍රහීණවෙත්. මුල් සිඳින ලද්දාහු, තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු, මතු නො උපදින ස්වභාව ඇත්තාහු වෙත්.

“මහණෙනි, මිථ්‍යාදෘෂ්ටි වැරදි දැකීම් විපරීත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. මහණෙනි, සළායතන කවරේද? මේ සළායතන කාගේදැයි කියා හෝ සළායතන අනිකකැයි කියා හෝ මේ සළායතන අනිකකුගේයයි කියා හෝ, ජීවයත් එයය. ශරීරයත් එයමයයි කියා හෝ ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්‍රහීණවෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු, මතු නොඋපදින ස්වභාව ඇත්තාහු වෙත්.

“මහණෙනි, මිථ්‍යාදෘෂ්ටි වැරදි දැකීම් විපරීත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. මහණෙනි, භවය කවරේද? මේ නාමරූප කාගේදැයි කියා හෝ නාමරූප අනිකකැයි කියා හෝ මේ නාමරූප අනිකකුගේයයි කියා හෝ ජීවයත් එයය ශරීරයත් එයමයයි කියා හෝ ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්‍රහීණවෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන්, කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු, මතු නොඋපදින ස්වභාව ඇත්තාහු වෙත්.

“මහණෙනි, මිථ්‍යාදෘෂ්ටි වැරදි දැකීම් විපරීත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. මහණෙනි, විඤ්ඤාණය කවරේද? මේ විඤ්ඤාණය කාගේදැයි කියා හෝ විඤ්ඤාණය අනිකකැයි කියා හෝ මේ විඤ්ඤාණය අනිකකුගේ යයි කියා හෝ ජීවයත් එයය ශරීරයත් එයම යයි කියා හෝ ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නොඋපදින ස්වභාව ඇත්තාහු වෙත්.

“මහණෙනි, මිථ්‍යාදෘෂ්ටි වැරදි දැකීම් විපරීත දැකීම් වෙත්ද ඒ සියල්ල ප්‍රහීණ වෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු නැවත වැඩීම නොකරන ලද්දාහු මතු නූපදින ස්වභාව ඇත්තාහු වෙත්. මහණෙනි, සංස්කාර කවරේද? මේ සංස්කාර කාගේදැයි කියා හෝ සංස්කාර අනිකකයි කියා හෝ මේ සංස්කාර අනිකකුගේ යයි කියා හෝ ජීවයත් එයය ශරීරයත් එයමයයි කියා හෝ ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියා හෝ දෘෂ්ටි ඇත්තාවූ ඔහුට ඒ සියල්ල ප්‍රහීණවෙත්. මුල් සිඳින ලද්දාහු තල් කඳක් මෙන් කරන ලද්දාහු, නැවත වැඩීම නොකරන ලද්දාහු, මතු නොඋපදින ස්වභාව ඇත්තාහු වෙත්.

(හයවන අවිජ්ජා සූත්‍රය නිමි)