සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

4. කළාරඛත්තිය වර්ගය

8. චේතනා සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, යමක් සිතයිද, යමක් කල්පනා කෙරෙයිද, යමක් නැවත නැවත පවතියිද, මෙය කර්මවිඤ්ඤාණයාගේ පැවැත්මට හේතු වෙයි. හේතුව ඇතිකල්හි කර්ම විඥානයාගේ පිහිටීම වෙයි. කර්ම විඥානය පිහිටි කල්හි, වැඩුණු කල්හි, මත්තෙහි නැවත භවයක ඉපදීම වෙයි. මත්තෙහි නැවත භවයක ඉපදීම ඇති කල්හි, මත්තෙහි ජාති, ජරා, මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක් සමූහය ඇතිවෙයි. මහණෙනි, ඉදින් නොසිතයිද, කල්පනා නොකෙරෙයිද, එතකුදු වුවත් නැවත නැවත පවතියිද, මෙය කර්ම විඤ්ඤාණයාගේ පැවැත්ම පිණිස හේතු වෙයි. හේතුව ඇති කල්හි, කර්ම විඤ්ඤාණය පිහිටයි. ඒ කර්ම විඤ්ඤාණය පිහිටි කල්හි, වැඩුණු කල්හි, මත්තෙහි නැවත භවයක ඉපදීම ඇතිවෙයි. මත්තෙහි ඉපදීම ඇති කල්හි ජාති, ජරා, මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස් වීම් සහ වැළපීම් ඇති වෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ ඇතිවේ.

“මහණෙනි, යම් හේතුවකින් ඉදින් නොසිතයිද, කල්පනා නොකෙරෙයිද, නොපවතියිද මෙය විඤ්ඤාණයාගේ පැවැත්ම පිණිස හේතු නොවෙයි. හේතු නැති කල්හි කර්ම විඥානය නොපිහිටයි. කර්මවිඥානය නොපිහිටි කල්හි, නොවැඩුණ කල්හි, මත්තෙහි නැවත භවයක ඉපදීම නොවෙයි. මත්තෙහි නැවත භවයක ඉපදීම නැතිකල්හි, මත්තෙහි ජාති, ජරා, මරණ, ශෝක, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් නැතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් සමූහය නැතිවේ.

(අටවන චේතනා සූත්‍රය නිමි.)