සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

4. කළාරඛත්තිය වර්ගය

9. චේතනා සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එහිදී භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, යමක් සිතයිද, යමක් කල්පනා කෙරෙයිද, යමක් නැවත නැවත පවතියිද, මෙය කර්මවිඤ්ඤාණයාගේ පැවැත්මට හේතු වෙයි. හේතුව ඇතිකල්හි කර්මවිඤ්ඤාණය පිහිටයි. කර්මවිඤ්ඤාණය පිහිටි කල්හි, කර්මවිඤ්ඤාණය වැඩුණු කල්හි, නාමරූපයාගේ බැසගැනීම වෙයි. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. ජාතිය (ඉපදීම) නිසා ජරාමරණද ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ ඇතිවේ.

“මහණෙනි ඉදින් නොසිතයිද, කල්පනා නොකෙරෙයිද, එහෙත් නැවත නැවත පවතියිද, මෙය විඤ්ඤාණයාගේ පැවැත්ම පිණිස හේතුව වෙයි. හේතුව ඇති කල්හි කර්මවිඤ්ඤාණය පිහිටයි. කර්මවිඤ්ඤාණය පිහිටි කල්හි විඤ්ඤාණය වැඩුණු කල්හි නාමරූපයාගේ බැසගැනීම වෙයි. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. ජාතිය (ඉපදීම) නිසා ජරාමරණද, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ ඇතිවේ.

“මහණෙනි, යම් හේතුවකින් ඉදින් නොසිතයිද, කල්පනා නොකෙරෙයිද, නොපවතියිද මෙය විඤ්ඤාණයාගේ පැවැත්මට හේතු නොවෙයි. හේතු නැති කල්හි කර්ම විඤ්ඤාණය නොපිහිටයි. කර්මවිඤ්ඤාණය නොපිහිටි කල්හි, ඒ විඤ්ඤාණය නොවැඩුණු කල්හි, නාමරූපයාගේ බැසගැනීම (ඇති) නොවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැති වෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැති වෙයි. උපාදානය නැතිවීමෙන් ජාතිය (උප්පත්තිය) නැතිවෙයි ජාතිය (උප්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක්ගොඩ නැතිවෙයි.

(නවවන චේතනා සූත්‍රය නිමි.)