සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
7. මිගජාල වර්‍ගය
11. ඡඵස්සායතන සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් ලත් වේළුවනයෙහි (උණවනයෙහි) වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි’’ යි කියා භික්‍ෂූන්හට කථා කළ සේක. ’’පින්වතුන් වහන්සැ’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.
’’මහණෙනි, යම්කිසි මහණෙක් වනාහි සවැදෑරුම්වූ ස්පර්‍ශායතනයන්ගේ හටගැණීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් නොදනීද, ඔහු විසින් බ්‍රහ්මචර්‍ය්‍යාව නොවසන ලදී. හෙතෙම මේ ධර්‍ම විනයෙන් ඈත්වූවෙක්ම වන්නේය.’’
’’මෙසේ වදාළ කල්හි එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. ’’ස්වාමීනි, මෙහි මම නැසුනෙමි. ස්වාමීනි, මම වනාහි සවැදෑරුම්වූ ස්පර්‍ශායතනයන්ගේ හටගැණීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් නොදනිමි’’ යි කීයේය.
’’මහණ, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිතයය.’’
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ස්වාමීනි, දුක්ය.’’
’’යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.’’
’’කණ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිතයය.’’
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ස්වාමීනි, දුක්ය.’’
’’යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.’’
’’නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිතයය.’’
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ස්වාමීනි, දුක්ය.’’
’’යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.’’
’’දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිතයය.’’
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ස්වාමීනි, දුක්ය.’’
’’යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.’’
’’කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිතයය.’’
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ස්වාමීනි, දුක්ය.’’
’’යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.’’
’’සිත නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිතයය.’’
’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ස්වාමීනි, දුක්ය.’’
’’යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.’’
’’මහණ, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කණ කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ’’ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. සතර මාර්‍ගයෙන් කළ යුතු දෙය කරණ ලදී. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගණීයයි’’ (වදාළ සේක)
දෙවෙනි මිගජාල වර්‍ගය නිමි.