සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
3. කොටිගාම වර්ගය
1. කොටිගාම සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වැදෑරට කෝටි නම් ගමෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්හට කථා කළ සේක.
“මහණෙනි, චතුරාර්‍ය්‍ය සත්‍යය අවබොධ නොකිරීම හෙතුකොටගෙන ප්‍රතිවෙධ නොකිරීම හෙතුකොට ගෙන මෙසේ මාද තොපද බොහෝ කාලයක් මුළුල්ලෙහි සසර ගමන් කරන ලදී. සැරිසරණ ලදී.
“කිනම් සතරකගේද? මහණෙනි, දුක්ඛාර්‍ය්‍ය සත්‍යය අවබොධ නොකිරීම හෙතුකොටගෙන ප්‍රතිවේධ නොකිරීම හෙතුකොට ගෙන මෙසේ මාද තොපද බොහෝ කාලයක් මුළුල්ලෙහි සසර ගමන් කරන ලදී, සැරිසරණ ලදී.
“දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යය අවබොධ නොකිරීම හෙතුකොට ගෙන ප්‍රතිවේධ නොකිරීම හෙතුකොට ගෙන මෙසේ මාද තොපද බොහෝ කාලයක් මුළුල්ලෙහි සසර ගමන් කරන ලදී, සැරිසරණ ලදී.
“දුක්ඛ නිරොධ ආර්‍ය්‍ය සත්‍යය අවබොධ නොකිරීම හෙතුකොටගෙන ප්‍රතිවේධ නොකිරීම හෙතුකොට ගෙන මෙසේ මාද තොපද බොහෝ කාලයක් මුළුල්ලෙහි සසර ගමන් කරන ලදී, සැරිසරණ ලදී.
“දුක්ඛ නිරොධ ගාමිණී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යය අවබොධ නොකිරීම හෙතුකොට ගෙන ප්‍රතිවේධ නොකිරීම හෙතුකොට
ගෙන මෙසේ මාද තොපද බොහෝකාලයක් මුළුල්ලෙහි සසර ගමන් කරන ලදී, සැරිසරණ ලදී.
“මහණෙනි, මා විසින් ඒ මේ දුක්ඛාර්‍ය්‍ය සත්‍යය අවබොධ කරන ලදී. ප්‍රතිවේධ කරන ලදී. දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යය අවබොධ කරන ලදී ප්‍රතිවේධ කරන ලදී. දුක්ඛ නිරොධාර්‍ය්‍ය සත්‍යය අවබොධ කරන ලදී. ප්‍රතිවේධ කරන ලදී. දුක්ඛ නිරොධ ගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය අවබොධ කරන ලදී, ප්‍රතිවේධ කරන ලදී. භව තණ්හාව සිඳින ලදී. භවයෙන් භවයට පැමිණීම ක්ෂය කරන ලදී. දැන් නැවත ඉපදීමක් නැත.” මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
“සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත ශාස්තෲන් වහන්සේ මෙයද වදාළසේක. චතුරාර්‍ය්‍යසත්‍යය ඇති පරිදි නො දැක්මෙන් සසර බොහෝ කාලයක් මුළුල්ලෙහි ඒ ඒ ජාතීන්හි හැසුරුනෙමි. මේ චතුරාර්‍ය්‍ය සත්‍යය මා විසින් දක්නා ලදී. ඒ භවයෙන් භවයට යාම නැති කරන ලදී. දුක්ඛයාගේ මුල් සිඳින ලදී. දැන් නැවත ඉපදීමක් නැත.”