සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
3. කොටිගාම වර්ගය
2. නජාතිජරූපග සූත්‍රය
“මහණෙනි, යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙය දුකයයි” තත්වූ පරිදි නොදනිත්ද, මේ දුකට හෙතුවයයි, තත්වූ පරිදි නොදනිත්ද, මේ දුක නැතිවීමයයි තත්වූ පරිදි නොදනිත්ද, මේ දුක නැතිකිරීමට පැමිණෙන මාර්ගයයි තත්වූ පරිදි නොදනිත්ද, මහණෙනි, මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණයයි සම්මතද, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණයයි සම්මතද නොවෙත්. ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණභාවයේ ඵලය හෝ බ්‍රාහ්මණ භාවයේ ඵලය හෝ මේ ආත්මයේදීම තෙමේ දැන ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකෙරෙත්.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙය දුකයයි තත්වූ පරිදි දනිත්ද, මේ දුකට හෙතුවයයි තත්වූ පරිදි දනිත්ද මේ දුක නැතිවීමයයි තත්වූ පරිදි දනිත්ද, මේ දුක නැතිකිරීමට පැමිණෙන මාර්ගයයි තත්වූ පරිදි දනිත්ද, මහණෙනි, මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණයයි සම්මතද බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණයයි සම්මතද වෙත් ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණභාවයේ ඵලය හෝ බ්‍රාහ්මණ භාවයේ ඵලය හෝ මේ ආත්මභාවයේ දීම තෙමේ දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය කෙරෙත්.
“භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත ශාස්තෲන් වහන්සේ මෙයද වදාළසේක යම් කෙනෙක් දුක් නොදනිත්ද වැලි දුකට හෙතුව නොදනිත්ද යම් ධර්මයෙක්හි දුක ඉතිරි නොවී සර්වප්‍රකාරයෙන් නිරුද්ධවේද, එය නොදනිත්ද දුක් නැතිකිරීමට පැමිණෙන මාර්ගය නොදනිත්ද, ඔව්හු අර්හත් ඵල සමාධියෙන් පිරිහුණාහ. තවද අර්හත් ඵල ප්‍රඥාවෙන් පිරිහුණාහ. ඔව්හු දුක් කෙළවර කිරීමට නුසුදුස්සෝය. ඔව්හු ඒකාන්තයෙන් ජාති ජරා දුක් වලට පැමිණෙන්නාහ.
“යම් කෙනෙක් දුක දනිත්ද යලි දුකටහේතුව දනිත්ද යම් තැනෙක දුක ඉතිරි නොවී සර්වප්‍රකාරයෙන් නිරුද්ධ වෙයිනම් එයද දනිත්ද, දුකසංසිඳීමට පැමිණෙන මාර්ගය දනිත්ද, අර්හත් ඵල සමාධියෙන් හා අර්හත් ඵල ප්‍රඥාවෙන් යුත් ඔව්හු දුක් කෙළවර කිරීමට සුදුස්සෝය. ඔව්හු ජාති ජරා දුකට නොපැමිණෙන්නාහ.”