ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

4. අෂ්ටක වර්ගය

11. කලහවිවාද සූත්‍රය

“කලහයෝද විවාදයෝද කොහින් හටගන්නෝද, වැළපීම, දුක්වීමද මසුරුකමද මාන අතිමානද කේලාම් වචනද කොයින් හටගන්නෝද, සියලු ඉතිරි ක්ලේශධර්ම කොයින්ද, ඒ කරුණු වදාළහොත් මැනවි.”

“කලහයෝද, විවාදයෝද, වැළපීම හා ශොකද මසුරුකම්ද පණ ඇති නැති ප්‍රියවූවස්තු නිසා පහළවූවාහුය. මාන අතිමානයෝද, කේලාම් වචනද ප්‍රිය වස්තූන් නිසා උපන්නාහුය. කලහයෝද, විවාදයෝද, මසුරුකමෙහි යුක්ත වෙති. විවාද කරුණු අතර කේලාම් වචනද ප්‍රියවස්තූන් නිසා පහළවූවාහුය.

“ලොකයෙහි යම් ලොභ කෙනෙක් පවතිත්ද, ප්‍රිය වස්තූන් අතර කොයින් හටගනිත්ද, යම් කෙනෙක් සත්වයාට පරලොව පිණිස වේද, ඒ ආශාවද සම්පූර්ණවීමද කොයින් හටගැනේද,

“ලෝකයෙහි යම් ලෝභ කෙනෙක් පවතිත්ද ලෝකයෙහි (ඒ) ප්‍රියවස්තූහු කාමච්ඡන්දාදිය නිදන්කොට ඇත්තාහුය. තවද යම් ධර්ම කෙනෙක් සත්වයාට පරලොව පිණිස වේද, ඒ ආශාවද සම්පූර්ණවීමද මෙය නිදන්කොට ඇත්තාහ.”

“ලොව ඡන්දය කුමක් නිදානකොට ඇත්තේද, තවද (තෘෂ්ණාදෘෂ්ටි සංඛ්‍යාත) විනිශ්චය කොතැනින් උපන්නාහුද, ක්‍රොධය, බොරුකීම, සැකයයයි බුදුන් විසින් වදාරණලද යම් අකුශල ධර්මකෙනෙක් ඇද්ද, ඒ ධර්මයෝ කුමක් ප්‍රභවකොට ඇත්තාහුද?”

“සත්වලොකයෙහි සැපයයිද දුකයයිද යමක් කියත්ද, ඒ සැප දුක් වේදනා නිසා කැමැත්ත ඇතිවේ. ලොකයෙහි සත්වතෙම රූපයන්හි විනාශයද, උත්පත්තියද දැක (තෘෂ්ණා දෘෂ්ටි) විනිශ්චයද කරන්නේය.

“ක්‍රොධයද බොරුකීමද, සැකයද තවද මේ ලොභාදී ධර්මයෝද (ඉෂ්ටානිෂ්ට) දෙකම ඇති කල්හි පහළවෙත්. සැකයෙන් යුත් පුද්ගලතෙමේ නුවණ ලැබීම පිණිස හික්මෙන්නේය. බුදුන් විසින් දැන අනිත්‍යාදී ධර්ම ප්‍රකාශ කරණලදී.”

“සැප වෙදනාවද දුක් වෙදනාවද කුමක් මුල්කොට ගෙන උපදනාහුද? මේ වේදනා කවරක් නැතිකල්හි නොවෙත්ද, තවද විනාශයද, උත්පත්තියද යන යම් මේ අර්ථයක් වේද යමක් නිදන්කොට ඇත්ද? මට මේ කාරණය කියනු මැනවි.”

“සැප වේදනාවද, දුක් වේදනාවද ස්පර්ශය මුල්කොට

ගෙන උපදනේය. මේ ධර්මයෝ වනාහි ස්පර්ශය නැතිකල්හි නොවෙත්. තවද විනාශයද, ඉපදීමද යන යම් මේ කරුණක් වේද, මෙයින් (ස්පර්ශාදිය නිසා) පහළවේ යන මේ කරුණ ඔබට කියමි.”

“ලොව ස්පර්ශයතෙමේ කවරක් මුල කාරණකොට පහළවේද, තවද අල්ලාගැනීම් කවරකින් පහළවූවහුද, කවරක් නැතිකල්හි (තෘෂ්ණාදෘෂ්ටි) මමත්වය නැත්තේද, කවරක් ඉක්ම ගියකල්හි ස්පර්ශය ස්පර්ශ නොකෙරේද?”

“නාමයද, රූපයද නිසා ස්පර්ශය වෙයි. අල්ලාගැනීම් කැමැත්ත මුල්කොට ඇත්තේය. ආශා නම් තෘෂ්ණාව නැතිකල්හි මමත්වය නැත. රූපය ඉක්මගිය කල්හි ස්පර්ශයෝ ස්පර්ශ නොකෙරෙත්.”

“කෙසේ පිළිපදින්නහුට රූපාලම්බනය නොවේද, තවද සැප හෝ දුක හෝ කෙසේ නොවේද, යම්සේ රූපාලම්බන සැපය නොවේද එසේ මට කියන්න. එය දනිමි යයි මට සිතෙක් වූයේය.”

“රූපය නොවන තැනැත්තා ප්‍රකෘති සංඥා ඇත්තෙක්ද නොවෙයි විකෘති සංඥා ඇත්තෙක්ද නොවේ තවද සංඥා ඇත්තෙක්ද නොවෙයි. අරූපධ්‍යාන ලාභියෙක්ද නොවෙයි. මෙසේ (අරූප මාර්ගයට) පිළිපන්නහුට රූපය නොවන්නේය. (යම්හෙයකින් තෘෂ්ණාමාන දෘෂ්ටි) ප්‍රමාදයෝ රූපසංඥාව මුල්කොට ඇත්තාහ.”

“යමක් ඔබගෙන් ඇසුමූද එය අපට කීයෙහිය. දැන් අන්කරුණක් ඔබගෙන් විචාරමි. එය කියනුමැනවි. මේ ලෝකයෙහි පණ්ඩිතවූ ඇතැම් කෙනෙක් මෙය සත්වයාගේ ශ්‍රෙෂ්ඨ භූමියයයි කියත්.”

“මෙලොව පණ්ඩිතවූ ඇතැම් මහණ බමුණු කෙනෙක් මෙහිදී සත්වයාගේ ශ්‍රෙෂ්ඨ ශුද්ධිය කියත්. ඔවුන් අතරෙහි වනාහි ඇතැම් කෙනෙක් අනුපාදිශෙෂයෙහි දක්ෂවූ වාද ඇතියෝව උච්ඡෙද වාදය (මරණයෙන් ඉවරවීම) කියත්.

“මොවුහු ආශ්‍රිතයෝයයි දැන ප්‍රාඥවූ ඒ බුද්ධ මුනි තෙම ආශ්‍රයයන්ද දැන මිදුණේ විරුද්ධවාදයට නොපැමිණෙන්නේය. ධීරතෙම නැවත නැවත නොම පැමිණෙන්නේය.”

කලහවිවාදසුත්තං එකාදසමං නිට්ඨිතං.