ඛුද්දකනිකායෙ
සුත්ත නිපාතය
4. අෂ්ටක වර්ගය
10. පුරා භෙද සූත්‍රය
“කෙසේ දකින කෙබඳු ස්වභාවයකින් යුත් පුද්ගලයා සන්සුන් දැයි කියනු ලැබේද? ගෞතමයන් වහන්ස, අසන ලද්දාවූ මට උතුම් පුද්ගලයා කියනු මැනව.”
“යමෙක් තෙම ශරීරය බිඳෙන්ට පෙර තෘෂ්ණාව නැති කොට, අතීත ජීවිත ඇසුරු නොකොට වර්තමානයේද චොදනා නොකට හැක්කේද ඔහුට (තෘෂ්ණා දෘෂ්ටි අතුරෙන්) මුල්වන දෙයක් නැත්ද,
“නොකිපෙන ස්වභාව ඇත්තේද තැති නොගන්නේද ආත්ම වර්ණනා නොකරන්නේ සැක නැත්තේ පමණට කථා කරන්නේද, උඩඟු නොවූයේ හෙතෙම ඉදින් වචනයෙන් සංවරවූයේ වේද,
ඒ මුනිතෙම “අනාගතයෙහි තෘෂ්ණා නැත්තේ ඉක්ම ගිය වස්තුව අනුව ශොක නොකරයිද, ස්පර්ශාදියෙහි විමසා දක්නා සුළුත් වේද, දෙසැට දෘෂ්ටි විෂයෙහිද නොපමුණුවනු ලබන්නේය.
“රාගාදීන් කෙරෙන් පහවූ කුහක නොවූ, ආශා නැති මසුරුකම් නැති ආඩම්බර නැති නොපිළිකුල්වූ හෙතෙමේ කේළාම් කීමෙහිද නොයෙදේද,
“කාම වස්තූන්හි නො වැගිරෙන, අතිමානයෙහි නොයෙදුණු මොලොක් බැව්හි යුක්තවූ වැටහීමෙහි සමර්ථ නොඅදහන, නොකලකිරෙන,
“ලාභ කැමැත්තෙන් නොහික්මෙන්නේත් වේද, නොලැබීමෙහි නොකිපේද, විරුද්ධගති නැත්තේත් වේද, තෘෂ්ණායෙන් රසයන්හි ආශා නොකරන්නේ වේද,
“මැදහත් බව ඇති හැමකල්හි සිහි ඇති ලොකයෙහි සමයකු කොට නොහඟින, අතිමානී නොවන අවමානයට නොයන ඔහුට රාගාදී කෙලෙස් නැද්ද,
“යමකුට (තෘෂ්ණා දෘෂ්ටි) ආශ්‍රය නැත්ද, ධර්මය දැන නොඇලුණේද යමකු හට ශාස්වත දෘෂ්ටියෙහි හෝ උච්ඡෙද දෘෂ්ටියෙහි හෝ තණ්හාවක් නැද්ද,
“ඔහුට ගැට නැත්ද හෙතෙම මහා තෘෂ්ණාව එතර කෙළේද කාමයන්හි බලාපොරොත්තුවක් නැති, ඔහුට ඇතුළත සංසිඳුණේය කියනු ලැබේ.
“ ඕහට පුත්‍රයෝ ගව මහිෂාදීහුද නැත ක්ෂෙත්‍ර නැත. ඉඩම් නැත, නැවත ඔහු කෙරෙහි හා ශාස්වත හෝ උච්ඡෙද හෝ දෘෂ්ටියක් නැත.
“රාගාදී යම් වරදකින් පෘථග්ජනයෝ හෝ මහණ බමුණෝ ඔහුට දොස් කියන්නාහුද, ඒ වරද ඉදිරියට නොඑන්නේය. එහෙත් හෙතෙම නින්දා පූර්වක වචනයෙන් නොසැලෙයි.
“පහකරණ ලද ගිජුකම් ඇති මසුරු මල නැති රහත් මහණතෙම විශිෂ්ටයකු කොට කියා නොගනියි. සදෘශයෙකැයිද ලාමකයෙකැයිද නොකියන්නේය. තෘෂ්ණා දෘෂ්ටි ක්ෂයකොට එයට නොඑයි.
“ලොකයෙහි යමෙකුට මාගේ යයි ගන්නා ලද්දාක් නැද්ද, නැති නිසාද ශොක නොකරන්නේය. සියලු ධර්මයන් විෂයෙහි (ආශාවෙන්) නොයන්නේය. හෙතෙම ඒකාන්තයෙන් ශාන්තයයි කියනු ලැබේ.”
පුරාභෙදසුත්තං දසමං නිට්ඨිතං.