ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

4. අෂ්ටක වර්ගය

9. මාගන්දිය සූත්‍රය

“තණ්හාවද, අරතියද, රගාද යන මාර දුහිතෲන් දැකත් මෛථුන සෙවනයෙහි කැමැත්තක් නොවීය. දෙතිස් කුණින් පිරුණ මේ ශරීරය දැක මෙවුන්දම් සෙවීම තබා පයින්වත් ස්පර්ශ කරන්නට නොකැමැතිවෙමි.”

“ඉදින් බොහෝ රජුන් විසින් පතන ලද මෙබඳු ස්ත්‍රීරත්නයක් නොකැමැත්තෙහි නම් ඒ දැකීම ද ශීලයද වත පිළිවෙතද ජීවිතයද උත්පත්තියද කෙබඳුදැයි වදාළ මැනව.”

“මාගන්දිය, (දෙසැට) දෘෂ්ටීන් නිශ්චය කොට තදින් ගත් මේ දෘෂ්ටි ගැනීම කියමියි” ඒ මට අදහසක් නොවේ. දකිමිනුත් කිසිදෘෂ්ටියක් තදින් නොගෙන නිර්වාණය සොයන්නෙමි. එය මනාකොට දිටිමි’යි භාග්‍යවතුන් වහන්සේ (වදාළ සේක.)

යම් විනිශ්චයකින් සිතන ලද්දාහුද ඒවා මුනිවූ ඔබ ඒකාන්තයෙන් නොගෙන ඇතුළත සන්සිඳීමයයි” යම් මේ පරමාර්ථයක් කීයෙහිද, ඥාණවන්තයන් විසින් දන්නා ලද එය කෙසේද (කියා මාගන්දිය තෙමේ විචාළේය.)

(භාග්‍යවතුන් වහන්සේ) “මාගන්දිය, මම දැක්මෙන් ඇසීමෙන්, (සමාපත්ති) ඥානයෙන් බාහිර ශීල ව්‍රතයෙන්ද මිදීම නොකියමි. නොදැක්මෙන්, නොඇසීමෙන් නොදැනීමෙන් ශීලයෙන් වෙන්වී ධුතාංග ව්‍රතයෙන් වෙන්වී, නොකියමි. මොවුන්ද හැරදමා, තදින් නොගෙන ශාන්තවූයේ, ඇසුරු කිරීමෙක් නැතිව සසර නොපතන්නට සමත්වේ.”

(මාගන්දිය බමුණා මෙසේ කීයේය.) “ඉදින් වනාහී දැකීමෙන් ශුද්ධිය නොකියන්නේ නම් (මෙහි 5 ඡෙදය යෙදිය යුතුයි.) මම ඔබගේ මේ ධර්මය මහා මුළාවකැයි හඟිමි ඇතැමෙක් දෘෂ්ටියෙන් සංසාර මුක්තිය අදහත්මය.”

“මාගන්දිය, නුඹ දෘෂ්ටිය නිසා නැවත නැවතත් අසන්නෙහිය. දැඩිවගත් දෙයෙහි මුළාවට පැමිණියෙහිය. මෙයිනුදු ස්වල්ප මාත්‍රවූද හැඳිනීමක් නොදැක්කෙහිය. ඒ කාරණයෙන් නුඹ මහා මුළාවක් වශයෙන් දැක්කෙහියයි” භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.

“යමෙක් තෙම සමානයයි හෝ නොහොත් ශ්‍රෙෂ්ඨ යයි හෝ නැත හොත් හීනයයි හෝ සිතාද හෙතෙම එයින් විවාද කරන්නේය. ත්‍රිවිධ මානයෙන් කම්පා නොවන්නේ සමානයයි කියා හෝ ශ්‍රෙෂ්ඨ යයි කියා හෝ ඔහුට නොවන්නේය.

“ඒ ක්ෂීණාශ්‍රවතෙම සත්‍යයයි කුමක් නිසා කුමකට කියන්නේද? බොරුයයි හෝ කවුරුන් සමග වාද කරන්නේද, යමකු කෙරෙහි සම බවක් හෝ තවද විෂම බවක් හෝ නැද්ද? හෙතෙම කවරක්හු හා වාදයෙහි යෙදෙන්නේද?

“ගෙයි (තෘෂ්ණා වශයෙන්) නොහැසිරෙන මුනි තෙමේ විඤ්ඤාණයාගේ අවකාශය හැර ගිහි සබඳකම් නොකරමින් සියලු කාමයන් කෙරෙන් වෙන්වූයේ මතු නූපදින්නේ විරුද්ධ කථාවක් කිසිම කෙනෙකු සමග නොකරන්නේය.

“නාග (රහත්) තෙමේ යමකින් හිස්වූයේ ලොව හැසිරෙන්නේද, ඒ දෘෂ්ටීන් දැඩිව ගෙන නොකියන්නේය ජලයෙහි උපන් කටුසහිත පද්මය යම්සේ ජලයෙන්ද මඩින්ද නොතැවරුනේද, එසේ අධ්‍යාත්ම ශාන්තිය ප්‍රකාශ කරන්නාවූ ගිජු නොවූ මුනි තෙම (වස්තු ක්ලෙශ) කාමයෙහිද (අපායාදී) ලොකයෙහිද නොඇලුණේ වන්නේය.

“(සතර මාර්ග සංඛ්‍යාත) වෙදයට පැමිණියේ දැක්මෙන් සිතීමෙන් සමාන බවට නො වේය එයින් වූවෙක් නොවේමය. හෙතෙම කර්මයෙන්ද ඇසීමෙන්ද පැමිණ විය හැකි නොවන්නේය. (තෘෂ්ණා දෘෂ්ටි) ගෘහයන්ට ඇතුළු නොවූයේය.

“පහවූ කාම සංඥා ඇත්තාහට ගැට නැත්තාහ. විදර්ශනාවෙන් (කෙලෙසුන්ගෙන්) මිදුනහුට මොහය නැත. යම් කෙනෙක් කාමාදී සංඥාද දෙසැට දෘෂ්ටියද දැඩිව ගත්තාහුද ඔව්හු ගැටෙන්නෝ ලෝකයෙහි හැසිරෙත්.”

මාගණ්ඩියසුත්තං නවමං නිට්ඨිතං.