ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

4. අෂ්ටක වර්ගය

8. පසූර සූත්‍රය

“යමක් ඇසුරු කළ එහි ශුභය කියන්නාහු මෙන් වෙනත් සත්‍යයන්හි බොහෝ සෙයින් බැස ගත්තාහු මෙහිම ක්ලෙශ ශුද්ධිය වේයයි” කියත්. අනෙක් ධර්මයන්හි විශුද්ධිය නොකීහ.

“වාද කරණු කැමති ඔහු පිරිසකට වැද ඔවුනොවුන් බාලයන් කොට දකිත්. අන්‍ය (ශාස්තෘවරයන් ඇසුරු කළාවූ ඔවුහු ප්‍රශංසා කැමැත්තෝව පණ්ඩිත වාද ඇත්තම්හයි.” උඩඟු වචන කියත්.

“පිරිස් මැද (වාද) කථාවෙහි උත්සාහවත් වූයේ පැසසුම කැමති වෙමින් සැක කරන්නේ වෙයි. සිදුරු සොයන්නාවූ හෙතෙම බැහැර කළ කල්හි මකුවේ. නින්දාව නිසා කිපෙන්නේය.

“ඔහුගේ වාදය යම් හෙයකින් බැහැර කෙළේද ප්‍රශ්න විමසන්නෝ ලාමක යයි කියත්. පිරිහුන වාද ඇත්තේ මා ඉක්මවූයේයයි වැලපෙයි.” ශොක කරයි, කෙඳිරිගායි.

“මේ විවාදයෝ (පිටත) ශ්‍රමණයන් කෙරෙහි පහළවූවාහු වෙති. මේ විවාදයන්හි නින්දාවද ප්‍රශංසාවද ඇති වේ. මේ දොෂය දැක කලහය නවත්වන්නේය. පැසසුම ලැබීමට වඩා වෙන වැඩක් නැත්තේය.

“එහි (ස්වකීය ලබ්ධියෙහි) ප්‍රශංසා කරණ ලද්දාවූ හෙතෙම පිරිස් මැදෙහි ඒ වාදය ප්‍රකාශ කොට එයින් සිනාසෙන්නේද උඩඟුමන් ඇත්තේද වේ, ඔහුගේ සිත යම්සේද වීද ඒ (ජය) කාරණයට පැමිණෙන්නේය.

“හෙතෙම මානය හා අතිමානය කියාපාන්නේය. මොහුගේ යම් උන්නතියක්වීද ඕතොමෝ විනාශ කාරණයවේ. මේ දොෂය දැක කලහ නොකරන්නේයි, දක්ෂයෝ එයින් (ක්ලෙශ) ශුද්ධිය නොකියත්.

“යම්සේ රාජ භොජනයෙන් පොෂ්‍යය කරණ ලද ශූරතෙම ප්‍රති ශූරයා පතමින් කෑගසමින් එන්නේ ඒ ප්‍රතිශූරයා යම් තැනකවීද එතැනින්ම යනු. කලහ පිණිසවූ යම්බඳු කෙළෙස් එය පෙර (බෝමුලේදී) ම නැත.

“යම් කෙනෙක් (දෙසැට දෘෂ්ටීන් අතුරෙන් එක්තරා දෘෂ්ටියක්) තදින් ගෙන කලහ කෙරෙත්ද, මෙයම සැබෑයයි කියත්ද, තවද යමෙක්තෙම වාදයක් හටගත් කල්හි විරුද්ධ කරුවෙක් වේද, එබඳුවූ ඔවුහු මේ සස්නෙහි නැතැයි ඔවුන්ට (දෘෂ්ටි ගතිකයනට) තෝ කියව.

“යම් කෙනෙක් (කෙලෙස්) මරසෙන් වනසා දෙසැට දෘෂ්ටීන් හා දෘෂ්ටිය වරද්දා නොගනිමින් ජීවිකාව කෙරෙත්ද පසූරය, මෙහි යම් කෙනෙකුන්ට ශ්‍රෙෂ්ඨයයි දැඩිව ගන්නා ලද්දක් නැත්ද ඔවුන් කෙරෙහි ඔබ කුමක් ලබන්නෙහිද?

“තවද තෝ සිතින් දෘෂ්ටීන් සිතමින් කල්පනා කරමින් ආයෙහිද කෙලෙස් කම්පා කළ තථාගතයන් වහන්සේ හා වාදයට තෝ පැමිණියෙහිය. එක් වචනයකුදු අසන්නට අසමර්ථයයි” කීයේය.

පසූරසුත්තං අට්ඨමං නිට්ඨිතං.