ඛුද්දකනිකායෙ
සුත්ත නිපාතය
4. අෂ්ටක වර්ගය
14. තුවටක සූත්‍රය
“සූර්යයාට ඤාතිවූ මහර්ෂීවූ ඔබ විචාරම්. මහණතෙම ත්‍රිවිධ විවේකයද සත්තිස් බොධිපාක්ෂික ධර්මයද, කවර කරුණකින් දැන ස්කන්ධ ලොකයෙහි කිසි රූප වේදනාදියක් නොගන්නේ කෙලෙස් සන්සිඳුවන්නේද,
“තෘෂ්ණා දෘෂ්ටීන්ගේ අවිද්‍යාදී මුලද මමය යන මානයද සියල්ල නුවණින් සන්සිඳුවන්නේය. සිය සතන්හි යම්කිසි තෘෂ්ණා කෙනෙක් උපදනාහුද ඒ තෘෂ්ණාවන්ගේ දුරුකිරීම පිණිස හැමකල්හි සිහි ඇතිව හික්මෙන්නේයයි” භාග්‍යවත් තෙම වදාළේය.
“තමා කෙරෙහිවූ නොහොත් පිටත ආචාර්ය උපාධ්‍යායයන් කෙරෙහිද යම්කිසි උසස් කුලවත් බව මුල්කොට ඇති ගුණයක් මැනවින් දන්නේ නම් ඒ ගුණය කරණ කොට
ගෙන මානය නොකරන්නේය. ඒ උඩඟුකම කෙලෙස් ගිනි නිවීමකැයි බුද්ධාදී උත්තමයන් විසින් නොකියන ලදී.
“ශ්‍රෙෂ්ඨයෙකැයිද හීනයෙකැයිද නොහොත් සමානයෙකැයිද මානයෙන් නොහඟින්නේ නොයෙක් ආකාරයෙන් යුක්තවූ අතිමානය කල්පනා කරමින් නොසිටින්නේය.
“මහණතෙම සිය සිතෙහිවූ රාගාදී ක්ලෙශයන් සන්සිඳුවන්නේය. අන් උපායකින් නිර්වාණය නොසොයන්නේය. සියසතන්හිවූ රාගාදී ක්ලෙශ සමූහය සන්සිඳුවන ලද්දාහුට සියල්ල සැමදා පවත්නේයයි දෘෂ්ටියක් නැත. සියල්ල විනාශවන්නේ යයි දෘෂ්ටියක් හෝ කොයින්ද.
“මහාසාගරයාගේ මැද රළ යම්සේ නොහට ගනීද නොසැලී සිටියේමවේ. එසේ තෘෂ්ණා නැති රහත් මහණ තෙම අෂ්ටලොක ධර්මයෙන් නොසැලෙමින් සිටියෙක් වන්නේය. එබඳු රහත් මහණතෙම ඇතුළත බැහැර කිසිවක් කෙරෙහි රාගාදී කෙලෙස් ඇති නොකරන්නේය.
“විවෘතවූ පසැස් ඇත්ත, උපද්‍රවයන් දුරුකරන්නාවූ තමා විසින් ප්‍රත්‍යක්ෂ කරණ ලද ධර්මය ප්‍රකාශ කරණ ලදී. වහන්ස, ඔබගේ යහපත්වූ ප්‍රතිපත්තියද නොහොත් ප්‍රාතිමොක්ෂ ශීලයද සමාධියද වදාළ මැනව.”
“ඇස් නිසා ලොල්බවක් නොවන්නේය. ග්‍රාම්‍ය කථාවට කන වසන්නේ නම් මැනව. රසයෙහි ගිජු නොවන්නේය. ලොව කිසි රූප වෙදනාදියක් නොගන්නේය.
“මහණතෙම යම් කලෙක්හි (ඇස්රෝගාදී) රෝගයකින් යුක්තවූයේද එකල්හි කිසිවක්හි වැලපීමක් නොකරන්නේ නම් මැනව. කාමභවාදියද නොපතන්නේ නම් මැනව. බිය උපදවන අරමුණු නිමිතිකොටගෙනද නොවෙවුලන්නේ නම් මැනව.
“මහණතෙම ආහාරයන් පිළිබඳවූද නැවත පානයන් පිළිබඳවූද කඩා කෑ යුතු දේ පිළිබඳවූද තවද වස්ත්‍රයන් පිළිබඳ වූද යම් කිසිවක් ලැබ ආරක්ෂාකොට තැබීම නොකරන්නේ නම් මැනව. ඒ ආහාරපාන වස්ත්‍රාදීන් නොලබන්නේ නොතැතිගන්නේ නම් මැනව.
“උසස් සිත එකඟ කරණ මහණතෙම ඇවිදින්නෙක් නොවිය යුතුය. කුකුසින් දුරුවිය යුතුය. නොපමා විය යුතුය. නැවත මහණතෙම ස්වල්ප ශබ්ද ඇති සේනාසනයන්හිද යහන්හිද ඉරියවු පවත් වන්නේය.
“කෙලෙස් තවන වීර්යයෙන් යුත් මහණතෙම නිදාගැනුම බහුල නොකරන්නේය. නිදි දුරුකිරීම සෙවුනේය. අලස කමද මායාවද සිනාසීමද ක්‍රීඩාවද අලංකාරය සහිත මෙවුන්දම්ද වෙසෙසින් දුරු කරන්නේය.
“රත්නත්‍රය මාමකවූ මහණතෙම මන්ත්‍ර ගුරුකම්ද ස්වප්න ශාස්ත්‍රයද ලක්ෂණ ශාස්ත්‍රයද නක්ෂත්‍ර ශාස්ත්‍රයද නොකරන්නේය. සතුන්ගේ හඬ කියන ශාස්ත්‍රයද ගැබ්ගැන්වීමද වෙදකම්ද නොකරන්නේය.
“මහණතෙම ගටාබිණීම හෙතුකොටගෙන නොසැලෙන්නේය. ප්‍රශංසාකරණ ලද්දේ ආඩම්බරයෙන් ඔසවන ලද හිස් ඇත්තෙක් නොවන්නේය. මසුරුකම සමග ලොභයද ක්‍රොධයද කේළමද දුරු කරන්නේය.
“මහණතෙම ගනුදෙනු කිරීමෙහි නොසිටින්නේය. කිසිවෙක් කෙරෙහි දොෂයක් නොකරන්නේය. ගම්හිද නො ඇලෙන්නේය. ලාභ කැමැත්තෙන් යම් යම් දේ ජනයාට නොකියන්නේය.
“යොගාවචර මහණතෙම පුරසාරම් කියන්නෙක් නොවන්නේය. සිවුරු ආදිය ලැබීමට යොදන ලද වචනයකුදු නොකියන්නේය. හික්මීමෙන් තොරව නොහැසිරෙන්නේය. විරුද්ධ වාද කථාවන් නොකරන්නේය.
“මනා නුවණින් යුත් මහණතෙම මුසාබස් බිණීමෙහි නොයෙදෙන්නේය. කපටිකම නොකරන්නේය. තවද ජීවිතයෙන්ද නුවණින්ද සීලයෙන් හා ව්‍රතයෙන්ද අන්‍යයන් නොයික්මවා සිටින්නේය.
“යොගාවචර මහණතෙම මේ සස්නෙන් පිටත් මහණුන්ගේ හෝ නානාප්‍රකාර වචන ඇති ක්ෂත්‍රියාදීන්ගේ හෝ බොහෝ නරක වචන අසා කුපිතව පරොස් බසින් ඔවුන්ට ආපසු නොකියන්නේය. සන්සුන් කෙලෙස් ඇතියෝ ප්‍රතිපක්ෂ බවක් නොකෙරෙති. එහෙයිනි.
“මහණතෙම හැමකල්හි සිහි ඇතිවූයේ මේ කියන ලද සියලු ධර්මයන්ද දැන ශාන්තිය සොයන්නේ හික්මෙන්නේය. රාගාදීන්ගේ නිවිම ශාන්තියයි දැන ගෞතම බුද්ධ නම්වූ මාගේ ශාසනයෙහි පමානොවන්නේය.
“ප්‍රසිද්ධවූ සර්වඥතෙම රූප ශබ්දාදීන් තමා මැඩපැවැත්වූයේම කෙලෙසුන් විසින් උන්වහන්සේ යටපත් නොකරණ ලද්දේමය. පරම්පරාවෙන් ආවේයයි නොගෙන තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කරණ ලද ධර්මය දුටුයේය. එහෙයින්ම ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේගේ ශාසනයෙහි අප්‍රමාද වූයේ නමස්කාර කරමින් හැමකල්හි නැවත නැවත හික්මෙන්නේයයි” භාග්‍යවත්තෙම වදාළේය.
තුවටකසුත්තං චුද්දසමං නිට්ඨිතං.