ඛුද්දකනිකායෙ
සුත්ත නිපාතය
4. අෂ්ටක වර්ගය
3. දුට්ඨක සූත්‍රය
“ඇතැම් කෙනෙක් ඒකාන්තයෙන් නපුරු සිත් ඇත්තෝව කතාකරත්. නැවත යම් කෙනෙක් (ඔවුන් බස් අදහත්ද, ඔව්හු) සැබව යන හැඟීම් ඇත්තෝව කතාකරත්. (බුද්ධ) මුනිතෙම (අභූතයෙන්) උපන් ආක්‍රොශ වාදයටද නොඑළඹෙන්නේය. ඒ කරුණින් (බුද්ධ) මුනිතෙම කිසිතැනෙක්හි හුලක් නැතිසේ වන්නේය.
“කැමැත්තෙන් පමුණුවන ලද, රුචියෙන් බැසගත් තීර්ථකතෙම තමාගේ දැක්ම කෙසේ නම් ඉක්මවන්නේද, තමා විසින්ම සම්පූර්ණ කරනලද ඒ සියල්ල කරන්නේ දන්නේ යම්සේද එසේ කියන්නේය.
යම් පුද්ගලයෙක් තමාගේ (ප්‍රාතිමොක්ෂාදී) ශීලයන් හා (අරණ්‍යකාංගාදී) ව්‍රතයන් නොවිචාරණ ලද්දේම අන්‍යයන් හට කියන්නේද, යමෙක් තෙම තමා පිළිබඳව තෙමේම කියන්නේද, ඒ ආත්ම වර්ණනාව අයහපත් ධර්මයකැයි ආර්යයෝ කියත්.
“(රාගාදී කෙලෙස් යටපත් කිරීමෙන්) ශාන්තවූ මොනවට නිවුණු සිත් ඇති මහණතෙම මෙසේ සීලයන්හි ආත්ම වර්ණනය නොකියන්නේවේද, යම් ක්ෂීණාශ්‍රවයක්හුගේ රාගාදී ක්ලේශයෝ ලෝකයෙහි කිසිතැනෙකත් නැද්ද, එය (ඔහුගේ ඒ ආත්ම ගුණ අකථනය) ආර්යධර්මයෙකැයි දක්ෂයෝ කියත්.”
“යමකට සිතනලද, සකස් කළ, (තෘෂ්ණාදෘෂ්ටි දෙකින්) පෙරටුකොට සිටියාවූ අපිරිසිදු (දෙසැට දෘෂ්ටිගත) ධර්මයෝ ඇත්තාහුද හෙතෙම යම්හෙයකින් තමා කෙරෙහි අනුසස් දක්නේද, එහෙයින් කොපයද, හේතුප්‍රත්‍යයෙන් උපන්බවද සම්මත නිවීම නම් ශාන්තියද, ඇසුරුකොට පවත්නේ වෙයි.
“මේ ඇත්තයයි බැසගැන්ම පහසුවෙන් අත්හැරිය නොහැක. ධර්මයන්හි (දෙසැට දෘෂ්ටියෙහි) බැසගත් බව නිශ්චයකොට පවත්නා හෙයිනි. එහෙයින් සත්වතෙම ඒ බැසගැනීම් ධර්මය දුරුකරන්නේ වෙයි, ගන්නේද වෙයි.
කෙළෙස් කම්පා කළ තැනැත්තාට (රහත් හට) කාමාදී ඒ ඒ භවයන්හි කල්පනා කරණලද ශාස්වතාදී දෘෂ්ටියෙක් ලොව කිසිතැනෙක්හි නැත්තේමය. ඒ කෙළෙස් කම්පා කළ තැනැත්තා මායාවද, මානයද දුරුකොට කිසිදු උත්පත්තියකට නොයන්නේය. හෙතෙම තෘෂ්ණාදී රැස්කිරීම් වලින් ඈත්ය.
“තෘෂ්ණාදෘෂ්ටි ආදිය ඇත්තේ කාරණයන්හි වාදයට පැමිණේ. රැස්කිරීම නැති රහත්තෙම කුමකින් (රාගාදී ධර්මයකින්) කෙසේ චොදනා ලබන්නේද, ඒ රහත් මහණහට ආත්මයක් හෝ උච්ඡෙද දෘෂ්ටියක් හෝ නැත්තේය. යම් හෙයකින් නිරාත්මයක් හෝ නැත්තේමය. හෙතෙම මේ ආත්මභාවයෙහිම සියලු දෘෂ්ටි නැතිකෙළේද වේ.”
දුට්ඨට්ඨකසුත්තං තතියං නිට්ඨිතං.