ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

4. අෂ්ටක වර්ගය

2. ගුහට්ඨක සූත්‍රය

“යම්බඳු සත්වයෙක්තෙම ශරීරයෙහි ඇලුණේ බෙහෙවින් (රාගාදී ක්ලේශ සමූහයෙන්) වැසුනේ රාගයෙන් යුක්තව සිටින්නේ මුළාවීමෙහි දැඩිව බැසගත්තේවේද, එබඳු ඒ සත්වතෙම (ත්‍රිවිධ) විවේකයෙන් ඈත්වූයේවේ. ලොකයෙහි වස්තුකාමයෝ සුවසේ නැතිකළ හැක්කාහු නොවෙත්මය.

“තෘෂ්ණාව මුල්කොට ඇති භව සුඛයෙහි බැඳුණු සත්වයෝ අනාගතයෙහි හෝ වස්තුකාමයන් අතීතයෙහි හෝ කැමතිවන්නාවූ මේ වර්තමාන කාමයන් හෝ පළමුකී (අතීතානාගතවිවිධ) කාම හෝ පතන්නාවූ ඒ සත්වයෝ දුකසේ මිදියහැක්කාහු නොවෙත්. අනුන් විසිනුත් මුදවාලන්නට නො හැක්කෝය.

කාමයන්හි ගිජුවූ ඇලුනාවූ මුළාවූවාවූ, මසුරුකම් ඇති, කාය දුශ්චරිතාදී විෂමයෙහි පිහිටියාවූ, ඒ සත්වයෝ මරණ දුකට පැමිණියාහු මේ ආත්මභවයෙන් මැරීගියාවූ අපි කවර නම් ගතියකට පැමිණෙන්නෙමුදැයි වැළපෙත්.

“සත්වතෙම ලෝකයෙහි යම්කිසිවක් (කායදුශ්චරිතාදී ධර්මය) විෂමයයි දන්නේනම්, එහෙයින් ඊට (ඒ විෂමවූ කාය කර්මාදියට) හෙතුවූ විෂමය නොකරන්නේය. ඤාණවන්තයෝ මේ ජීවත්වීම අල්පයයි කියත්. එහෙයින් මේ සස්නෙහිම හික්මෙන්නේය.

“කාමභවාදියෙහ් පහනොවූ තෘෂ්ණා ඇති පහත්වූ යම් සත්ව කෙනෙක් මාරමුඛයෙහි වැලපෙත්ද, (අපායාදී) ලෝකයෙහි තෘෂ්ණාදී සැලීමෙන් සැලෙන්නාවූ කාමාදී භවයන්හි තෘෂ්ණාවෙන් මඩනාලද මේ සත්ව සමූහයා බලමි.

“හීනවූ ජල පහර ඇති ස්වල්ප ජලයෙක්හි ඔබිනොබ හැසිරෙන්නාවූ මසුන් මෙන් මාගේයයි අයත්කොට ගත් වස්තුවෙහි හැපෙන සත්වයන් බලමු. මෙයද දැක මමත්වය (‘මගේ කම’) නොකරන්නේ (කාමාදී) භවයන්හි ඇල්මක් නොකරමින් හැසිරෙන්නේය.

“නුවණැත්තේ (ස්පර්ශය, හා ස්පර්ශය පහළවීම යන) ස්ථාන දෙකහි ඡන්දරාගය දුරුකොට, (චක්ෂුස් ආදී) ස්පර්ශය පිරිසිඳ දැන ගිජු නොවූයේ යම් කර්මයක් තමහට නින්දා ඇතිකරන්නේද ඒ කර්මය නොකරමින් ඇසූ දුටු දෙයෙහි නොඇලෙයි.

“ඒ ක්ෂීණාශ්‍රව මුනිතෙම (කාමසංඥාදී හෙතුගත සංඥාව පිරිසිඳ දැන, (කාමාදී) සතරමහ වතුරු තරණය කරන්නේය. අල්වාගැනුම්වල නොඇලුනේ උගුල්ලා දමනලද උල් ඇත්තේ, අප්‍රමාදව හැසිරෙමින් (ස්වකීය ආත්මභාවවූ) මෙලොවද (පරආත්මභාව නම්) පරලොවද නොපතන්නේය.”

ගුහට්ඨකසුත්තං දුතියං නිට්ඨිතං.