ඛුද්දකනිකායෙ
ථෙරගාථාපාළි
8. අටවෙනි නිපාතය
8.1. මහා කච්චාන තෙරුන්ගේ ගාථා
වැඩ කටයුතු බහුල කරගන්න එක කරදරයි. හිස් කථාවෙන් කල් ගෙවන මිනිසුන්ගෙන් වෙන් වෙන එකයි හොඳ. සිව්පසය පිණිස උත්සාහ කළ යුතු නෑ. රසට ගිජුවෙලා සිව්පසයට උත්සාහ කළොත් ඒ භික්ෂුවට නම් ලෝකෝත්තර සැප ලබන්ට පුළුවන් වන්නේ නෑ.
ඇත්තෙන්ම බුද්ධිමතුන් සමාජයෙන් ලැබෙන වැඳුම් පිදුම් දැක්කෙ මඩ වගුරක් වගේ. මේ ලාභ සත්කාරයට ඇලීම කියන්නෙ උදුරා දමන්ට දුෂ්කර සියුම් උලක්. හැබැයි අසත්පුරුෂයා නම් අත්හරින්නේ නැත්තෙත් ලාභසත්කාර මයි.
‘පව්’ කියන ජාතිය අනුන් ලවා වත් කළ යුතු නෑ. තමන් කළ යුතුත් නෑ. මං එහෙම කියන්නෙ මේ සත්වයන් ඤාතියා කරගෙන ඉන්නෙ කර්මය නිසා.
තවත් කෙනෙකුගේ වචනයක් නිසා තවත් කෙනෙක්හොරෙක් වෙන්නෙ නෑ. ඒ වගේම තවත් කෙනෙකුගේ වචනයකින් තවත් කෙනෙක් මුනිවරයෙක් වෙන්නෙ නෑ. තමන් ගැන තමන් දන්න පරිද්දෙන්ම දෙවියොත් එයා ගැන දන්නවා.
අපි කවුරුත් මැරෙන මිනිස්සු බව මෝඩයා දන්නෙ නෑ. තමනුත් මැරෙන බව දන්නවා නම් මේ කළකෝලාහල ඔක්කොම සන්සිඳෙනවා.
බුද්ධිමත් කෙනා දේපල වස්තුවෙන් පිරිහිලා ගියත් එයා ඇත්තෙන්ම ජීවත් වෙනවා. එහෙත් දේපල වස්තුව කොච්චර තිබුණත් බුද්ධිය ලබාගෙන නැත්නම් එයා ගතකරන්නේ ජීවිතයක් නොවේ.
හැම දෙයක්ම කණින් ඇහුවත්, හැම දෙයක්ම ඇහෙන් දැක්කත්, දකින අසන ඔක්කොම දේවල් අත්හරින්ට හෝ ගන්නට බුද්ධිමත් කෙනා ලෑස්ති නෑ.
ඒ නිසා නොබැලිය යුතු දේ ඉදිරියේ එයාට ඇස් තිබුණත් අන්ධයෙක් වගෙයි. නොඇසිය යුතු දේ ඉදිරියේ එයාට කණ් තිබුණත් බිහිරෙක් වගෙයි. නොදැනගත යුතුදේ ඉදිරියේ එයාට නුවණ තිබුණත් මෝඩයෙක් වගෙයි.නොකළ යුතු දේ ඉදිරියේ එයා බලවතෙක් වුණත් දුර්වලයෙක් වගෙයි. අයහපත පිණිස පවතින දේ ඉදිරියේ එයා ඉන්නෙ ඇඳක දාපු මළකඳක් වගෙයි.
මෙය වනාහී ආයුෂ්මත් මහාකච්චායන නම් රහත් මුනිඳුන්වදාළ ගාථාවන්ය.