අඞ්ගුත්තරනිකායො
සත්තක නිපාතය
පඨමපණ්ණාසකං
5. මහායඤ්ඤ වර්ගය
10. (වෙළුකණ්ටකී) නන්‍දමාතු සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලායන ස්ථවිරයන් වහන්සේද මහත්වූ භික්‍ෂු සංඝයා සමග දක්‍ෂිණගිරියෙහි චාරිකාවෙහි හැසිරෙත්. එකල්හි වනාහි වෙළුකණ්ඨකී නම් නන්‍දමාතා උපිසිකාව රෑ අළුයම් කාලයෙහි නැගිට පාරායන සූත්‍රය හඬනගා කියයි.
එකල්හි වනාහි වෛශ්‍රවණ මහරජතෙම යම් කිසිවක් සඳහා උතුරු දිශාවෙන් දකුණු දිශාවට යයි. නන්‍දමාතා උපාසිකාවගේ පාරායන සුත්‍රය ශබ්දනගා කිම වෛශ්‍රවණ මහරජතෙම ඇසුවේය. අසා, කථාවේ කෙළවර බලාපොරොත්තුවෙන් සිටියේය. ඉක්බිති නන්‍ද මාතා උපාසිකාව පාරායන සුත්‍රය ශබ්ද නගා කියා නිශ්ශබ්ද විය. ඉක්බිති වෛශ්‍රවණ මහරජතෙම නන්‍දමාතා උපාසිකාවගේ කතාවේ කෙළවර දැන, ’’සාධු! සොහොයුරිය, සාධු! සොහොයුරිය,’’ යි අනුමෝදන් විය.
’’හොඳ වචන ඇත්ත, මේ (ඔබ) කවරෙක්ද?’’ ’’සොහොයුරිය, මම ඔබේ සහෝදර වෛශ්‍රවණ මහරජය.’’
’’හොඳ වචන ඇත්ත, හොඳයි. මෙයමත් මට වේවා. හෙට සැරියුත් මුගලන් දෙනම ප්‍රමුඛ භික්‍ෂු සමුහය උදය නොවළඳා වෙළුකණ්ඨකයට වඩිත්.
’’ඒ භික්‍ෂු සංඝයා වළඳවා, මට දානය අනුමෝදන් කරන්නෙහිය. මෙසේත් මට ආගන්තුක සත්කාරය වේය’ යි (කියායි.)
ඉක්බිත්තෙන් වනාහි නන්‍ද මව් වු උපාසිකාව රැය එළිවූවිට, තමාතේ ගෙහි රසවත් කෑම් පීම් පිළියෙළ කරවීය. ඉක්බිත්තෙන් වනාහි සැරියුත් මුගලන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයා උදය නොවළඳා වේළුකණ්ඨකයට පැමිණියහ.
’’පින්වත් පුරුෂය, එව. ඔබ පන්සලට ගොස්, ’ස්වාමීනි, ආර්යයන්ට මේ කාලය වේ. නන්‍දමාතා ආර්‍ය්‍යාවගේ ගෘහයෙහි දානය පිළියෙළ වීය’ යි ආරාමයට ගොස් භික්‍ෂු සංඝයාට කාලය දන්වව.’
’’එසේය, ආර්‍ය්‍යාවෙනි.’’ යි ඒ පුරුෂතෙම නන්‍දමාතා උපාසිකාවට පිළිතුරු දී, ආරාමයට ගොස් ’ස්වාමීනි, මේ කාලය වේ. නන්‍දමාතා ආර්‍ය්‍යාවගේ ගෘහයෙහි දානය පිළියෙළ වීය’ යි භික්‍ෂු සංඝයාට කාලය දැන්වීය.
ඉක්බිති සැරියුත් මුගලන් දෙනම ප්‍රමුඛ භික්‍ෂු සංඝතෙම පෙරවරු කාලයෙහි හැඳ පොරවා පා සිවුරු ගෙන, නන්‍දමාතා උපාසිකාවගේ ගෘහය යම් තැනකද, එතැන්හි වැඩියහ. එසේ වැඩ, පැනවූ අස්නෙහි හිඳගත්හ. ඉක්බිති, නන්‍දමාතා උපාසිකාව, සැරියුත් මුගලන් දෙනම ප්‍රමුඛ භික්‍ෂු සංඝයා ප්‍රණිතවූ කෑම් පීම්වලින් සියතින් මනාකොට පැවරුයේය. ඉක්බිති නන්‍දමාතා උපාසිකාව වළඳන ලද පාත්‍රයෙන් අත බහා තබන ලද සැරියුත් මහ තෙරුන් වහන්සේ එකත්පසෙක හුන් නන්‍ද මව් වූ උපාසිකාවට මේ කාරණය කීය.
නන්‍දමාතාව, කවරෙක් නම් භික්‍ෂු සංඝයාගේ පැමිණිම ඔබට කීවේද?’’
’’ස්වාමීනි, මම මෙහිරෑ අපයම් වේලෙහි නින්දෙන් නැගිට පාරායණ සුත්‍රය හඬනගා කියා නිශ්ශබ්ද වූයෙමි. ස්වාමීනි, ඉක්බිත්තෙන් වනාහි වෛශ්‍රවණ මහා රජ තෙම මා කීම අවසන් කළා දැන, ’සොහොයුරිය, යහපති. යහපති’ යි එයට සතුටුවිය.
’’හොඳ වචන ඇත්ත, මේ (ඔබ) කවරෙක්ද?’’
’’සොහොයුරිය, මම ඔබේ සහෝදර වෛශ්‍රවණ මහරජය.’’
’’හොඳ වචන ඇත්ත, හොඳයි. මෙයමත් මට වේවා. හෙට සැරියුත් මුගලන් දෙනම ප්‍රමුඛ භික්‍ෂු සමුහය උදය නොවළඳා වෙළුකණ්ඨකයට වඩිත්.
’’ඒ භික්‍ෂු සංඝයා වළඳවා, මට දානය අනුමෝදන් කරන්නෙහිය. මෙසේත් මට ආගන්තුක සත්කාරය වේය’ යි (කියායි.)
’’ස්වාමීනි, යම් මේ දානයක් වේද, ඒ පින වෛශ්‍රවණ මහරජහට යහපත පිණිස වේවා.’’ යි කීය.
’’යමෙකදී වෛශ්‍රවණ මහරජු වැනි මෙබඳු බොහෝ ඎද්ධි ඇති, මෙබඳු මහෙශාඛ්‍යවූ, දෙව් පුතුන් හා සම්මුඛව, සමගි කථාවන් කරන්නේද, නන්‍ද මාතාවෙනි, මේ කාරණය පුදුමයි. නන්‍ද මාතාවෙනි, මේ කාරණය ආශ්චර්යයි...
’’ස්වාමීනි, මට මේ පුදුම ආශ්චර්‍ය්‍ය කාරණය මේ ම නොවේ. ස්වාමීනි, මට අනෙකුත් පුදුම ආශ්චර්ය කාරණයක් ඇත.
’’ස්වාමීනි, මෙහි මාගේ ප්‍රියවූ, මනාපවූ නන්‍දක නම්වූ එක් පුත්‍රයෙක් විය. ඔහු රජවරු කිසියම් කරුණක් නිසා හිංසා කොට බලහත්කාරයෙන් දිවි තොර කළහ. ස්වාමීනි, ඒ අවස්ථාවෙහි දරුවා ගන්නා ලද කල්හි හෝ, ගණු ලබන කල්හි හෝ, බැඳි කල්හි හෝ, වද දෙන කල්හි හෝ, නැසූ කල්හි හෝ, නසනු ලබන කල්හි හෝ, සිත වෙනස්වූ බවක් මම නොදනිමි.’’
’’ආශ්චර්‍ය්‍යයකි, නන්‍ද මාතාවෙනි, පුදුමයකි. නන්‍ද මාතාවෙනි. යම් තැනක සිත ඉපදවිම් මාත්‍රයම පිරිසිදු කරන්නෙහිය.’’
’’ස්වාමීනි, මාගේ මෙයම ආශ්චර්‍ය්‍යවූ පුදුමවූ ධර්‍මය නොවේ. අනිකුදු ආශ්චර්‍ය්‍ය පුදුම ධර්‍මයක් ඇත. ස්වාමීනි, මෙහි මාගේ ස්වාමියා කළුරිය කළේ, එක්තරා යක්‍ෂ යෝනියක උපන්නේය. හෙතෙම මට පෙර ආත්ම භාවයෙන් පෙණෙයි. ස්වාමීනි, ඒ හේතුකොටගෙණ සිතෙහි වෙනස්විමක් මම නොදනිමි.’’ ’’ආශ්චර්‍ය්‍යයකි, නන්‍ද මාතාවනි, පුදුමයකි. නන්‍ද මාතාවනි. යම් තැනෙක සිත ඉපදීම් මාත්‍රයම පිරිසිදු කෙළෙහිය.’’
’’ස්වාමීනි, මෙයම මාගේ ආශ්චර්‍ය්‍යවූ පුදුමවූ ධර්‍මය නොවේ. අනිකුදු ආශ්චර්‍ය්‍ය පුදුම ධර්‍මයක් ඇත. ස්වාමීනි, තරුණවූ ස්වාමියාට මා තරුණ කල්හිම ගෙන එන ලදී. යම් හෙයකින් මම සිතින්වත් ස්වාමියා හැර වෙන කෙනෙකු නොපැතීමි. කයින් කියකුම කිම.’’
’’ආශ්චර්‍ය්‍යයකි, නන්‍ද මාතාවනි, පුදුමයකි. නන්‍ද මාතාවනි. යම් තැනෙක සිත ඉපදවීම් මාත්‍රයම පිරිසිදු කෙළෙහිය.’’
’’ස්වාමීනි, මෙයම මාගේ ආශ්චර්‍ය්‍ය පුදුම ධර්‍මය නොවේ. අනිකුදු ආශ්චර්‍ය්‍ය පුදුම ධර්‍මයක් ඇත. ස්වාමීනි, යම් දිනක උපාසිකාවයයි මා ප්‍රසිද්‍ධවීද, එදා පටන් දැන දැන කිසියම් ශික්‍ෂා පදයක් ඉක්මවු බව මම නොදනිමි.’’ - ’’ආශ්චර්‍ය්‍යයකි, නන්‍ද මාතාවනි, පුදුමයකි. නන්‍ද මාතාවනි.’’
’’ස්වාමීනි, තවත් ආශ්චර්‍ය්‍යවූ පුදුමවූ ධර්මයක් ඇත. ස්වාමීනි, යම්තාක් මම කාමයන්ගෙන් වෙන්ව, අකුශලයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීති සුවයෙන් යුත්, ප්‍රථම ධ්‍යානයට සමවදිමියි, විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති, සිතේ එකඟත්‍වයක් ඇති විතර්‍ක රහිත, විචාර රහිත, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති, ද්වීතීයධ්‍යානයට සමවැද වාසය කරමියි ප්‍රීතියගේ වෙන්වීමෙන් සිහි ඇත්තේ, මනා දැනිම් ඇත්තේ, උපෙක්‍ෂා සහිතව වාසය කරමි. කයින්ද සැපය විඳිමි. යම් ධ්‍යානයකට උපෙක්‍ෂා ඇත්තේ, සිහි ඇත්තේ, සුඛ විහාරියයි ආර්‍ය්‍යයන් වහන්සේලා කියද්ද, ඒ තෘතීය ධ්‍යානයට සමවැද වාසය කරමියි, සැපයෙන් වෙන්වුද, දුකින් වෙන්වුද, දුක් නොවූ, සුව නොවූ, උපෙක්‍ෂා ස්මෘති පාරිශුද්ධියෙන් යුත්, චතුර්ත්‍ථධ්‍යානයට සමවැද වාසය කරමියි බලාපොරොත්තු වෙමි.
’’මාගේ අනිකුදු ආශ්චර්‍ය්‍ය අද්බූත ධර්‍මයක් ඇත. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද පඤ්ච ශරම්භාගිය සංයෝජනයෝ (මුල් බැඳුම් පසක්) වෙද්ද, ඔවුන්ගෙන් කිසිවක් අප්‍රහීනවු බවක් නොම දකිමි.’’ ’’ආශ්චර්‍ය්‍යයකි, නන්‍ද මාතාවනි, පුදුමයකි. නන්‍ද මාතාවනි.’’
ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නන්‍ද මාතා උපාසිකාව දැහැමි කථාවෙන් විස්තරකොට සමාදන්කොට, උත්සාහවත්කොට, සතුටුකොට අස්නෙන් නැගිට වැඩියහ.
මහා යඤ්ඤ වර්‍ගය නිමි.
පළමු පණ්ණාසකය නිමි.