ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

32. ආරක්ඛදායක වග්ග

2. භොජනදායක ථෙරාපදානය

’’මැනවින් වැඩුනු තරුණ සල් ගසක් මෙන්ද, උස්ව නැගුණාවූ මුරුංගා ගසක් මෙන්ද, අහසෙහි දේදුන්නක් මෙන්ද, බුදුරජ තෙම හැම කල්හිම බබළයි.

’’මහර්ෂීවූ, දෙවැනි දේවවූ, ඒ වෙස්සභූ බුදුරජුන්හට මම පැහැදි සිතින් බොජුනක් දුනිමි.

’’එය පිළිගත් සියල්ල තෙමේම අවබෝධ කළාවූ පස්මරුන් ජයගත් බුදුරජ තෙම මට අනුමෝදනා දහම් දේශනා කළ සේක. (කෙසේද යත්?) ’’භවයෙහි උපදනා කල්හි ඔබහට (මෙහි) පුණ්‍ය ඵලය ලැබේවා’’ යි කියායි.

’’මින් එක් තිස්වන කපෙහි වූ එකල්හි යම් දනක් දුනිමි. (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. භොජන දානයෙහි මේ විපාකයයි.

’’මින් පස්විසිවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති ’’අමිත්තභ’’ නම් සක්විති රජෙක් වීමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් බොජනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

භොජනදායකත්ථෙරස්සාපදානං දුතියං.