ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
33. උම්මා පුප්ඵිය වග්ග
4. යඤ්ඤසාමික ථෙරාපදානය
’’උපතින් සත් හැවිරිදිවූ මම මන්ත්‍ර ශාස්ත්‍රයෙහි තෙරපතුයේ කුල පරපුර දැරීමි. මා විසින් යාගයක්ද මෙහෙයවන ලදී.
’’එකල්හි මගේ (යාගය උදෙසා) අසූසාර දහසක් සිවුපාවුන් මරත්. (එම සිවුපාවෝ) යාගය පිණිස යූපස්තම්භය වෙත පමුණුවන ලද්දාහු පසෙක සිටියාහුය.
’’උදාවන හිරු වැනිවූද, පසලොස්වක් දිනයෙහි සඳ වැනිවූද, කිහිරඟුරු මෙන් බබලන පැහැපත් මුහුණු ඇත්තේ, සතුටුවූ තුන් ලෝක වාසීන් විසින් පුදන ලද, (තිලොවට) හිතවත්වූ, සර්‍ව සම්පූර්‍ණ අදහස් ඇති, සිදුහත් බුදුරජ තෙම එතැනට එළඹ මෙම වචන වදාළ සේක. (කෙසේදයත්?)
’’කුමරුවෙනි, සව්සත්නට හිංසා නොකිරීම මට රුචිකෙරේ. එසේම සොරකමින්ද, දුරාචාරයෙන්ද, මත් පැන් බීමෙන්ද වැලැක්මත්, සමචරියාවෙහි ඇල්මත්, බහුශ්‍රුතබව හා කෘතඥ බවත්, (මට රුචි කෙරේ.) මේ ධර්‍මයෝ මෙලෙව්හිද, පරලෙව්හිද, ප්‍රශංසා කටයුත්තේ වෙත්.
’’මේ ධර්‍මයන් වඩා සව් සත්හට හිත වැඩෙහි ඇළුනේ බුදුරජුන් කෙරෙහි සිත පහදවා උතුම් මග (ප්‍රතිපදාව) වඩනු මැනව.’’
’’ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ, සර්‍වඥ තෙම මෙය වදාරා මටම අනුශාසනා කොට අහසට නැඟ වැඩමවූ සේක.
’’පෙර සිත පිරිසිදුකොට, පසුව සිත පැහැදවීමි. මම එම චිත්ත ප්‍රසාදය කරණ කොට ගෙන තුසිත දෙව් ලොව උපනිමි.
’’මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් (බුදුරජුන් කෙරෙහි) සිත පැහැදවීමක් කෙළෙම්ද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. බුදුන් සිහිකොට සිත පැහැදවීමෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් යඤ්ඤසාමික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
යඤ්ඤසාමිකත්ථෙරස්සාපදානං චතුත්ථං.