ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
48. නළමාලිය වග්ග
9. පානාධිදායක ථෙරාපදානය
’’ලෝකජ්‍යෙෂ්ඨවූ, පසැස් ඇති අනොමදස්සී බුදුරජතෙමේ දිවා විහරණයෙන් නික්ම මාර්‍ගයට පිළිපන් සේක.
’’මම මැනවින් කරන ලද පාවහන් (දෙකක්) ගෙන මාර්‍ගයට පිළිපන්නෙමි. එහිදී මනොඥවූ දර්‍ශන ඇති, මාර්‍ගයෙහි වඩින්නාවූ සම්බුදුරජුන් දුටුවෙමි.
’’සිය සිත පහදවා පාවහන් (දෙක) බැහැරට ගෙන ( බුදුරජුන්ගේ ) පාමුල තබා මෙම වචනය කීමි.
’’විනායකයන් වහන්ස, සුගතෙන්‍ද්‍රයාණන් වහන්ස, මහාවීරයාණන් වහන්ස, (මේ පාවහන් යුවල) දමාගනු මැනව. මෙයින් යම් විපාකයක් ලබන්නෙම්ද, (ඉන්) මාගේ යම් අභිමතාර්ත්‍ථයක් වේ නම් එය සමෘද්ධ වේවා.
’’ලොකජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ, අනොමදස්සී බුදුරජතෙම, වහන් සඟලෙහි නැග සිට මෙම වචනය වදාළ සේක.
’’යමෙක් තෙම පහන් සිත් ඇත්තේ, මට සියතින්ම වහන් සඟලක් දුන්නේද, (හේ කවරෙක්දැයි) මම කියන්නෙමි. (එසේ) කියන්නාවූ මාගේ වචනය අසව්.’’
’’බුදුරජාණන් වහන්සේගේ හඬ අසා ඔද වැඩි සිත් ඇති, සොම්නස්වූ, ප්‍රීතිමත්වූ, බඳැදිලි ඇති සියළු දෙවිවරු රැස්වූහ.
’’මෙතෙම (මෙම) වහන් සඟල පිදීම කරණකොටගෙන සුව ඇත්තේ, පණස් වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය.
’’දහස් වරක් සක්විති රජ වන්නේය. කරවන ලද මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙතෙකැයි) ගිණිය නොහැකිය.
’’මින් අපරිමෙය්‍ය කල්පයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේය.
’’උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදීවූ, ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖෙරස බුද්ධ පුත්‍රවූ (මෙතෙම) සියළු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන, ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය.
’’පින්වත්වූ (මෙතෙම) දෙව්ලොවෙහි හෝ, මිනිස් ලොවෙහි හෝ උපදින්නේ නම් දිව්‍ය යානක් වැනි යානයක් ලබන්නේය.
’’මාගේ ප්‍රාසාදයෝද, සිවිකාවෝද, මැනවින් සැරසූ ඇත්තුද, ආජානීය අශ්වයන් යෙදූ රථද, හම කල්හි මට පහළවෙත්.
’’මම ගිහිගෙන් නික්මෙන්නේද, රථයෙන් නික්මුනෙම්, කෙස් සිඳින (හිසකේ බාන) කල්හි රහත් බවට පැමිණයෙමි.
’’මට ලාභයකි. මට මහා ලාභයකි. මැනවින් යෙදූ වෙළඳාමක් වැනිය. එක වහන් සඟලක් දී අචල පදයවූ නිවනට පැමිණියේ වෙමි.
’’මා මින් අපරිමෙය්‍ය කල්පයෙහි යම් වහන් සඟලක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පානධි දානයාගේ මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පානාධිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පානධිදායකත්ථෙරස්සාපදානං නවමං.