ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

50. කිඞ්කනි පුප්ඵිය වග්ග

5. උපඩ්ඪ දුස්ස දායක ථෙරාපදානය

’’එකල්හි පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සුජාත නම් ශ්‍රාවකතෙමේ පංශුකූල (සිවුර සඳහා රෙදි කැබලි) සොයමින් කසල (එකතුකොට) ඇතිතන්හි හැසිරෙත්.

’’මම හංසවතී නගරයෙහි අනුන්ගේ (මෙහෙ කරන) බැලයෙක් වීමි. (ඒ මම උන්වහන්සේට) අඩවතක් (රෙදි කැබෙල්ලක්) දී හිස නමා වැන්දෙමි.

’’මම මැනවින් කරන ලද එම කර්‍මය කරණකොගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මිනිස් සිරුර හැර, තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.

’’තෙතිස් වරක් දේවේන්‍ද්‍රව දිව්‍ය රාජ්‍යය කරවීමි. මම සත් සැත්තෑ වරක් සක්විති රජ වීමි.

’’(කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍ය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය. අඩවත් දනින් (භය විරහිත බැවින්) අකුතොභයවූ නිවන පසක් කළේ වෙමි.

’’මම අද කැමතිවන්නේ නම් වන පර්‍වත සහිතවූ (සියල්ල) කොමු පිළිවලින් වහන්නෙමි. අඩවත් දනෙහි මේ විපාකයයි.

’’මින් සියක් දහස්වන කපෙහිවූ එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. අඩවත් දනෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් අක්කමන දායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

උපඩ්ඪදුස්සදායකත්ථෙරස්සාපදානං පඤ්චමං.