අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

4. හතරවෙනි පණ්ණාසකය

(16) 1. ඉන්‍ද්‍රියය වර්‍ගය

7. පබ්බජිතරොග සූත්‍රය

’’මහණෙනි, මේ රෝගයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, කායික රෝගය, චෛතසික රෝගය යන දෙකයි.

’’කායික රෝගයෙන් එක් වර්‍ෂයක් නීරෝගීකම ප්‍රතිඥා කරණු ලබන, වර්‍ෂ දෙකක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, වර්‍ෂ තුනක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, වර්‍ෂ සතරක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, වර්‍ෂ පසක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, දසවර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, විසි වර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, තිස් වර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, හතලිස් වර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, පනස් වර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, වර්‍ෂ සියයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, සත්ත්‍වයන් දකිත්.

’’යම්කිසි කෙනෙක් චෛතසික රෝගයෙන් මොහොතක් නමුත් නීරෝගීකම ප්‍රතිඥා කරත්ද, ක්‍ෂීණාශ්‍රවයන් හැර ඒ සත්ත්‍වයෝ දුර්‍ලභ වෙත්.

’’මහණෙනි, පැවිද්දාට මේ රෝග සතරක් වෙත්. කවර සතරක්ද යත්. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම මහත් ආශා ඇත්තේ වේද, දුක් ඇත්තේ වේද, තව තවත් සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකරින් නොසතුටුවූයේ වේද, හෙතෙම මහත් ආශා ඇත්තේ, දුක් ඇත්තේ, තව තවත් සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකරින් නොසතුටුවූයේ අවනම්බු නොලැබීමට, ලාභ, සත්කාර, ගුණ කථාව ලැබීමට ලාමක අදහස උපදවයි. හෙතෙම අවනම්බු නොලැබීමට, ලාභ, සත්කාර, ගුණ කථා ලැබීමට නැගිටියි. සෙලවෙයි. වෑයම් කෙරෙයි. හෙතෙම දැනගැනීම පිණිස කුලයන් කරා පැමිණෙයි. දැනගැනීම පිණිස හිඳියි. දැනගැනීම පිණිස බණ කියයි. දැනගැනීම පිණිස මල මූත්‍ර උසුලයි. මහණෙනි, මේ සතර, පැවිද්දාට රෝගයෝය.

’’මහණෙනි, තොප විසින් මෙහි මෙසේ හික්මිය යුතුයි. ’මහත් ආශා නොවන්නෙමි. දුක් නොවන්නෙමි. තවතවත් සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත්, පිරිකරින් නොසතුටු නොවන්නෙමු. අවනම්බු ලැබීමට, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා ලැබීමට ලාමක අදහසත් නොකරන්නෙමි. ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා නිසා අවනම්බු නොලැබීමට නොනැගිටින්නෙමි. නොගැටෙන්නෙමි. වෑයම් නොකරන්නෙමි. සීත, උෂ්ණ, බඩසය, පවස්, ඩැහැලේ බොන මැස්සෝය, මදුරුවෝය, වා, අවු, දීර්‍ඝ ජාතීන්ගේ ස්පර්‍ශ, නපුරුකොට කියන, නපුරුකොට ආ වචනයන්, දුක්වූ, තියුණුවූ, කටුකවූ, අයහපත්වූ, නොමනාපවූ, පා නගන්නාවූ ශාරීරික වේදනාවන් ඉවසන්නේ වන්නෙමු’ යයි තොප විසින් මෙසේ හික්මිය යුතුයි.’’