ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

2. දුක නිපාතය

2. ජාගරිය වර්ගය

10. ජාගරකාල විපස්සී සූත්‍රය

“මහණෙනි, මහණතෙම නිදිදුරුකරන්නෙක්ද වන්නේය. සිහි ඇත්තෙක්ද වන්නේය. සම්‍යක් ප්‍රඥා ඇත්තෙක්ද වන්නේය. එකඟ සිත් ඇත්තෙක්ද වන්නේය. සතුටු සිතැත්තෙක්ද වන්නේය. විශෙෂයෙන් පැහැදුනෙක්ද වන්නේය. කුශල ධර්මයන්හි එකල්හි හෝ කර්මස්ථානානුයෝගයෙහි කාලානුරූපව හෝ විදර්ශනාව කරන්නෙක්ද වන්නේය.

“මහණෙනි, නිදි දුරුකරන්නෙක්ව වසන්නාවූ සිහි ඇත්තාවූ සම්‍යක් ප්‍රඥාව ඇත්තාවූ ප්‍රමුදිතවූ විශෙෂයෙන් ප්‍රසන්නවූ කුශල ධර්මයන්හි එකල්හි හෝ ඒ කමටහන්හි යෙදීමෙහි හෝ කලට සුදුසු පරිද්දෙන් විදර්ශනා කරන්නාවූ මහණහු විසින් මේ ආත්මයෙහිම රහත්බව හෝ උපාදිශෙෂය ඇතිකල්හි අනාගාමීබව හෝ දෙපලයන් අතුරෙන් එක් ඵලයක් කැමතිවිය යුතුයයි.

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“නිදි දුරුකරන්නාහු මේ (මාගේ) වචනය අසවු, යම් කෙනෙක් නිද්‍රෝපගතවූවාහු වෙද්ද, ඒ තෙපි පිබිදෙවු, නිදීමට වඩා නිදි දුරු කිරීම අතිශයින් පැසසිය යුත්තේය. නිදි දුරුකරන්නාහට භය නැත.

“යමෙක් ප්‍රමාද නිද්‍රාව දුරුකරන්නේවේද, සිහි ඇත්තේවේද, සම්‍යක් ප්‍රඥාව ඇත්තේවේද, සමාධියෙන් යුක්තවේද, සතුටු සිත් ඇත්තේවේද, විශෙෂයෙන් ප්‍රසන්නවූයේවේද, කාලයෙහි සුදුසු ත්‍රෛභූමක ධර්මය මනාව විමසන්නේ (සියලු අයුරෙන් විදර්ශනා කරන්නේ සුදුසු උපන් මාර්ග සමාධිය ඇත්තේ මාර්ග ප්‍රතිවේධ කාලයෙහි මනාකොට චතුස්සත්‍ය ධර්මය පරිඤ්ඤාහිසමයාදී වශයෙන් විමසන්නේවේද, ඒ ආර්ය ශ්‍රාවකතෙමේ (අර්හත් මාර්ගයෙන් මොහය නසන්නේය. එහෙයින් ඒකාන්තයෙන් නිදි දුරුකිරීම සෙවුනේය. කෙලෙස් තවන වීර්යය ඇත්තාවූ ස්ථානොචිත ප්‍රඥාව ඇත්තාවූ ධ්‍යානලාභීවූ ඒ මහණතෙම (දස) සංයෝජනයද ජාති ජරාවන්ද සිඳ මෙහිදීම උතුම්වූ අග්‍රඵල සංඛ්‍යාත සම්බොධියට පැමිණෙන්නේ යයි.”