ඛුද්දක නිකාය

රහත් භික්ෂුණීන් වහන්සේලා වදාළ ගාථා

15 හතළිස්වෙනි නිපාතය

15.1. ඉසිදාසී තෙරණිය ගේ ගාථා.

කුසුම් පුරය නමින් යුතු පාටලී නගරය මේ මහපොළොවට ආභරණයක්. ශාක්‍ය කුලයේ උපන් ගුණවත්භික්ෂුණීන් දෙනමක් ඒ නගරේ ඉන්නව.

එක් භික්ෂුණියක ගේ නම ඉසිදාසී. දෙවැනි සිල්වත්තැනැත්තිය ගේ නම් බෝධි තෙරණිය. ඒ දෙන්න ධ්‍යානසැපයෙන් වාසය කරන්නෙ. බුදු සමිඳුන් ගේ ධර්මයගොඩාක් අහල තියෙනව. ඒ වගේ ම නිකෙලෙස්.

දවසක් ඒ භික්ෂුණීන් දෙනම පිණ්ඩපාතෙ වැඩිය.දන් වැළඳුව. දෙපා සෝද ගෙන විවේක තැනක සුවසේසිටිද්දි තමයි මේ කතාබහ ඇති වුණේ.

ආර්ය වූ ඉසිදාසී, ඔයා හරි ම ලස්සන කෙනෙක්. තවම ඉන්නෙ තරුණ වයසෙ. ඔයා මහණ වෙන්ට කල්පනාකළේ ගිහි ගෙදර කොයි ආකාරයේ දෝෂයක් දැකල ද?

විවේක තැනක දී මේ විදියට අසද්දී දහම් දෙසීමෙහිදක්ෂ වූ ඉසිදාසී භික්ෂුණිය මේ විදියට පිළිතුරු දුන්න. ”එහෙම නම්, පින්වත් බෝධි, මං මහණ වෙච්ච විදියඅහගන්න.”

මගේ තාත්ත, සිල්වත් කෙනෙක්, එයා උදේනි නගරයේසිටුවරයෙක්. මං ඒ ගොල්ලන් ගෙ එක ම දුව. ඒ ගොල්ලන්ගෙ හැම ආදරයක් ම ලැබුණෙ මට.

සාකේත නගරයේ උසස් කුලයකින් මට මංගලයෝජනාවක් ආව. ඒ සිටුවරයාට ත් ගොඩාක් වස්තුව තිබුණ.ඒ සිටුතුමා ගේ ලේලිය හැටියට මාව, මගේ තාත්තා ඒගෙදරට පාවා දුන්න.

ඉතින් මං නැන්ද යි මාම යි ළඟට උදේ සවස ගිහින්ඒ ගොල්ලන් ගෙ දෙපා වැන්ද. ඔවුන් කියන දේ විතරක් මකෙරුව.

මං මගේ ස්වාමිය හරි, සහෝදර සහෝදරියන් හරි, ඒකව්රු හරි දැක්කොත් මං පුටුවෙන් නැගිටිනව. මං ඒගොල්ලන්ට වාඩි වෙන්න දෙනව.

කෑමෙන් බීමෙන් වුණත්, කැවිලි පෙවිලිවලින් වුණත්ඒ ගොල්ල කැමැති දේවල් හදල දීල සතුටු කරනව. මං ඒගොල්ලන්ට හොඳට සැලකුව.

අවශ්‍ය දේවල් වෙලාවට හොයල බලල උපස්ථානකරනව. මං මගේ අතින් සැමියා ගේ පා සෝදල යි ගෙටගන්නෙ. ස්වාමියා ළඟට මං යන්නෙත් වැඳගෙන යි.

මං පනාව ත්, සුවඳ විලවුන් වර්ග ත්, වෙනත් දේවලූත්,කණ්ණිඩිය ත් අරගෙන සැමියා ළඟට යනව. මගේ අතින්ම යි මං එයා ව සැරසුවේ.

මගේ අතින් ම බත් ඉව්ව. හැලි වලං හේදුව. අම්මකෙනෙක් එක ම දරුවෙකුට සලකනව වගෙයි මං සැමියටකටයුතු කළේ.

එයාට මං කොයි තරම් ආදරෙන් වැඩකාර කම්කරගෙන හිටියත්, නිහතමානී ව සොයා බලා කටයුතුකරගෙන සිටියත්, කම්මැලි නැති සිල්වත් ජීවිතයක් ගෙවනමට ම යි එයා බණින්නෙ.

අන්තිමේ දී එයා ඒ ගොල්ලන් ගෙ දෙමාපියන්ටමෙහෙම කිව්ව. ”මං යනව මේ ගෙදර අත්හැරල, මට මේඉසිදාසී ත් එක්ක පවුල් කන්ඩ ඕන කමක් නෑ.”

”පුතේ එහෙම කියන්න එපා. ඔය ඉසිදාසී ඤාණවන්තකෙනෙක් නේ. වාසනාවන්ත කෙනෙක් නෙ. වීරියවන්තයි නෙ. කම්මැලි නෑ නෙ. ඉතින් පුතේ, ඔයා මොකදඉසිදාසීට මේ තරම් අකැමැති?”

”ඔව්! ඇය මට වරදක් කළේ නෑ. නමුත් මට ඉසිදාසීත් එක්ක ඉන්ඩ ඕන කමක් නෑ. මට ඈ ව අප්පිරිය යි. මටඇගෙන් වැඩක් නෑ. මං එහෙනම් ඕගොල්ලන්ට ත් නොකියාම මේ ගෙදරින් යන්ඩ යනව.”

නැන්ද යි මාම යි එයා ගෙ වචනෙ පිළිගත්ත. ඉතින්ඒ ගොල්ල මගෙන් ඇහැව්ව, ”දරුවො, ඔයා මොකක් දඅපේ පුතාට කරපු වැරැද්ද? සැක නැතිව කියන්න”

මං එයාට කිසි ම වරදක් කළේ නෑ. හිංසාවක් කළේනෑ. වැරදි වචනයක් කියල නෑ. ආර්යාවෙනි, ඉතිං එයාමේ තරම් මාත් එක්ක තරහ වුණාට මං මොකද කරන්නෙ?

”අපේ පුතා ව රැක බලාගෙන හිටිය ලස්සන ලක්ෂ්මීව අපේ පවුලට නැති වුණා.” කියල ඒ දෙමාපියන් මාවආයෙමත් අපේ තාත්ත ළඟට ඇරලූවා.

ඒ වතාවේ මගේ තාත්ත, අපට වඩා බදු ආදායම භාගයක් ලැබෙන ධනවත් පවුලකට මාව බන්ඳල දුන්න.

මාසය යි මං ඒ ගෙදර හිටියෙ. මං කීකරු දාසියක්වගෙ උපස්ථාන කරද්දී, ද්‍රෝහිකම් නො කරද්දී, සිල්වත් වසිටිද්දී, ඒ ගෙදරිනුත් මාව අයින් කළා.

අන්තිමේ දී මගේ තාත්තා, සිඟමනේ ඇවිදගෙන ගියඉඳුල් කකා ඉන්න මිනිහෙක් එක්කගෙන ආව. ”ළමයෝ,ඔය රෙදි කඩමාල්ල යි, ඔය තැටිය යි වීසි කරපන්. මගේදියණිය ගේ ස්වාමිය බවට පත් වෙයන්.” කියල කිව්ව.

ඒ මනුස්සයා මම ත් එක්ක ටික කලක් හිටිය. එයත්මාව අත්හැරල ගියා. එයා යන දවසේ තාත්තට මෙහෙමකිව්ව. ”මගේ රෙදි කඩමාල්ල යි, මගේ තැටිය යි, මටආපහු ඕන. මං ආයෙමත් සිඟා කන්ඩ පටන් ගන්නව.”

එතකොට අම්ම යි තාත්ත යි එයාට මෙහෙම කිව්ව.”මේ ගෙදරින් ඔයාට මොනව ද ලැබෙන්නෙ නැත්තෙ? ඕන දෙයක් කියන්න, හරි ගස්සල දෙන්නම්.”

එහෙම කියද්දි ත් එයා මෙහෙම යි කිව්වෙ. ”නෑ, මටජීවත් වෙන්ඩ තාම හයිය තියෙනව. මට මේ ඉසිදාසීගෙන් වැඩක් නෑ. මට ඉසිදාසී ත් එක්ක පවුල් කන්ඩ ඕනකමක් නෑ.”

ඒ ඉඳුල් කන මනුස්සය ත් මාව දාල ගියා. මං තනියමහිතන්ට පටන් ගත්ත. එක්කෝ මං කාටවත් නො කියා දිවිනසා ගන්නව. එක්කෝ මං මහණ වෙනව.

විනයධර, බහුශ්‍රැත, සිල්වත් භික්ෂුණියක් හිටියා. ආර්යවූ ඒ ජිනදත්තා භික්ෂුණිය පිණ්ඩපාතෙ වඩින ගමන් අපේගෙදරට ත් වැඩිය.

එතුමිය දැකල අපි සිටිය ආසනේ වාඩි වෙන්ට පිළියෙලකළා. එතන හිඳ ගත්ත ඒ භික්ෂුණී ගේ දෙපා වැඳල දානෙපූජා කරගත්ත.

දන් පැන්වලිනුත්, කැවිලි පෙවිලිවලිනුත් ඇයටසැලකුව. ”ආර්යාවෙනි, මාත් කැමැති යි මහණ වෙන්ට.”

එතකොට තාත්ත මට මෙහෙම කිව්ව. ”දුවේ, ඔයාමේ ගෙදර ඉඳගෙන ම ධර්මයේ හැසිරෙන්න. ශ්‍රමණබ්‍රාහ්මණයන්ට දාන මානවලින් සලකන්න.”

මං තාත්ත ළඟ වැඳ ගෙන හඬා වැටුණා. ”නෑ, මංකරගත්තු පව් තමයි මේ. මම් ම ඒ පව් දිරවල අවසන්කරල දානව.”

ඊට පස්සෙ තාත්ත මෙහෙම කිව්ව. ”නර ශ්‍රේෂ්ඨ වූබුදු රජාණන් වහන්සේ යම් උතුම් ධර්මයක් අවබෝධකළා නම්, ඔය ත් ඒ උතුම් ධර්මයට පැමිණිලා අවබෝධයලබා ගන්න. නිවනට පත් වෙන්න.”

මං දෙමාපියන්ට ත්, නැදෑ පිරිසට ත් වන්දනා කළා.ඔන්න ඉතින් මාත් මහණ වුණා. මහණ වෙලා හත් දවසින්මා ත් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා.

මට අතීත ජීවිතේ ආත්මභාව හතක් සිහි කරන්ටපුළුවන්. මං මේ ජීවිතේ විපාක වින්ඳේ ඒ කාලේ කරපුපවක්. මං ඔයාට ඒක කියන්නම්. හොඳට අහගෙන ඉන්න.

මීට ආත්මභාව හතකට කලින් ඒරකච්ඡු නගරයේගොඩාක් ධනය තියෙන රන්කරුවෙක් වෙලා මං හිටියෙ.මං තරුණකමින් මත් වෙලා හිටිය. මං නොයෙක්කාන්තාවන් පස්සෙ ගියා.

මනුස්ස ලෝකෙන් චුත වෙලා මං කෙළින් ම ඉපදුනේනිරයේ. මං ගොඩාක් කල් නිරයේ දුක් වින්ඳා. නිරයෙන්චුත වුණාට පස්සෙ උපන්නෙ වැඳිරියක ගේ කුසේ.

එතකොට මං ඉපදිලා දවස් හත යි. ඒ වඳුරු රැළේනායක වඳුරා මගේ පුරුෂ ලිංගය හූරල දැම්ම. පරස්ත්‍රීන්සේවනය කරපු කර්මවිපාක තමයි මං ඒ වින්ඳේ.

මං එතැනින් චුත වුණා. සින්ධව වනයේ හිටියා එකඇහැක් අන්ධ වෙච්ච කුදු ගැහිච්ච බූරු දෙනක්. ඒ ගමනමං උපන්නෙ ඇගේ කුසේ.

මං කුඩා කාලේ අරඅඹවල මගේ රහසෙඟ් ඇටතැලූව. දොළොස් අවුරුද්දක් දරුවන් පිටේ තියාගෙනඇවිද්දා. නමුත් අර ඇට තලපු තැන තුවාල වෙලා තිබුණේ.ඒ තුවාලෙට පණුවො ගහල මං ලෙඩ වුණා. පර ස්ත්‍රීන්සේවනය කරපු එකේ විපාක තමයි.

මං එතනින් චුත වුණා. හරක් වෙළෙන්දෙක් ළඟහිටපු ගව දෙනක ගේ කුසේ ඉපදුනා. මං රතුපාට වහුපැටියෙක්. දොළොස් වෙනි මාසෙ දී අර විදියට ම මගේලිංගේ ඇට තැලූව.

මං නගුල් උස්සගෙන ගියා. ගැල් බර කර තියාගෙනගියා. අන්ධයෙක් වගේ මං පරස්ත්‍රීන් සේවනය කළ නිසාමං අන්ධ වෙලා, ලෙඩ වෙලා ගියා.

මං එතනින් චුත වුණා. නගරේ වීදියේ දාසියක ගේකුලයේ තමයි ඊළඟට උපන්නෙ. පරස්ත්‍රීන් සේවනය කිරීමේවිපාක බලන්න. ඒ වතාවෙ මං ගැහැණියෙකුත් නො වේ,පිරිමියෙකු ත් නො වේ. නපුංසකයෙක්!

මං අවුරුදු තිහේ දී මැරුණා. මං ගොඩාක් දුක් වින්ඳ.ණය බරින් මිරිකිලා ගිය ගැල් බර ගෙනියන පවුලක යි මංඊ ළඟට ඉපදුනේ. ඒ ගමන මං ස්ත්‍රියක්.

අපේ ගෙදරට ණය ගෙවා ගන්ට බැරි වුණා. ගැල්නායකයා අපේ ගෙදරට ඇවිදින් මං හඬද්දී මබලාත්කාරයෙන් මාව අරගෙන ගියා.

එතකොට මට වයස දහසය යි. මං තරුණ යි. ඒ ගැල්නායකයා ගේ පුතෙක් හිටිය ගිරිදාස කියල. එයා මාවතමන් ගෙ ගෙදරට කැඳව ගත්ත.

එයාට හිටිය හොඳ සිල්වත්, ගුණවත්, ස්වාමිභක්තියතියෙන බිරිඳක්. මට ඈ ගැන ඉරිසියා හිතුන. ඉතින් මංකළේ ඒ බිරිඳ ගැන කිපෙන විදියට එයාට කටයුතු කිරීමයි.

මං දාසියක් වගේ ස්වාමියා ට උපස්ථාන කරද්දී.ස්වාමියා මාව අත්හැරල යන්නෙ, ඒ අකුසල කර්මයේවිපාක වශයෙන්. මං දැන් ඒ කර්මය ත් අවසන් කළා.

මේ වනාහී ඉසිදාසී නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.

හතළිස්වෙනි නිපාතය නිමා විය. (ගාථා හතළිහ බැගින් වදාළ කොටස නිමා විය)