අඞ්ගුත්තරනිකායො

අඨක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(9) 4. සති වර්‍ගය

1. සති විපන්න සූත්‍රය

’’මහණෙනි, සිහි නුවණ විපරීත වූවහුට සිහි නුවණ නොපවත්නා කල්හි හිරි ඔතප් දෙක නැසීමට ලංවූයේ වේ. හිරි ඔතප් දෙක විපරීත වූවහුට හිරි ඔතප් දෙක නැති කල්හි ඉඳුරන් සංවර කිරීම නැසීමට ලංවූයේ වේ. ඉඳුරන් සංවර කිරිම විපරිත වූවහුට ඉඳුරන් සංවර කිරීම නැති කල්හි ශීලය නැසීමට ළංවූයේ වේ. ශීලය විපරීත වූවහුට ශීලය නැති කල්හි මනා හිත එකමුතුකම නැසීමට ලංවූයේ වේ. මනා හිත එකමුතුකම විපරීත වූවහුට මනා හිත එකමුතුකම නැති කල්හි තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම නැසීමට ලංවූයේ වේ. තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම විපරීත වූවහුට තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම නැති කල්හි කලකිරීමෙන්වූ නොඇල්ම නැසීමට ලංවූයේ වේ. කලකිරීමෙන්වූ නොඇල්ම විපරීත වූවහුට කලකිරීමෙන්වූ නොඇල්ම නොපවත්නා කල්හි (සියලු කෙළෙසුන්ගේ) මිදීම නුවණින් දැකීම නැසීමට ලංවූයේ වේ.

’’මහණෙනි, යම් සේ ගසක්, කොළ අතු මිරිකී ගියේ (-විපරීත වූයේ) එහි පතුරුද, පිරී වැඩීමට නොයයි. පොත්තද, එළයද, අරටුවද, පිරී වැඩීමට නොයයි. මහණෙනි, මෙසේම වනාහි සිහි නුවණ විපරීත වූවහුට සිහි නුවණ නොපවත්නා කල්හි හිරි ඔතප් දෙක නැසීමට ලංවූයේ වේ. හිරි ඔතප් දෙක විපරීත වූවහුට හිරි ඔතප් දෙක නැති කල්හි ඉඳුරන් සංවර කිරීම නැසීමට ලංවූයේ වේ. ඉඳුරන් සංවර කිරිම විපරිත වූවහුට ඉඳුරන් සංවර කිරීම නැති කල්හි ශීලය නැසීමට ළංවූයේ වේ. ශීලය විපරීත වූවහුට ශීලය නැති කල්හි මනා හිත එකමුතුකම නැසීමට ලංවූයේ වේ. මනා හිත එකමුතුකම විපරීත වූවහුට මනා හිත එකමුතුකම නැති කල්හි තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම නැසීමට ලංවූයේ වේ. තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම විපරීත වූවහුට තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම නැති කල්හි කලකිරීමෙන්වූ නොඇල්ම නැසීමට ලංවූයේ වේ. කලකිරීමෙන්වූ නොඇල්ම විපරීත වූවහුට කලකිරීමෙන්වූ නොඇල්ම නොපවත්නා කල්හි (සියලු කෙළෙසුන්ගේ) මිදීම නුවණින් දැකීම නැසීමට ලංවූයේ වේ.

’’මහණෙනි, සිහි නුවණ සහිත වූවහුට සිහි නුවණ පවත්නා කල්හි හිරි ඔතප් දෙක ළංවීම් සහිත වෙයි. හිරි ඔතප් සහිත වූවහුට හිරි ඔතප් පවත්නා කල්හි ඉඳුරන් සංවර කිරීම ළංවීම් සහිත වේ. ඉඳුරන් සංවර කිරීම සහිත වූවහුට ඉඳුරන් සංවර කිරීම පවත්නා කල්හි ශීලය ළංවීම් සහිත වේ. ශීලය සහිත වූවහුට ශීලය පවත්නා කල්හි තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ ළංවීම් සහිත වේ. තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ සහිත වූවහුට තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ පවත්නා කල්හි කලකිරීමෙන්වූ නොඇල්ම ළංවීම් සහිත වේ. කලකිරීමෙන්වූ නොඇල්ම සහිත වූවහුට කලකිරීමෙන්වූ නොඇල්ම පවත්නා කල්හි මිදීම දක්නා නුවණ ළංවීම් සහිත වේ.

’’මහණෙනි, යම් සේ ගසක් අතු කොළ සහිත වූයේ එහි පතුරුද පිරී වැඩීමට යයි. පොත්තද, එළයද, අරටුවද, පිරී වැඩීමට යයි. මහණෙනි, මෙසේම වනාහි සිහි නුවණ සහිත වූවහුට සිහි නුවණ පවත්නා කල්හි හිරි ඔතප් දෙක ළංවීම් සහිත වෙයි. හිරි ඔතප් සහිත වූවහුට හිරි ඔතප් පවත්නා කල්හි ඉඳුරන් සංවර කිරීම ළංවීම් සහිත වේ. ඉඳුරන් සංවර කිරීම සහිත වූවහුට ඉඳුරන් සංවර කිරීම පවත්නා කල්හි ශීලය ළංවීම් සහිත වේ. ශීලය සහිත වූවහුට ශීලය පවත්නා කල්හි තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ ළංවීම් සහිත වේ. තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ සහිත වූවහුට තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ පවත්නා කල්හි කලකිරීමෙන්වූ නොඇල්ම ළංවීම් සහිත වේ. කලකිරීමෙන්වූ නොඇල්ම සහිත වූවහුට කලකිරීමෙන්වූ නොඇල්ම පවත්නා කල්හි මිදීම දක්නා නුවණ ළංවීම් සහිත වේ.