අඞ්ගුත්තරනිකායො

අඨක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(8) 3. යමක වර්‍ගය

10. කුසීතවත්‍ථු සූත්‍රය

’’මහණෙනි, මේ කුසීත වස්තූහු (කම්මැලිකමට කරුණු) අටෙකි.

’’කවර අටක්ද? මහණෙනි, මෙහි භික්‍ෂුව විසින් කටයුත්තක් කළ යුතු වේද, ඔහුට මෙසේ සිතක් වෙයි. ’මා විසින් කටයුත්තක් කළ යුතු වන්නේය’ කියාය. ’කටයුත්ත කරන මගේ කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)’ යි හේ හොවියි. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීර්‍ය්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය පළමුවන කුසීත වස්තුවය.

’’මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව විසින් කටයුත්ත කරණ ලද්දේ වේද, ඔහුට මේ සිත වෙයි. ’මම වනාහි කළයුත්ත කෙළෙමි. කටයුත්ත කරණ මගේ කය වෙහෙසවිය. අනේ මම දැන් හාන්සි වෙමි,’ (කියාය.) හේ හාන්සි වෙයි. වීර්‍ය්‍යය පටන් නොගනී. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීර්‍ය්‍යය පටන් නොගනී. මහණෙනි, මෙය දෙවන කුසීත වස්තුවය.

’’මහණෙනි, නැවතද භික්‍ෂුව විසින් මග යා යුතු වෙයි. ඔහුට මේ සිත වෙයි. ’මා විසින් මග යා යුතු වන්නේය,’ (කියාය.) මග යන මාගේ කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)’ යි හේ හොවියි. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීර්‍ය්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය තුන්වන කුසීත වස්තුවය.

’’මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව විසින් මග යන ලද්දේය. ඔහුට මේ සිත වෙයි. මම මග ගියෙමි. මග යන මගේ කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)’ යි හේ හොවියි. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීර්‍ය්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය සතරවන කුසීත වස්තුවයි.

’’මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව ගම හෝ නියම් ගම හෝ පිඬු පිණිස හැසිරෙන්නේ ඔහුට ප්‍රණීත හෝ, කටුක හෝ, භෝජනයක් ඇති පමණින් සම්පූර්‍ණව නොලැබේද, ඒ මගේ කය ක්ලාන්තය. වලංගු නැත. කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)’ යි හේ හොවියි. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීර්‍ය්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය පස්වන කුසීත වස්තුවයි.

’’මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව ගම හෝ නියම් ගම හෝ පිඬු පිණිස හැසිරෙන්නේ ඔහුට ප්‍රණීත හෝ, කටුක හෝ, භෝජනයක් ඇති පමණින් සම්පූර්‍ණව ලැබේද, ඒ මගේ කය බරය, වලංගු නැත, පෙඟුන මෑ ඇට ලොඩක් මෙනැයි සිතමි. කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)’ යි හේ හොවියි. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීර්‍ය්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය සයවන කුසීත වස්තුවයි.

’’මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුවට යම්තම් ලෙඩක් ඇතිවූයේ වෙයි. ඔහුට මෙසේ සිතක් වෙයි. ’මට වනාහි මේ හාන්සිවීමට සුදුසුවූ යම්තම් ආබාධයක් උපන්නේය. කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)’ යි හේ හොවියි. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීර්‍ය්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය සත්වන කුසීත වස්තුවයි.

’’මහණෙනි, නැවතද වනාහි භික්‍ෂු තෙම ලෙඩින් නැගිටියේ වෙයි. ගිලන්කමින් ලඟදී නැගිටියේ වෙයි. ’ඒ මගේ ඇඟ දුබලය. වලංගු නැත. කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)’ යි හේ හොවියි. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීර්‍ය්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය අටවන කුසීත වස්තුවයි. මහණෙනි, මේ කුසීත වස්තු අටය.

’’මහණෙනි, මේ වීර්‍ය්‍ය වස්තු අටකි.

’’කවර අටක්ද යත්? මහණෙනි, භික්‍ෂුව විසින් කටයුත්තක් කළ යුතු වෙයි. ඔහුට මෙසේ සිතක් වෙයි. ’මා විසින් කටයුත්තක් කළයුතු වන්නේය. කටයුත්තක් කරණ මට බුදුන්ගේ අවවාදය මෙනෙහි කරන්නට පහසු නැත. ඔව්, මම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, පළමුකොටම වීර්‍ය්‍යය පටන් ගනිමි. හෙතෙම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, වීර්‍ය්‍යය පටන් ගනී. මහණෙනි, මේ පළමුවන වීර්ය වස්තුවයි.

’’මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව වැඩය කළේ වෙයි. ඔහුට මෙසේ සිතක් වේ. ’මම වැඩය කෙළෙමි. මම වැඩය කරන්නෙමි. බුදුන්ගේ අවවාදය මෙනෙහි කරන්නට නොහැකිවීමි. ඔව්, මම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, පළමුකොටම වීර්‍ය්‍යය පටන් ගනිමි. හෙතෙම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, වීර්‍ය්‍යය පටන් ගනී. මහණෙනි, මේ දෙවන වීර්ය වස්තුවයි.

’’මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව විසින් මග යායුතු වෙයි. ඔහුට මෙසේ සිතක් වෙයි. ’මා විසින් මග යා යුතු වන්නේය. මග යන්නාවූ මට බුදුන්ගේ අවවාදය මෙනෙහි කරන්නට පහසු නොවේ. ඔව්, මම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, පළමුකොටම වීර්‍ය්‍යය පටන් ගනිමි. හෙතෙම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, වීර්‍ය්‍යය පටන් ගනී. මහණෙනි, මේ තුන්වන වීර්ය වස්තුවයි.

’’මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව විසින් මග ගියේ වෙයි. ඔහුට මෙසේ සිතක් වෙයි. ’මම මග ගියෙමි. මම මග යන්නෙමි. බුදුන්ගේ අවවාදය මෙනෙහි කරන්නට නොහැකිවීමි. ඔව්, මම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, පළමුකොටම වීර්‍ය්‍යය පටන් ගනිමි. හෙතෙම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, වීර්‍ය්‍යය පටන් ගනී. මහණෙනි, මේ සතරවන වීර්ය පටන්ගැනීමයි.

’’මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව ගම හෝ, නියම් ගම හෝ, පිඬු පිණිස හැසිරෙනුයේ, කටුක හෝ ප්‍රණීත භෝජනයක් ඇති පමණ පුරා නොලබයි. ඔහුට මෙසේ සිතක් වෙයි. ’මම වනාහි ගම හෝ, නියම් ගම හෝ, පිඬු පිණිස හැසිරෙනුයේ, කටුක හෝ ප්‍රණීත හෝ භෝජනය ඇති පමණ පුරා නොලදිමි. ඒ මගේ ඇඟ සැහැල්ලුය. වලංගුය. ඔව්, මම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, පළමුකොටම වීර්‍ය්‍යය පටන් ගනිමි. හෙතෙම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, වීර්‍ය්‍යය පටන් ගනී. මහණෙනි, මේ පස්වන වීර්ය වස්තුවයි.

’’මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව ගම හෝ, නියම් ගම හෝ, පිඬු පිණිස හැසිරෙනුයේ, කටුක හෝ ප්‍රණීත හෝ භෝජනය ඇති පමණ පුරා ලබයි. ඔහුට මෙසේ සිතක් වෙයි. ’මම වනාහි ගම හෝ, නියම් ගම හෝ, පිඬු පිණිස හැසිරෙනුයේ, කටුක හෝ ප්‍රණීත හෝ භෝජනය ඇති පමණ පුරා ලදිමි. ඒ මගේ ඇඟ බලවත්ය, වලංගුය. ඔව්, මම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, පළමුකොටම වීර්‍ය්‍යය පටන් ගනිමි. හෙතෙම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, වීර්‍ය්‍යය පටන් ගනී. මහණෙනි, මේ සවන වීර්ය වස්තුවයි.

’’මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුවට යම්තම් ලෙඩක් වූයේ වේ. ඔහුට මෙසේ සිතක් වේ. ’මට මේ යම්තම් ලෙඩක් වුණේය. මෙබඳු කරුණක් පෙනේ. යම් හෙයකින් මගේ ලෙඩ වැඩිවිය හැකිය. ඔව්, මම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, පළමුකොටම වීර්‍ය්‍යය පටන් ගනිමි. හෙතෙම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, වීර්‍ය්‍යය පටන් ගනී. මහණෙනි, මේ සත්වන වීර්ය වස්තුවයි.

’’මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව ලෙඩින් නැගිටියේ වේ. ගිලන්කමින් ලඟදී නැගිටියේ වේ. ඔහුට මෙසේ සිතක් වේ. ’මම වනාහි ලෙඩින් නැගිටියෙමි. ගිලන්කමින් ලඟදී නැගිටියේ වෙමි. මෙබඳු කරුණක් පෙනේ. යම් හෙයකින් මගේ ලෙඩ නැවත මතු විය හැකිය. ඔව්, මම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, පළමුකොටම වීර්‍ය්‍යය පටන් ගනිමි. හෙතෙම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, වීර්‍ය්‍යය පටන් ගනී. මහණෙනි, මේ අටවන වීර්ය වස්තුවයි. මහණෙනි, මේ වීර්‍ය්‍ය වස්තු අටය.

අටවන යමක වර්‍ගය නිමි.