දීඝ නිකාය

සීලක්ඛන්ධ වර්ගය

10. සුභ සූත්‍රය

සුභමාණවවත්ථු

“මා විසින් මෙසේ අසනලදී. (මාගේ ඇසීම මෙසේය.) එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පා නොබෝකලක් වූ කල ආයුෂ්මත් ආනන්දතෙරුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඩු මහසිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරයි. එකල තොදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුත්‍රවූ සුභ තරුණයා යම් කටයුත්තක් සඳහා සැවැත් නුවර වාසය කෙරෙයි.

එවිට තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා එක්තරා තරුණයෙක් තමා ඉදිරියට කැඳවූයේය. “තරුණයා, මෙහෙ එන්න, ඔබ ශ්‍රමණ ආනන්ද තෙරුන්වහන්සේ යම් තැනකද එතැනට පැමිණෙව, උන්වහන්සේ ඉදිරියට පැමිණ, ‘තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා පින්වත්වූ ආනන්ද තෙරුන් වහන්සේ දුක් නැතුව නිරොගිව, සැහැල්ලු පැවතුම් ඇතුව ශරීරබල ඇතුව, සැප පහසු ඇතුව වෙසේදැයි අසන්නේයයි මාගේ වචනයෙන් ශ්‍රමණ ආනන්ද තෙරුන් වහන්සේ දුකක් නැතිව, නිරොගිව, සැහැල්ලු පැවතුම් ඇතුව, ශරීර බල ඇතුව, සැප පහසු ඇතුව වෙසේදැයි අසව්, මෙසේද කියව්. පින්වත් ආනන්ද තෙරුන්වහන්සේ තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයාගේ නිවස යම් තැනකද අනුකම්පාකොට එතැනට පැමිණෙත් නම් ඉතා යහපත.”

ඒ තරුණයා, “පින්වත එසේය”යි කියා තොදෙය්‍ය පුත්‍රවූ සුභ නම් තරුණයාගේ වචන පිළිගෙණ, ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. එසේ පැමිණ ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේ සමග සතුටු වූයේය. සතුටු වියයුතුවූද සිහිකටයුතු වූද කථාව කොට නිමවා එක පැත්තකටවී උන්නේය. එක පැත්තකටව උන්නාවූ ඒ තරුණයා ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේට මේ කාරණය කීයේය. “තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා පින්වත්වූ ආනන්ද තෙරුන්වහන්සේ දුක් නැතුව, නිරොගිව, සැහැල්ලු පැවතුම් ඇතුව, ශරීර බල ඇතුව, සැප පහසු ඇතුව වෙසේදැයි අසයි, මෙසේද කියයි. ‘ආනන්ද තෙරුන් වහන්සේ තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයාගේ නිවස යම් තැනකද අනුකම්පාකොට එතැනට පැමිණෙත් නම් ඉතා යහපති”

මෙසේ කී කල ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේ ඔහුට මෙසේ කීයේය. “තරුණය, මෙය කාලය නොවෙයි. මා විසින් අද සුලු බෙහෙතක් බොන ලද්දේය. පැමිණිය යුතු කල් වේලා නුවණින් සලකාගෙණ හෙටවත් පැමිණෙම් නම් යහපතැ”යි කීයේය. එකල ඒ තරුණයා, පින්වතුන් වහන්ස, එසේය”යි කියා ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේගේ වචන පිළිගෙණ ආසනයෙන් නැගිට තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා යම් තැනකද එතැනට පැමිණියේය පැමිණ තොදෙය්‍ය පුත්‍රවූ සුභ නම් තරුණයාට මෙසේ කීයේය. “අපි පින්වත්හුගේ වචනයෙන් ආනන්ද තෙරුන් වහන්සේට මෙසේ කීවෙමු.

“තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා පින්වත්වූ ආනන්ද තෙරුන් වහන්සේ දුක් නැතුව, නිරොගිව, සැහැල්ලු පැවතම් ඇතුව, ශරීර බල ඇතුව, සැප පහසු ඇතුව වෙසේදැයි අසයි ආනන්ද තෙරුන් වහන්සේ තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයාගේ නිවස යම් තැනෙකද අනුකම්පා කොට එතැනට පැමිණෙත් නම් ඉතා යහපති.”

මෙසේ කීකල ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ මට මෙසේ කීයේය. “තරුණය, මෙය කාලය නොවෙයි. මා විසින් අද බෙහෙත් ස්වල්පයක් බොනලද්දේය. පැමිණිය යුතු කල්වේලා නුවණින් සලකාගෙන හෙටවත් පැමිණෙම් නම් යහපතැයි” යම් හේතුවකින් පින්වත් ආනන්ද තෙරුන් වහන්සේ හෙට දිනය පැමිණීමට ඉඩ තැබුවේද (අවකාශ කළේද) පින්වත එපමණකින්ම මේ ආරාධනාව පිළිගැනීම කරණ ලද්දේමය.”

එවිට ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේ ඒ රාත්‍රිය පසුවී පෙරවරු කාලයෙහි ඇඳ පොරවා සිවුරු පාත්‍රා ගෙණ පසු මහණවූ චෙතක නම්වූ භික්ෂුව හා සමග තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයාගේ නිවස යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ පණවනලද ආසනයෙහි වැඩහුන්නේය. එවිට තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා ආනන්ද තෙරුන් වහන්සේ යම්තැනකද එතැනට පැමිණියේය එසේ පැමිණ ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේ හා සමග සතුටු වූයේය. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට එකපැත්තකටව උන්නේය. එකපැත්තකටව උන්නාවූ තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේට මේ කාරණය කීයේය.

“පින්වත් ආනන්ද තෙරුන්වහන්සේ ඒ භවත් ගෞතමයාණන් වහන්සේගේ දීර්ඝ කාලයක් මුලුල්ලේ ලඟ සිට උපස්ථාන කරන්නා වෙයි. කිට්ටුව හැසුරුණේ වෙයි ඒ භවත් ගෞතම තෙම යම් ධර්ම පිළිබඳ ගුණ කියන ස්වභාව ඇතිසේක්ද, යම් ධර්මයක මේ ජනසමූහයා යෙදෙවූසේක්ද, තැන්ත් කරවූසේක්ද, පිහිටවූසේක්දැයි, මේ කාරණය පින්වත්වූ ආනන්ද තෙරුන්වහන්සේ දන්නේය පින්වත් ආනන්දතෙරුන් වහන්ස, ඒ භවත් ගෞතමයාණන් වහන්සේ කවර ධර්ම පිළිබඳ ගුණ කියන ස්වභාව ඇතිවූයේද, කවර ධර්මයන්හි මේ ජනසමූහයා යෙදවූයේද, තැන්පත් කරවූයේද, පිහිටුවූයේද?

තරුණය, ඒ භාග්‍යවතුන් වහන්සේ තුන් ආකාර ස්කන්ධයන්ගේ ගුණ කියන ස්වභාව ඇත්තේය. මෙහිම මේ ජනසමූහයා යෙදවූයේය. තැන්පත් කරවූයේය. පිහිටුවූයේය. මොන ස්කන්ධයන්ගේද යතහොත්, උතුම් ශීල ස්කන්ධයේද, උතුම් සමාධි ස්කන්ධයේද උතුම් ප්‍රඥා ස්කන්ධයේද, යන තුන් වැදෑරුම් ස්කන්ධයන්ගේය. තරුණය, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ තුන් ස්කන්ධයන්ගේ ගුණ කියන ස්වභාව ඇත්තේය. මෙහිම මේ ජනසමූහයා යෙදෙවූයේය තැන්පත් කරවූයේය පිහිටුවූයේය.”

සීලක්ඛන්ධො

එකල තරුණයා ‘ආනන්ද තෙරුන් වහන්ස, ඒ භවත් ගෞතමයන් වහන්සේ යම් ශීල ස්කන්ධයක් ගැන ගුණ කියන ස්වභාව ඇතිවූයේද, යම් ශීල ස්කන්ධයක මේ ජනසමූහයා යෙදවූයේද, තැන්පත් කරවූයේද පිහිටුවූයේද ඒ උතුම්වූ ශීල ස්කන්ධය කවරේදැයි” ඇසුවේය.

“තරුණය, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, විදර්ශනා ඤාණ ආදී විද්‍යා අට සීලසංවරය ආදී හසුරුවන ධර්ම පසළොස යන අෂ්ටවිද්‍යා පසළොස් චරණධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රෙෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවි මිනිසුන්ට ගුරුවරයෙක්වූ (චතුරාර්ය සත්‍ය) සත්‍යවූ උතුම් ධර්මසතර අවබොධ කළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් සහ මිනිසුන් සහිතවූ, සත්ත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැන පැහැදිලි කොට ප්‍රකාශ කෙරේද, ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූද, මැද යහපත්වූද, කෙළවර යහපත් වූද, අර්ථ සහිතවූද, (දස ආකාරයෙන්) නියම විධියට වචන ශබ්ද කරන්නාවූ ඛ්‍යඤ්ජන සහිත, සියලු ලෙසින් සම්පූර්ණවූ පිරිසිදුවූ, සියලු ශාසන මාර්ග බ්‍රහ්මචර්යය ගෙන හැර දක්වත්.

“ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන් කුල අතුරෙන් එක් කුලයක උපන්නෙක් හෝ අසයිද ඔහු ඒ දහම අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කෙරෙයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසේ සලකන්නේය. ‘ගෘහවාසය පීඩා සහිතයි. රාගාදී කෙලෙස් සහිත මාර්ගයෙකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ, ලියවූ හක්ගෙඩියක් වැනි මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට නොහැක්කේය. මම හිසකෙස් දැලිරැවුලු කපාදමා සිවුරු හැඳ පොරවා ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙම් නම් ඉතා යහපතැයි’ කියායි.

‘ඔහු පසුකාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සම්පත් රාශිය හැර, ස්වල්පවූ හෝ බෙහෝවූ නෑ පිරිස් හැර, හිසකෙස් දැළිරැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වේද මෙසේ මහණවූ ඔහු ප්‍රධාන සංවරසීලයෙන් යුක්තවූයේ, යහපත් හැසිරීමෙන් හා වරදනැති පැවැත්මෙන් යුක්තවූයේ, ස්වල්පවූත් අකුසලයන්හි විශෙෂයෙන් භය දක්නා ගති ඇත්තෙක්වූයේ, යහපත්වූ ශරීරයෙන් වචනයෙන් ක්‍රියාවෙන් යුක්තවූයේ, ශික්ෂාපද සමාදන්ව එහි මොනවට හික්මෙයි. පිරිසිදුවූ ජීවිත පැවතුම් ඇත්තේ වෙයි. සීලයෙන් යුක්තවූයේ වෙයි. ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තේ වෙයි කෑමෙහි පමණ දන්නේ වෙයි, යහපත් සිහියෙන් හා නුවණින් යුක්තවූයේ වෙයි. සන්තෝෂයෙන් යුක්ත වෙයි.

“තරුණය, භික්ෂුනමක් කෙසේ නම් සීලසම්පන්න වේද? තරුණය, මේ සස්නෙහිවූ භික්ෂුනමක් ප්‍රාණවධය හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ බහා තබන ලද දඬු ඇත්තේ, බහාතබන ලද ආයුධ ඇත්තේ, පව්කිරීමෙහි ලජ්ජා ඇත්තේ, කරුණාවන්තවූයේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතුව වාසය කෙරේද මෙයද ඔහුගේ සීලයක්වේ. නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පූර්ණයෙන් වැළැක්කේ, දුන්දෙයම ගන්නේ, දුන් දෙයම කැමතිවන්නේ, සොරනොවූ පිරිසිදුවූ සිතින් යුක්තව වාසය කෙරේද, මෙයද ඔහුගේ සීලයෙකි, අබ්‍රහ්මචර්යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම්වූ ග්‍රාම ධර්මයෙන් වෙන්වූයේ බ්‍රහ්මචාරීවේද මෙයද ඔහුගේ සීලයකි, බොරු කීමෙන් දුරුව, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, සැබෑ තෙපුල් කියන්නේ, සැබැවින් සැබව ගළපන ගති ඇතුව ස්ථිර කථා ඇත්තේ, ඇදහිය යුතු වචන ඇත්තේ ලෝකයා අතර විරුද්ධ කථා ඇති නොකෙරේද මෙයද ඔහුගේ සීලයෙකි. පිසුණු බස් හැර, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, මෙතැනින් අසා මොවුන් බිඳවීම පිණිස එතැන නොකියන ගති ඇත්තේද, එතැනින් අසා මොවුන් බිඳවීම පිණිස මෙතැන නොකියන ගති ඇත්තේද මෙසේ භෙදවූවන් ගළපන්නේ සමගිවූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ, සමගියෙහි ඇලුම් බහුල කොට ඇත්තේ, සමගිකම්හි ඇලුනේ, සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ සමගිය ඇති කරණ තෙපුල් කියන්නේද මෙයද ඔහුගේ සීලයෙකි. ඵරුෂ වචනය හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ යම් වචනයක් නිදොස් වේද, කණට සැපද, ප්‍රෙමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ හිත් ප්‍රිය කරන්නේද, එබඳු වචනම කියන්නේ වේද මෙයද ඔහුගේ එක් සීලයෙකි. හිස්වූ ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේද, කාලයට සුදුසු කථා කරන්නේද, සිදුවූ තෙපුල්ම කියන්නේද, අර්ථයෙන් යුක්තවූ, ධර්මයෙන් යුක්ත විනය සම්බන්ධවූ තෙපුල් කියන්නේද, සුදුසු කල්හි, උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති, අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේද මෙසේ ඒ හිස් කථාවෙන් වැළැක්මද දියුණුවට හේතුවන වචන කීමද, මෙයද ඔහුගේ සීලයෙකි.

“තණ, ගස්, වැල්, සිඳීම් බිඳීම්, ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේද, එක් වේලේ වළඳන කෑම ඇත්තේද, රාත්‍රි කෑමෙන් හා අවේලෙහි කෑමෙන් සම්පූර්ණයෙන් වැළැක්කේද, නැටීම්, ගී කීම්, බෙර ආදිය වැයීම්, විසුලු දැකීම් යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේද, මල්, ගඳ, විලවුන් පැළඳීම, ඉන් සැරසීම්, අඩු තැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේද, උස්අසුන් මහ අසුන් යන මෙයින් වැළැක්කේද, රන් රිදී මසුරන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් වැළැක්කේද, අමුවූ ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද, අමුමස් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද ස්ත්‍රීන් හා ගෑනු ළමයින් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද වේ වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොර වූයේද, එළුවන් හා තිරෙළුවන් පිළිගැනීමෙන් තොර වූයේද, කුකුළන්, හූරන්, ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන්, කෙත්, වත්, යන මේ පිළිගැන්මෙන්ද, සම්පූර්ණයෙන් තොර වූයේද. ගිහීන්ගේ දූත මෙහෙවරය. ගෙන්ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේද, ගනු දෙනු කිරීමය, තරාදි ආදියෙන් වඤ්චා කිරීමය, රන් හා නොරන් මිශ්‍ර වඤ්චා කිරීමය, වී ආදිය මැණීමෙන් වඤ්චා කිරීමය, හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලොහ රන් රිදීයයි අඟවා වඤ්චා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයොගය යන මෙයින් සම්පූර්ණයෙන් වැළක්කේද, කැපීමය, මැරීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැර ගැන්මය, ගම් නියම්ගම් ආදිය පැහැරීමය, බලාත්කාරකමින් වස්තු පැහැර ගැන්මය, යන මෙයින්ද සම්පූර්ණයෙන් වළකියිද, මෙයද ඔහුගේ සීලයෙක්වේ.

“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මූලබීජය, ඛන්ධබීජය, එළුබීජය, දලුබීජය, පස්වැනිවූ බීජබීජය යන මේ ගස් ආදිය වැවීමෙහි යෙදී වාසය කරත්ද මෙබඳුවූ බීජගාම භූතගාමයන් සිඳීම් බිඳීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙක්වේ.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා ආහාර වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයොජන ගැන්මය, බීම වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයෝජන ගැන්මය, නො ඉටන ලද (අයිතියට නොගත්) සිවුරු ආදිය, යාන සංඛ්‍යාත වහන් දෙකකින් වැඩි සයන, සුගන්ධයන්, තල සහල් ආදිය තැන්පත් කොට තබා ප්‍රයෝජන ගැන්මයයි කියන ලද පසුවට තබා ප්‍රයෝජන ගැන්මෙහි යෙදී වාසය කරත්ද මෙබඳුවූ සන්නිධිකාර පරිභොගයෙන් වැළකී වෙසේද, මෙයද ඔහුගේ සීලයෙක් වේ.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා නැටීමය, ගී කීමය, බෙර ආදිය වැයීමය, රඟ මඩුලු සැරසීමය, වැඩක් නැති කථා ඇසීමය, කයිතාලම් හා අත්ලෙන් අත්ල ගැසීමය, මන්ත්‍ර පිරවීමෙන් මළමිනි නැංවීමය, සතරැස් හෝ කළ බෙර ගැසීමය, ශොභන චිත්‍ර විචිත්‍රය, සණදොවුන් කෙළිය, හුණගස් ඔසවා නැටීමය මිනීඇට සෝදා තැබීමය, ඇතුන් හා පොරය, අශ්වයින් යොදා පොරය, මවුන් හා පොරය, ගවයින් හා පොරය, එළුපොරය මෙණ්ඩක එළුපොරය, කුකුළුපොරය, වටුපොරය, දඬු (පොලු) පොරය, තොරතුරු ඇනීමය, මල්ලව යුද්ධය, යුද්ධය, ඇත් අස් ආදිය දැකීමය යන විකාර දර්ශනයෙහි යෙදී වාසය කරත්. මෙසේ මෙබඳු විසුලු දැක්මෙන් සම්පූර්ණයෙන් වැළකේද, මෙයද ඔහුගේ සීලයෙක් වේ,

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා (දූ පෝරු ආදියෙහි කෙළිම්වූ) ක්‍රීඩාවය, දශපද ක්‍රීඩාවය, දූ පෝරු ආදියෙහි මෙන් ආකාශයෙහි ක්‍රීඩාකිරීමය බිම මණ්ඩල වශයෙන් සාදා පැන පැන ක්‍රීඩා කිරීමය, දූ කැට නොසොල්වා නියෙන් ගසා ක්‍රීඩා කිරීමය, දාදු කෙළීමය, සිං කෙළීමය, භිත්ති ආදියෙහි ඉරටමිටි ගසා ඇත් අස් ආදී රූප දක්වා කෙළීමය, පන්දු කෙළීමය, නලා පිඹීමය, ක්‍රීඩා නඟුල් ගෙන සෙල්ලම් සීසෑම්ය. කරනම් ගැසීමය, තල්පත් ආදියෙන් කන්නන්ගුරුවා තනා ක්‍රීඩා කිරීමය, කොළ නැළියෙන් වැලි ආදිය මැණ කෙළීමය, කුඩා රථයෙන් කෙළීමය, කුඩා දුන්නෙන් කෙළීමය, අහසෙහි හෝ පිටෙහි හෝ අකුරු ඇඳ කෙළීමය, සිතූ දේ කියවීම් කීම් ආදියෙන් කෙළීමය ඒ ඒ දෝෂ රූප දක්වා කෙළීමය, යන මෙබඳුවූ ප්‍රමාදයට කාරණාවූ දූ කෙළීමෙහි යෙදී වාසය කෙරෙත්. මෙසේ මෙබඳුවූ කෙළියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා දික්හඟලා පුටුය, පලස්ය, සතරඟුලෙන් දිග ලොම් ඇතිරිය, විසිතුරු එළුලොම් ඇතිරිය, එළු ලොම් සුදු ඇතිරිය, එළු ලොමින් කළ ඉදිරියට නෙරූ මල් ඇති ඇතිරිය, සිංහාදී රූපයෙන් විසිතුරු එළු ලොම් ඇතිරිය, එක් පිට ලොම් ඇති ඇතිරිය. දෙපිට ලොම් ඇති එළුලොම් ඇතිරිය. රත්රන් නූලෙන් කළ පට ඇතිරිලිය, එක්විට නැට්ටුක්කාරියන් දහසය දෙනෙක් නටනා එළුලොමින් කළාවූ මහඇතිරිය, ඇතුන් පිට අතුරණ ඇතිරිය, අසුන් පිට අතුරන ඇතිරිය, රථ පිට අතුරණ ඇතිරිය, අඳුන්දිවි සමින් කළ ඇතිරිය, කෙසෙල් මුව සමින් කළ උතුම් ඇතිරිය, දෙපස තබනලද රතුපාට කොට්ට ඇති ආසනය, යන මෙබඳු උස් අසුන් මහ අසුන් පාවිච්චි කෙරෙත්. මෙසේ මෙබඳුවූ උස් අසුන් මහ අසුන්හි හිඳීම් ආදියෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි,

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ඇඟ ඉලීමය, පිරිමැදීමය, නෑවීමය, මැඩීමය, මූනබලන කන්නාඩි, අඳුන් තෙල් පාවිච්චිය හා සුවඳ, මූණේ ගානා සුවඳ කුඩු, මූණේ ගානා සුවඳ ද්‍රව්‍ය, අත්වල බඳින ආභරණ යන මේ දේ දැරීම හා පැළඳීමය, රත්රන් නූල් ආදියෙන් කුඩුම්බි බැඳීමය, විසිතුරු දඬුගෙන හැසිරීමය, බෙහෙත් නල එල්වාගෙන ඇවිදීමය, කඩු විසිතුරු කුඩ ගෙනයෑම, විසිතුරු සෙරෙප්පු හෝ සපත්තු පයලා ඇවිදීමය. නලල්පට බැඳීමය, කොණ්ඩා මාණික්‍ය පැළඳීමය, අවන් දැරීමය, දික්වූ දහවලු ඇති සුදුරෙදි ඇඳීමයයි මෙසේවූ සැරසීම් හා අඩුතැන් පිරවීමෙහි නිතර නිතර යෙදෙත්. මෙබඳුවූ සැරසීම් අලංකාර කිරීම් ආදියෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.

“එසේම ඇතැම් පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය මහ ඇමතියන් පිළිබඳ කථාය, සෙනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පාන වර්ග පිළිබඳ කථාය, ඇඳුම් පිළිබඳ කථාය, ඇඳන් පිළිබඳ කථාය, මාලා පිළිබඳ කථාය, ගන්ධ ද්‍රව්‍යයන් පිළිබඳ කථාය, නෑයන් පිළිබඳ කථාය, රථ පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නුවර පිළිබඳ කථාය, දනව් පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, පුරුෂයන් පිළිබඳ කථාය, ගෑනු දරුවන් පිරිමි දරුවන් පිළිබඳ කථාය, යොධයන් පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය, වතුර ගෙන යන දාසීන් හෝ වතුර ගෙන යන තැන් හෝ පිළිබඳ කථාය, මළ නෑයන් යන ආදීන් පිළිබඳ කථාය, නොයෙක් ආකාරවූ තේරුම් නැති කථාය, ලොකය පිළිබඳ කථාය, මුහුද පිළිබඳ කථාය, භවාභව කථාය යන මෙබඳු පහත් කථාවෙහි යෙදී වෙසෙත්. මෙබඳුවූ පහත් කථාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ‘ඔබ මේ ධර්මවිනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දනිමි’ ‘ඔබ මේ ධර්ම විනය කුමකැයි දන්නෙහිද? ඔබ වරදවා පිළිපදින්නෙහිය, මම මනාකොට පිළිපදින්නේ වෙමි’. ‘මාගේ වචන යහපත්ය, හෝ අර්ථ සහිතය, ඔබගේ වචන අර්ථ රහිතය’ පළමු කිය යුත්ත පසුව කීයෙහිය. පසුව කිය යුත්ත පළමුව කීයෙහිය. යමක් ඔබ බොහෝ කල් පුරුදු කරණ ලද නම් ඒ සියල්ල නිෂ්ඵල විය. ඔබට වාදාරොපනය කරණ ලදී. නින්දා කරණ ලද්දෙහිය. වාදයෙන් මිදෙනු පිණිස ක්‍රියා කරව. ඉදින් හැක්කෙහි නම් වාදයෙන් ගැළවෙව’ යන ආදී දේෂාරොපන කථාවෙහි යෙදී වෙසෙත්ද මෙසේ මෙබඳු දොෂාරොපන කථාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.

“එසේ සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා රජුන්ගේ, රජ මහ ඇමතියන්ගේ, ක්ෂත්‍රියන්ගේ, බමුණන්ගේ, ගෘහපතියන්ගේ සහ කුමරුන්ගේද හසුන් ගෙණ, ‘මෙතනින් අසවල් තැනට යව අසවල් තැනින් මෙහි එව, මෙය ගෙණයව, එතැනින් අසවල් දෙය ගෙණෙව’යි දූතභාවයෙහි හා හසුන් ගෙණ යෑමෙහි යෙදී වෙසෙත්ද මෙබඳු දූත භාවය, හසුන් ගෙණ යෑම යන මෙයින් වළකියිද මෙයද ඔහුගේ එක් සීලයෙකි.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා කුහකයෝද, සිවුපසය උදෙසා කථා කරන්නෝද, නිමිති කරන්නෝද නොහොත් ලාභ සත්කාර සඳහන් කරන්නෝද, පරලාභාදිය උදෙසා කියන්නෝද ලාභයකින් ලාභයක් සොයන්නෝද වෙත්. මෙබඳුවූ කුහක වංචා ප්‍රයෝග ආදියෙන් වළකියිද මෙයද ඔහුගේ එක් සීලයෙකි.”

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා සාමුද්‍රිකා ශාස්ත්‍රය, නිමිති ශාස්ත්‍රය, හෙනගැසීම ආදී මහ නිමිති බලා කියන ශාස්ත්‍රය, ස්වප්න ශාස්ත්‍රය, ලක්ෂණ ශාස්ත්‍රය, මීයන් කැපූ වස්ත්‍රාදිය බලා කියන ශාස්ත්‍රය, ගිනිදෙවියා පිදීමය, දබ්බි හොමය, ථුස හොමය, තණ්ඩුල හොමය, කණ හොමය, සප්පි හොමය, තෙල හොමය, මුඛ හොමය, ලේ හොමය, ශරීර විද්‍යා, වාස්තු විද්‍යා, නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්ති කරන්නාවූ විද්‍යා, භූත විද්‍යා, නාග විද්‍යා, විෂ විද්‍යා, ගෝනුසු විද්‍යා, මූෂික විද්‍යා, කුරුලු විද්‍යා, කපුටු විද්‍යා, ජීවිත කාලය කීම, ආයුධ වැළැක්ම, තිරිසන් සතුන්ගේ ශබ්ද දැනීම වශයෙන් පැවති මන්ත්‍රය යන පහත් විද්‍යා හේතුකොට ගෙන වැරදි ජීවිතයෙන් ජීවිකා කෙරෙත්ද මෙසේ මෙබඳු පහත් විද්‍යා හේතුවෙන් කරණ ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේද මෙයද ඔහුගේ එක් සීලයෙකි.

“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මිණි ලක්ෂණය, වස්ත්‍ර ලක්ෂණය, දණ්ඩ ලක්ෂණය, කඩු ලක්ෂණය, දුනු ලක්ෂණය, ආයුධ ලක්ෂණය, ස්ත්‍රීලක්ෂණය, පුරුෂලක්ෂණය, පිරිමිදරු ලක්ෂණය, ගෑණුදරු ලක්ෂණය, දාස ලක්ෂණය, දාසිලක්ෂණය, ඇත් ලක්ෂණය, අශ්ව ලක්ෂණය, කැස්බෑ ලක්ෂණය, එළු ලක්ෂණය, මීහරක් ලක්ෂණය, ගව ලක්ෂණය, ලොකු එළු ලක්ෂණය, කුකුළු ලක්ෂණය, වටු ලක්ෂණය, තලගොයි ලක්ෂණය, කර්ණිකා ලක්ෂණය, මුව ලක්ෂණයයි. මෙබඳු පහත් විද්‍යාවන් කරණ කොට ගෙන වැරදි ජීවිකාව කෙරෙත්ද මෙසේවූ පහත් විද්‍යාවන් නිසා කරණ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.

“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා අසවල් දිනට රජුන්ගේ බැහැර යෑම වන්නේය. අසවල් දින ඇතුළු නුවරට එන්නේය. අසවල් දින ඇතුළු නුවර රජුන් වෙත පැමිණීම වන්නේය. බැහැර රජුන්ගේ බැහැරට යෑම වන්නේය. බැහැර රජුන්ගේ ඇතුළු නුවරට ඊම වන්නේය. ඇතුළු නුවර රජුන්ගේ ආපසු යෑම වන්නේය. ඇතුළු නුවර රජුන්ට ජය වන්නේය. බැහැර රජුන්ගේ පරාජය වන්නේය. බැහැර රජුන්ගේ ජය වන්නේය. ඇතුළු නුවර රජුන්ගේ පරාජය වන්නේය. මෙසේ මොහුට ජය වන්නේය, මෙසේ පරාජය වන්නේයයි කියා මෙසේ පහත් විද්‍යා හේතුකොට ලාමක ජීවිකා කෙරෙත් මෙබඳුවූ පහත් විද්‍යා හෙතුවෙන් කරණ වැරදි ජීවිතයෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙක් වේ.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා චන්ද්‍රග්‍රහණය වන්නේය. සූර්ග්‍රහණය වන්නේය, තාරකා සමාගමය වන්නේය, සඳ හිරු දෙදෙනාගේ නියම මාර්ග ගමන වන්නේය, සඳ හිරු දෙදෙනාගේ නොමග යෑම වන්නේය, තාරකාවන්ගේ මාර්ග ගමන වන්නේය, තාරකාවන්ගේ නොමග යෑම් වන්නේය, උල්කාපාතය වන්නේය, දිසා දැවීම වන්නේය, පොළොව කම්පාව වන්නේය, අහස ගිගුරුම් වන්නේය, සඳ, හිරු තාරකාවන්ගේ නැගීම හා බැහීමද කෙළෙසීමද පිරිසිදු වීමද වන්නේය, චන්ද්‍ර ග්‍රහණය මෙබඳු විපාක ඇතිවන්නේය, සූර්යග්‍රහණය මෙබඳු විපාක ඇති වන්නේය, තාරකා සමාගමය මෙබඳු විපාක ඇතිවන්නේය චන්ද්‍ර සූර්යයන්ගේ මාර්ගයෙහි ගමන මෙබඳු විපාක ඇති වන්නේය, ඔවුන්ගේ නොමග ගමන මෙබඳු විපාක ඇති වන්නේය, තාරකාවන්ගේ මාර්ගයෙහි ගමන මෙබඳු විපාක ඇතිවන්නේය, තාරකාවන්ගේ නොමග ගමන මෙබඳු විපාක ඇතිවන්නේය, උල්කාපාතය මෙබඳු විපාක ඇතිවන්නේය, දිගුන් දැවීම මෙබඳු විපාක ඇතිවන්නේය, භූමි කම්පාව මෙබඳු විපාක ඇතිවන්නේය, අහස් ගිගුම මෙබඳු විපාක ඇති වන්නේය, සඳ, හිරු, තාරකාවන්ගේ නැගීම, බැසීම, කිලිටුවීම හා පිරිසිදු වීම මෙබඳු විපාක ඇතිවන්නේයයි’ කියා මෙසේ පහත් විද්‍යා හේතුවෙන් කරණ වැරදි ජීවිකාවෙන් ජීවිකා කෙරෙත්ද මෙසේවූ පහත් විද්‍යා හේතු කොට ගෙණ කරණ ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා ‘මනා වැසි ඇතිවන්නේය, මනා වැසි නැතිවන්නේය, යහපත් ආහාරපාන ඇතිවන්නේය, ආහාර පාන නැති වන්නේය, නිර්භය ඇතිවන්නේය, භය ඇතිවන්නේය, රොග ඇතිවන්නේය, නිරෝග බව ඇතිවන්නේයයි කීමද, ඇඟිල්ල ඇල්ලීමය, ගණන්කිරීමය, කොටස්කර ගණන්කිරීමය, කාව්‍ය කිරීමය, ලෝකයට සිදුවන දේ ගැන ශාස්ත්‍ර ඉගෙණීමයයි මෙසේ පහත් විද්‍යාවන් කරණකොට වැරදි ජීවිකා කෙරෙත්ද මෙසේවූ පහත් විද්‍යා හෙතුවෙන් වන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.

“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා ආවාහ කරවීමය, විවාහ කරවීමය, සමගිය පිළිබඳ කථාකිරීමය, වියොගය පිළිබඳ කථාකිරීමය, ධන රැස්කිරීමය, වියදම් කිරීමය, යහපත් ශ්‍රියාව ඇති කිරීමය, දුර්භගකරණය, ගර්භවිරොධි කරණය, දිව් තද කිරීමය, නූල් බැඳීමය, අත් පෙරළීම පිණිස මන්ත්‍ර ජප කිරීමය, ශබ්ද නොඇසීම පිණිස මන්ත්‍ර ජප කිරීමය, කැඩපත්හි දෙවතාරොපණයකොට ප්‍රශ්න ඇසීමය, ගෑනුදරුවන්ගේ ශරීරයෙහි දෙවතාරොපණය කොට ප්‍රශ්න ඇසීමය, දෙවදාසියගේ ශරීරයෙහි යකුන් ආරොපණය කොට ප්‍රශ්න ඇසීමය, හිරු වැඳීමය, මහබඹුට උපස්ථාන හෝ වැඳුම් කිරීමය, කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්‍රී දෙවිය කැඳවීමයයි කියන මෙබඳු පහත් විද්‍යාවෙන් වැරදි ජීවිකා කෙරෙත්ද මෙබඳුවූ පහත් විජ්ජාවෙන් කරණ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ශාන්ති කිරීම, කාර්යය සමෘද්ධි කටයුතු කර්මය, මන්ත්‍ර කිරීමය, භූරිකර්මය, පණ්ඩකයා පුරුෂයකු කිරීමය, පුරුෂයා පණ්ඩක කිරීමය, ගෙවල් නොකළ බිම් ගෙවල් කිරීමය, ගෙට සුදුසු තැන බලිකම් විධානය, දියෙන් මූන සුද්ධ කිරීමය, නැහැවීමය, ගිනි පිදීමය, වමන කරවීමය, විරේක කරවීමය, උඩු කය විරේකය, යටිකය විරේකය, හිස විරේකය, කන්තෙලය, ඇස් බෙහෙත් ගැල්වීමය, නස්‍ය කිරීමය, අඳුන් ගෑමය, සිසිල් බෙහෙත් අඳුන් සෑදීමය, ආයුධ කටු ගසා කරන වෙදකමය, ශල්‍යකර්මය, ළදරුවන් පිළිබඳ වෙදකම්ය, මූලික බෙහෙත් දීමය, සැරබෙහෙත් දී පසුව එහි බල හැරීමය කියා හෝ මෙබඳු පහත් විද්‍යා කරණකොට වැරදි ජීවත්වීමෙන් ජීවිකා කෙරෙත්ද මෙබඳුවූ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්මක් නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.

“තරුණය, මෙසේ ශීල සම්පන්නවූ භික්ෂුහට භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ඔහුගේ සීලසංවරය හෙතු කොට ගෙණ කිසිතැනකදී නොඋපදනේය, කුමක් මෙන්ද යත්: තරුණය, ක්ෂත්‍රියාභිෂෙකයෙන් මුදුනෙහි අභිෂෙක ලද්දාවූ, සතුරන් නැති කළාවූ ක්ෂත්‍රීය රජෙක් කිසියම් සතුරෙකුගෙන් කිසි භයක් නොදක්නේද, එපරිද්දෙන්ම, තරුණය, ශීලසම්පන්නවූ භික්ෂුතෙමේ භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ශීලසංවරය හෙතුකොට කිසි තැනකදී නොදක්නේය. ආර්යවූ (උතුම්වූ) මේ සීල රාශියෙන් යුක්තවූ ඒ භික්ෂුතෙම, තමන් තුළ පිරිසිදුවූ (කායික චෛතසික) සැපය විඳියි. ඇවැත්නි, මෙසේ දැක්වූ සීලයෙන් යුක්තවූ භික්ෂුව සීලසම්පන්න නම් වේ.

“ඒ භාග්‍යවතුන් වහන්සේ යම් සීල සමූහයක ගුණ කියන ස්වභාව ඇතිවූයේද, යම් සීලයක මේ ජනසමූහයා යෙදෙව්වේද, තැන්පත් කරවූයේද, පිහිටුවූයේද, මේ ඒ උතුම් සීල සමූහයයි. මෙහි මෙයින් මත්තෙහි කටයුතුවූ වෙන දෙයක්ද ඇත්තේමය.”

“පින්වත් ආනන්ද තෙරුන්වහන්ස, පුදුමයක් වේ. පින්වත් ආනන්ද තෙරුන්වහන්ස, ඉතා පුදුමයක් වේ, පින්වත් ආනන්ද තෙරුන්වහන්ස, ඒ මේ උතුම්වූ සීල සමූහය, සම්පූර්ණවෙයි. අසම්පූර්ණ නොවෙයි. පින්වත් ආනන්ද තෙරුන්වහන්ස, මෙසේ හාත්පසින් පිරුණාවූ උතුම්වූ සීල රාශියක් මේ බුද්ධශාසනයෙන් පිටත අන්‍යවූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතුරෙහි මම නොදැක්කෙමි. පින්වත්, ආනන්ද තෙරුන් වහන්ස, මෙසේ සම්පූර්ණවූ උසස් සිල් සමූහයක් මේ බුද්ධ ශාසනයෙන් පිටත අන්‍යවූ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් තමන් තුළ දක්නාහු නම් ඔහු එපමණකින්ම සෑහීමට පැමිණෙයි. මෙපමණකින්ම කරණ ලද්දේය. අපට ශ්‍රමණභාවයේ අර්ථය පැමිණියේය. අප විසින් කටයුතු කිසිවක්ද නැත කියා එපමණකින්ම සතුටු සිත් ඇතිවන්නාහුය. නැවතද පින්වත් ආනන්ද තෙරුන්වහන්සේ මෙසේ කීයේය. “මෙහි මෙයින් මත්තෙහිද කටයුතුවූ අනිකෙක් ඇත්තේමය.”

(පළමුවෙනි බණ වරයි.)

සමාධික්ඛන්ධො

“පින්වත් ආනන්ද තෙරුන් වහන්ස, ඒ භවත් ගෞතමයාණන් වහන්සේ යමෙකුගේ ගුණ කියන ස්වභාව ඇත්තේද, යම් දෙයක මේ ජනසමූහයා යෙදෙව්වේද තැන්පත් කරවූයේද, පිහිටුවූයේද ඒ උතුම් සමාධි සමූහය කවරේද?”

“තරුණය, භික්ෂුව කෙසේ නම් ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තේද? තරුණය, මේ සස්නෙහි භික්ෂු තෙමේ, ඇසින් රූපයක් දැක එහි නොඇලේද එහි නොපෙළඹෙන්නේද ඇස් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදීද, ඔහු තමාගේ ඇස් ඉන්ද්‍රියය රකී, ඇස් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කනින් ශබ්දයක් අසා එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. කන් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී තමාගේ කන් ඉන්ද්‍රියය රකී, කන් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ නාසයට ගඳ සුවඳ දැනී එහි නොඇලේ.

එහි නොපෙළඹෙන්නේය. නාස් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ නාස් ඉන්ද්‍රියය රකී. නාස් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. දිවෙන් රසයක් විඳ එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. දිව් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල් වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ දිව් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කයින් ස්පර්ශයක් ස්පර්ශකොට එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. ස්පර්ශ ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ ස්පර්ශ ඉන්ද්‍රියය රකී. ස්පර්ශ ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. සිතින් (ධර්මයක්) අරමුණක් දැන එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. සිත් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට යමක් නිසා දැඩි ආසාව හා කලකිරීම ආදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. හෙතෙම සිත් ඉන්ද්‍රිය රකී. සිත් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. එබඳුවූ භික්ෂුව උතුම්වූ ශීල රාශියෙන් යුක්තවූයේ අභ්‍යන්තරයෙහි පිරිසිදුවූ අධිචිත්ත සැපය විඳියි. තරුණයා, මෙසේවූ භික්ෂු තෙමේ ඉන්ද්‍රියයන්හි වසනලද දොරටු ඇත්තේ වේ.

“තරුණය, භික්ෂුව කෙසේ නම් සිහියෙන් හා මනා ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද?

“තරුණය, මේ සස්නෙහි භික්ෂුතෙම ඉදිරියට යෑමෙහිද, ආපසු යෑමෙහිද, නුවණින් දැන කරන්නේය. ඉදිරි බැලීමෙහිද, වටපිට බැලීමෙහිද නුවණින් දැන බලන්නේය. අත් පා හැකිලීමෙහිද, දිගු කිරීමෙහිද, මනා නුවණින් දැන එසේ කරන්නේය. දෙපට සිවුරය, පාත්‍රය, සිවුරුය යන මේ දේ දැරීමෙහිදී මනා නුවණින් දැන එසේ කරන්නේය. අනුභව කිරීමය, පානය කිරිමය, වැළඳීමය, රස විඳීමය යන මෙහිද මනා නුවණින් යෙදී එසේ කරන්නේය. මළ මූත්‍ර පහකිරීමද නුවණින් (ආදීනව) සලකා කරන්නේය. යෑම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොරකිරීම්, කථාකිරීම්, නිශ්ශබ්දව සිටීම යන මේ දේ මනා නුවණින් දැන කරන්නේය. තරුණය, මෙසේ කරන්නාවූ භික්ෂු තෙමේ සිහියෙන් යුක්තවූයේ යහපත් නුවණින් යුක්ත වූයේ වෙයි.

“තරුණය, භික්ෂු තෙමේ කෙසේ සතුටු වූයේ වේද?

“තරුණය, භික්ෂුතෙමේ යන්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද, ආරක්ෂාවට ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද, සතුටු සිත් ඇත්තේ වේ. ඔහු යම් යම් තැනකට යේ නම් අටපිරිකර (කය පිළිබඳවූ දේ) පමණක් ගෙන යයි. තරුණය, යම් සේ පක්ෂියෙක් යම් තැනෙක පියාඹා යේ නම් ඒ සියලු තැන පියාපත් බර පමණකින් යුක්තව පියාඹා යේද, තරුණය, එපරිද්දෙන්ම භික්ෂු තෙමේද ශරීරය ආරක්ෂාවට ප්‍රමාණවූ සිවුරෙන්ද බඩ ආරක්ෂාවට ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද සතුටු වන්නේ වේ. ඔහු යම් තැනක යා නම් අටපිරිකර පමණක් රැගෙණ බැහැර යයි. තරුණය, මෙසේවූ භික්ෂු තෙමේ සන්තෝෂයෙන් යුක්ත වේ.

“උතුම්වූ මේ සීලසමූහයෙන් යුක්තවූද උතුම්වූ මේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සතිසම්පජඤ්ඤයෙන් යුක්තවූද, මේ උතුම්වූ සන්තෝෂයෙන් යුක්තවූද, ඒ භික්ෂු තෙමේ කැලයද, ගහක් මුලද, කඳු පලාත්ද, කඳුරැලි ගල්ගුහාවන් හෝ මහා මගද, සොහොන්ද, ඉතා දුරවූ කැලෑ වාසස්ථානද, බොහෝ ඉඩකඩ ඇති තැන් සහ තණ ගුහාද යන මේ ස්ථාන ආශ්‍රය කෙරේද, ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාත ආහාරයෙන් වැළැක්කේ, පර්යංකය බැඳ, කකුල් අකුලුවා හිඳ ශරීරයේ උඩු කොටස කෙලින් තබා අරමුණට සිහිය එළවා හිඳී.

“ඔහු ලොකයෙහි ලොභය පහකොට ලොභ රහිත සිතින් යුක්තව වාසය කෙරේද ලොභ සිත වෙන් කොට පිරිසිදු කෙරේ. සිත කෙලසන්නාවූ ක්‍රොධය පහකොට, ක්‍රොධයෙන් දුරුවූ සිත් ඇතිව පණ ඇති සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කෙරේද, ක්‍රොධ දොෂයෙන් වෙන්ව සිත පිරිසිදු කෙරේද, කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරුකොට කය-සිත පිළිබඳ පහවූ අලස බව ඇත්තේ පිරිසිදු හැඟීම් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව වෙසේද, අලස බව දුරුකොට සිත පිරිසිදු කෙරේද, උඩඟු බව හා කුකුස දුරුකොට, සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේද, ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ, සිත උඩඟු බව හා කුකුසෙන් පිරිසිදු කෙරේද, විචිකිච්ඡාව (සැකය) දුරුකොට, පහකළ විචිකිච්ඡා ඇත්තේ කුශලධර්ම විෂයෙහි සැක නැතිව වෙසේද, විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේද,

“තරුණය, යම්සේ පුරුෂයෙක් ණය ගෙන කර්මාන්තයන්හි යොදන්නේද, ඔහුගේ ඒ කර්මාන්තයෝ දියුණුවන්නාහු නම් ඔහුගේ ඒ පරණ ණය මුදල් සියල්ලම ගෙවන්නේය. ඔහුගේ අඹුදරුවන් ආරක්ෂා කරණ පිණිස වැඩි යමක් ඉතුරු වූයේ නම් ඔහුට මෙබඳු අදහසක් ඇතිවේ. ‘මම පළමුවෙන් ණය ගෙණ කර්මාන්තයන්හි යෙදුවෙමි. ඒ මාගේ කර්මාන්තයෝ දියුණුවූහ. ඒ මම පැරණි ණය ගෙවූයෙමි. අඹුදරුවන් පෝෂ්‍යය කිරීම පිණිස අතිරේක මුදලක්ද මට ඇත්තේය කියායි. හෙතෙම ඒ ණය නැති බව මුල්කොට ගෙණ බලවත් සතුටක් ලබන්නේය. සතුටටද පැමිණෙන්නේය.

“තරුණය, යම්සේ රෝගයෙන් පෙළෙන දුක් ඇත්තාවූ, දැඩි ගිලන්බව ඇති පුරුෂයෙක් වන්නේද, ඔහුට ආහාර රුචි නොවන්නේද, ඔහුගේ ශරීරයෙහි කිසි ශක්තියක් නැත්තේද වෙයි. ඒ පුරුෂයා පසු කාලයක ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහුට ආහාර රුචිය ඇති වන්නේ නම්, ඔහුගේ ශරීර බලය ඇති වන්නේ නම්, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. කෙබඳුද යත්: ‘මම පෙර ආබාධ ඇත්තාවූ, දුක් ඇති, දැඩි ගිලන් බව ඇති කෙනෙක් වීමි. මට බත් රුචියද නොවීය, ශරීර බලයද නැතිවිය, ඒ මම පළමු තිබූ ආබාධයෙන් මිදුනෙමි. මට ආහාර රුචියද ඇත්තේය. කාය බලයද තිබේය’ කියායි. ඔහු ඒ කාරණය මුල්කොට බලවත් සතුටක් ලබන්නේය, සොම්නසටද පැමිණෙන්නේය.

“තරුණය, යම්සේ පුරුෂයෙක් සිරගෙයි බැඳුනේ වේද, ඔහු පසු කලක පීඩා නැතුව සැපසේ ඒ සිරගෙයින් මිදෙන්නේය. ඔහුගේ කෑම පිළිබඳ කිසිත් වියදමක්ද නොවන්නේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය එනම්, මම පෙර සිරගෙයි බැඳුනෙක් වූයෙමි. ඒ මම දැන් පීඩා රහිතව සැපසේ ඒ සිරගෙයින් මිදුනෙමි. මගේ කෑම පිළිබඳ කිසි වියදමක්ද නොවූයේය’ කියායි. ඔහු සිරගෙයින් මිදීම නිමිති කොට බලවත් සතුටක් ලබන්නේය. සතුටට පැමිණෙන්නේය.

“තරුණය, යම් සේ සිය කැමැත්තෙන් යමක් කරන්ට නොහැකි, අනුන්ට යටත්වූ, තමා කැමති ගමනක් ඒ වූ පරිදි යා නොහැකි, වැඩකරුවෙක් (දාසයෙක්) වන්නේද, ඔහු පසු කලක ඒ දාසභාවයෙන් මිදෙන්නේ, තමාම අධිපතිකොට ඇත්තේ, අනුන්ට යටත් නොව තමාගෙන්ම යැපෙන්නේ, සිය අදහස් පරිදි ඒ ඒ තැන යා හැකි වන්නේද, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම්, මම පෙර සිය කැමැති පරිදි යමක් කරන්ට නොහැකි, අනුන්ට යටත් මා අදහස් පරිදි කිසි තැනෙක යා නොහැකි දාසයෙක් වීමි. ඒ මම දැන් ඒ දාස භාවයෙන් මිදුනෙක්මි. තමා අධිපති කොට ඇත්තෙක් වීමි. අනුන්ට යටත්නූන කෙනෙක් වීමි. අනුන්ට යටත් නොව මා සපයාගත් දෙයින්ම යැපෙන්නෙමි, මා අදහස් පරිදි ඒ ඒ කැමති තැනෙක යා හැක්කේද වෙමි’යි කියායි. ඔහු ඒ දාසභාවයෙන් මිදීම හෙතුකොට බලවත් සතුටක් ලබන්නේය. එසේම සතුටටද පැමිණෙන්නේය.

“තරුණය, යම්සේ ධනවත්වූ භොග සම්පත් ඇති පුරුෂයෙක් ආහාර දුර්ලභවූ, භය සහිතවූ, දීර්ඝවූ කාන්තාර මාර්ගයකට පැමිණෙන්නේද, ඔහු මද කලකින් ඒ කාන්තාර මාර්ගය ඉක්මවා යන්නේ සොර සතුරන්ගෙන් පීඩා නැති ගම්මානයකට සැපසේ ක්‍රමයෙන් පැමිණෙන්නේද, ඔහුට මෙබඳු අදහසක් ඇතිවේ. එනම්: මම පෙර ධනවත් වූයෙම්. භොග සම්පත් සහිත වූයෙම්. දුර්ලභ භික්ෂා ඇති භය සහිතවූ, දීර්ඝවූ කාන්තාර මාර්ගයකට පැමිණියෙක් වූයෙමි. එසේවූ මම දැන් එම කාන්තාර මාර්ගය පසුකෙළෙමි. සැපවත්වූ භය රහිතවූ, ගමකට සැපසේ ක්‍රමයෙන් පැමිණියෙමි’යි කියායි. ඒ පුරුෂයා ඒ කාන්තාර මාර්ගය එතර කිරීම නිමිති, කොට බලවත් සතුටක් ලබන්නේය, එසේම සතුටටද පැමිණෙන්නේය.

“මාණවකය ණය යම්සේද, රෝගය යම්සේද, හිරගේ යම්සේද, දාසභාවය යම්සේද, දීර්ඝ කාන්තාර මාර්ගය යම්සේද, එපරිද්දෙන් භික්ෂු තෙමේ පහනොකළ (පඤ්චනීවරණ) කුසල් වලක්වන කරුණු පහ තමා කෙරෙහි ලා නුවණින් දකීද

මාණවකය, ණය නැති බව යම්සේද, නිරෝගි බව යම්සේද, සිරගෙන් මිදීම යම්සේද, අනුන්ට යටහත් නැති බව යම්සේද, භය නැති භූමිය යම්සේද, එපරිද්දෙන්ම මාණවකය, භික්ෂු තෙමේ පහකළාවූ මේ කුසල් වළක්වන කරුණු පහ තමන් තුළ නැති බව නුවණින් දක්නේය.

“පහකළාවූ මේ කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි නැතැයි නුවණින් දක්නාවූ ඒ භික්ෂුහට සතුටු ආකාරය උපදී සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසහගත සිත් ඇත්තහුගේ නාම කය (වේදනාදී ස්කන්ධ හතර) සංසිඳෙයි සංසිඳිනු කය ඇති තැනැත්තේ කායික චෛතසික සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධියට (එකඟ බවට) පැමිණෙයි.

“ඒ භික්ෂු තෙමේ වස්තුකාම ක්ලෙශකාමයන්ගෙන් වෙන් වූයේම, අකුශල ධර්මයන් කෙරෙන්ද වෙන් වූයේම අරමුණෙහි සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම සහිතවූ, සිතෙහි විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති, පළමුවෙනි ධ්‍යාන කුසල චිත්තය තමා තුළ ඉපදවීම් වශයෙන් ඊට පැමිණ එම ධ්‍යානයෙහි වාසය කෙරෙයි. ඔහු විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් යම් (සකල) ශරීරයම සැපවත් කෙරෙයි. සම්පූර්ණයෙන් පුරවයි. සැමතන්හි පතුරුවයි. ඒ ඔහුගේ පළමුවෙනි විවේකයෙන් උපන් ප්‍රීති සැපයෙන් සකල ශරීරයෙහිම පළමුවෙනි ධ්‍යානයෙන් යුත් සැපය පැතිරෙයි.

“තරුණය, යම්සේ දක්ෂවූ ස්නාන ද්‍රව්‍ය සපයන්නෙක් හෝ ඔහුගේ අතවැස්සෙක් හෝ ස්නානයට ගන්නාවූ සුණු ලොහ තලියක බහා දිය ඉසිමින් අතින් අනමින් පිඩු කරන්නේද, එවිට ඒ මේ ස්නාන කුඩු ගුලිය දියෙන් යුක්ත වේ, ජලය හාත්පසින් කාවැදුනේ වේ. එහි ඇතුළත හා පිටතද සියලු තන්හිම ජලයෙන් පහස්නා ලද්දේ වේ. එහෙත් බින්දු වශයෙන් ජලය ඉන් නොවැගිරේද.

“තරුණය, එපරිද්දෙන් ඒ භික්ෂු තෙමේ, විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් මේ ශරීරය තෙමයි. හාත්පසින් තෙමයි සම්පූර්ණයෙන් පුරවයි, සැමතන්හි පතුරුවයි. ඔහුගේ සියලු ශරීරයෙහි විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් පැතිරෙයි. මෙයද ඒ භික්ෂුගේ සමාධිය වෙයි.

“තරුණය, නැවතද භික්ෂුතෙමේ අරමුණෙහි සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම යන මොවුන්ගේ සන්සිඳීමෙන් අද්ධ්‍යාත්මයෙහි මනා පැහැදීම කරන්නාවූ, සිත පිළිබඳ එකඟ බව ඇති, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කරයි. ඒ මහණ තෙමේ මේ කය සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් තෙමයි. හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි, හාත්පසින් ස්පර්ශ කරයි. ඒ මහණහුගේ සියලු ශරීරයෙහි දෙවැනි ධ්‍යානයෙන් සැප පැතිරේ.

“තරුණය, යම්සේ ඇතුළතම හටගත් ජලය ඇති දියවිලක් වේද ඒ විල පිළිබඳ පෙර දිගින්ද, අපර දිගින්ද, උතුරු දිගින්ද, දකුණු දිගින්ද, දිය එන මගක් නැත්තේ වේද වැස්සද කලින් කල මනාසේ වැසි වැසීම් නොකරන්නේද, එසේවූ ඒ විලෙන් සිහිල් දිය දහර පොළොව බිඳ නැගී ඒ මුළු විලම සිහිල් දියෙන් පතුරුවයි, හාත්පසින් වගුරුවයි, සම්පූර්ණයෙන් පුරවයි. එහි හැම තැන දියෙන් ස්පර්ශ කෙරෙයි. ඒ සියලු විලෙහි සීත ජලය නොපැතිර පවත්නා තැනක් නම් නැත්තේය. බමුණ, එපරිද්දෙන් මේ භික්ෂු තෙමේ මේ මුළු ශරීරයම සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් සියලු තැන පතුරුවන ලද්දක් කෙරේ, ප්‍රීති සැපයෙන් හාත්පසින් වගුරුවයි, සම්පූර්ණයෙන් පුරවයි, ඉන් සැමතැනම ස්පර්ශ කෙරෙයි ඒ මහණහුගේ සම්පූර්ණ ශරීරයෙහි දෙවෙනි ධ්‍යාන සැපයෙන් පැතිරෙයි. මෙයද භික්ෂුවගේ සමාධියකි.

“නැවතද තරුණය, ඒ භික්ෂු තෙමේ ප්‍රීතියෙහි නො ඇල්මෙන් මැදහත් බැව් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ කයින්ද සැපයක් විඳියි. යම් ධ්‍යානයක් පිළිබඳව (උපේක්ෂා) සැප දුක් දෙකට මැදහත් විඳීම ඇත්තේ, සිහි ඇත්තේය. සැපයෙන් විසීම ඇත්තේයයි ආර්යයෝ කියත්ද ඒ තුන්වැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කෙරේ. ඒ භික්ෂු තෙමේ මේ සියලු තැන පැතිර පවත්නා සැප ඇත්තක් කෙරේද ඒ සැපතින් හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි. එයින් සැමතැනම පැතිරෙයි. ඒ භික්ෂුහුගේ සියලු ශරීරයෙහි තුන්වැනි ධ්‍යාන සැපයෙන් පැතිරෙයි.

“තරුණය, යම්සේ නිල්මානෙල් විලක හෝ සුදු නෙළුම් විලක හෝ රතු නෙළුම් විලක හෝ දියෙහි හටගත්, දියෙහි වැඩුනු දියෙන් උඩට නොනැගුනු, දියතුලම ගැලී වැඩෙන්නාවූ සමහර නිල් මානෙල් හෝ සමහර සුදු නෙළුම් හෝ සමහර රත් නෙළුම් හෝ වෙද්ද, ඒ නිල් මානෙල් ආදීහු අග දක්වාත්, මුල දක්වාත්, සිහිල් ජලයෙන් තෙමුනාහු, හාත්පසින් තෙමුනාහු, සම්පූර්ණයෙන් වැගුරුණාහු, හාත්පසින් ස්පර්ශ ලද්දාහු වෙත්ද, ඒ නිල්මානෙල් සුදු නෙළුම් රත් නෙළුම්, යන මොවුන්ගෙන් එකකුත් ජලයෙන් නොපහස්නා ලද්දේ නොවේද තරුණය, එපරිද්දෙන් ඒ භික්ෂු තෙමේ මේ මුළු ශරීරයම දුරුකළ ප්‍රීතිය ඇති සැපයෙන් සියලු තැන පැතිර පවත්නා සැප ඇත්තක් කෙරෙයි, ඉන් හාත්පසින් තෙමෙයි. සම්පූර්ණයෙන් පුරවයි. හාත්පසින් ස්පර්ශ කෙරෙයි. ඔහුගේ සම්පූර්ණ ශරීරයෙහි ප්‍රීතිනැති තුන්වැනි ධ්‍යානයෙන් පැතිරයයි.

තරුණය, මෙයද ඒ භික්ෂුවගේ සමාධියකි.

“නැවතද තරුණය, ඒ මහණ තෙමේ සැප දුරුකිරීමෙන්ද, දුක් දුරු කිරීමෙන්ද, පළමුකොටම සැපදුක් වේදනා නැතිව යාමෙන් දුක්ද නොවූ, සැපද නොවූ, උපෙක්ඛා-සති යන මොවුන්ගේ පිරිසිදු බැව් ඇති, හතරවෙනි ධ්‍යාන (කුසල) චිත්තයට පැමිණ වාසය කෙරේ. ඒ මහණ තෙමේ මේ සකල ශරීරයම, පිරිසිදුවූ, අතිශයින් බබලන (ධ්‍යාන) සිතින් පතුරුවන්නේය. ඒ ධ්‍යානලාභී භික්ෂූන්ගේ සම්පූර්ණ ශරීරයෙහි පිරිසිදුවූ, අතිශයින් බබලන්නාවූ හතරවැනි ධ්‍යාන සිතින් පැතිර යයි.

“තරුණය, යම්සේ කිසියම් පුරුෂයෙක් පිරිසිදුවූ සුදු ඇඳුමකින් හිස සිට පොරවා උන්නේ වේද, ඔහුගේ මුලු ශරීරයෙහි එකම තැනකුදු සුදුවතින් නොවසන ලද්දේ නොවේ. බමුණ, එපරිද්දෙන්ම ධ්‍යානලාභී භික්ෂු තෙමේ මේ සියලු ශරීරයම පිරිසිදුවූ, අතිශයින්ම බබලන්නාවූ හතර වැනි ධ්‍යාන සිතින් පතුරුවා හුන්නේ වේ. ඒ භික්ෂුහුගේ සියලු ශරීරයෙහි පිරිසිදුවූ, බබලන්නාවූ හතර වැනි ධ්‍යාන සිතින් පැතිරයයි.

තරුණය, මෙයද ඒ භික්ෂුවගේ සමාධියකි.

“තරුණය, භාග්‍යවතුන් වහන්සේ යම් සමාධි සමූහයක ගුණ කියනසේක්ද මේ වනාහි ඒ සමාධි සමූහයයි. මෙහි මේ ජනසමූහයා යෙදවූසේක, තැන්පත් කරවූසේක. මෙහි මෙයින් මත්තෙහි කටයුතු අනිකක්ද ඇත්තේය.

පින්වත් ආනන්ද තෙරුන් වහන්ස, පුදුමයක්වේ. පින්වත් ආනන්ද තෙරුන්වහන්ස, ඉතා පුදුමයක්වේ. පින්වත් ආනන්ද තෙරුන්වහන්ස, මේ උතුම් සමාධි සමූහය සම්පූර්ණ වෙයි. අසම්පූර්ණ නොවෙයි. පින්වත් ආනන්ද තෙරුන්වහන්ස, මෙසේ හාත්පසින් පිරුණාවූ උතුම්වූ සමාධි සමූහයක් මේ බුද්ධ ශාසනයෙන් පිටත අන්‍යවූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතුරෙහි මම නොදැක්කෙමි. පින්වත් ආනන්ද තෙරුන් වහන්ස, මෙසේ සම්පූර්ණවූ උසස් සමාධි සමූහයක් මේ බුද්ධ ශාසනයෙන් පිටත අන්‍යවූ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් තමන් තුළ දක්නාහු නම් ඔහු එපමණකින්ම සෑහීමට පත්වෙයි. මෙපමණකින්ම කරන ලද්දේය. අපට ශ්‍රමණ භාවයේ අර්ථය පැමිණියේය. අප විසින් කටයුතු කිසිවක් නැත කියා එපමණකින්ම සතුටු සිත් ඇති වන්නාහුය. එසේ තිබියදීත් ආනන්ද තෙරුන්වහන්සේ මෙහි මෙයින් මත්තෙහි කටයුතු අනිකක් ඇත්තේයයිද කියත්.

පඤ්ඤාක්ඛන්ධො

පින්වත් ආනන්ද තෙරුන්වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් ප්‍රඥා සමූහයක ගුණකියනසේක්ද මේ ජනසමූහයා පිහිටුවනසේක්ද තැන්පත් කරනසේක්ද ඒ උතුම්වූ ප්‍රඥා සමූහය කවරේද?

“නැවතද, තරුණය, ඒ භික්ෂු තෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, විදර්ශනාඥානය ඉපදවීම පිණිස සිත එලවා තබයි. ඒ සඳහා වෙසෙසින් සිත නමයි. ඔහු මෙසේ දැනගණී, ‘මාගේ මේ ශරීරය වනාහි රූපයෙන් යුක්තය. සතර මහාභූතයන්ගේ හේතුවෙන් හටගත්තේය. මවුපියන් නිසා හටගත්තේය. ආහාරයෙන් වඩනා ලද්දේය. අනිත්‍ය බවය, ඇඟ ඉලීමය, පිරිමැදීමය, බිඳීමය. විනාශය යන මේ දේ ස්වභාවකොට ඇත්තේය. මාගේ මේ විඤ්ඤාණය ශරීරය ආශ්‍රය කෙරේ මෙහිම බැඳුනේ වෙයි’ කියායි.

“තරුණය, යම්සේ යහපත්වූ, පිරිසිදු ආකරයෙන් උපන්නාවූ අටැස්වූ, ගල් ආදී දොස් බැහැර කිරීමෙන් හොඳ ලෙස සකස් කරණ ලද්දාවූ, නිර්මලවූ, විශෙෂයෙන් ප්‍රසන්නවූ, කැලැල් නැතිවූ, සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, වෛඪූර්ය මැණිකක් වේද, එහි නිල්වූ හෝ කහපාටවූ හෝ රතුවූ හෝ සුදුවූ හෝ පඬුවන්වූ හෝ නූලක් අමුණන ලද්දේද, ඒ මේ මැණික ඇස් ඇති පුරුෂයෙක් අතට ගෙණ මෙසේ සලකා බලන්නේය. මේ වෛඪූර්ය මැණික මනාසේ කාන්තිමත් හෙයින් යහපත් වේ. පිරිසිදු ආකාරයෙන් උපන්නේය. අටැස් ඇත්තේය. දොස් දුරුකිරීමෙන් මනාකොට සකස් කරන ලද්දේය. නිර්මලය, විශෙෂයෙන් ප්‍රසන්නය, කැලැල් නැත, සියලු ආකාරයෙන් සම්පූර්ණය, ඒ මැණිකෙහි මේ නීලවර්ණ හෝ කහපාටවූ හෝ රතුවූ හෝ සුදුවූ හෝ පඬුවන්වූ හෝ නූලක් අමුණන ලද්දේය කියායි.

“තරුණය, එපරිද්දෙන්ම යෝගීවූ මේ භික්ෂු තෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලෙශයන් ඇතිවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, කම්පානොවන බවට පැමිණි කල්හි, විදර්ශනාඥානය පිණිස සිත එලවා තබයි. ඒ සඳහා විශේෂයෙන් සිත නමයි. ඒ භික්ෂු තෙමේ මෙසේ දන්නේය. කෙසේදයත්, මාගේ මේ ශරීරය වනාහි රූපයෙන් යුක්තවේ සතර මහාභූතයන්ගෙන් හටගත්තේය. මවුපියන් නිසා හටගත්තේය. ආහාරයෙන් වඩනා ලද්දේය. අනිත්‍ය බවය, ඉලීමය, පිරිමැදීමය, බිඳීමය, විනාශය යන මේ ස්වභාවකොට ඇත්තේය. මාගේ මේ විඤ්ඤාණය මේ ශරීරය ආශ්‍රය කෙළේ වෙයි. මෙහිම බැඳී සිටියේය’ කියායි.

මෙයද ඒ භික්ෂුවගේ එක් ප්‍රඥාවකි.

“ඔහු මෙසේ ධ්‍යානයෙන් සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් නැතිවූ කල්හි, ක්ලෙශ පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, නො සැලෙන බවට පැමිණි කල්හි, මනොමයවූ රූපයක් මනා කොට නිපදවීම පිණිස සිත එලවා තබයි, වෙසෙසින් නමයි. ඔහු ආකාර වත්වූ, මනොමයවූ (ධ්‍යාන සිතින් නිපදවනලද) ශරීරය හා අත පය ආදී අවයව ඇති, විකලනුවූ ඉඳුරන් ඇති, මේ ශරීරයෙන් අන්‍යවූ ශරීරයක් හොඳ ලෙස සාදයි,

“තරුණය, යම්සේ පුරුෂයෙක් මුදු තණ ගසින් තණබඩය උදුරා ගැනීම කරන්නේද, මේ තණ ගසය, මේ තණ බඩය, තණගස අනිකෙක, තණබඩය අනිකෙක තණ ගසින්ම තණබඩය ඇදගන්නා ලද්දේය, තනන ලද්දේය යන වැටහීම ඕහට පහළ වන්නේය.

“තරුණය, යම්සේ පුරුෂයෙක් කඩුව කොපුවෙන් ඉවත් කරන්නේද ඔහුට මෙබඳු අදහසක් වන්නේය. මේ කඩුවය මේ කොපුවය, කඩුව අනිකෙක, කොපුව අනිකෙක, කොපුවෙන් කඩුව ඉවත් කරණ ලද්දේය’ කියායි.

“තරුණය, යම් පුරුෂයෙක් සර්පයෙකු සැවයෙන් පහ කරන්නේද ඕහට මේ සර්පයාය, මේ සැවය, සර්පයා එකෙකි. සැවය අනිකකි, සැවයෙන් සර්පයා වෙන්කරන ලද්දේයයි වැටහීමක් ඇතිවන්නේය.

“තරුණය, එසේම භික්ෂුතෙමේ මෙසේ සිත සමාධිගතවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, සිතින් උපදවන කය මැවීම පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට ඊට නමයි. ඔහු මේ කයින් රූ ඇති, සිතින් මවනලද, සියලු ශරීරය සහ අතපය ආදී අවයව ඇති, නොපිරිහුනු ඉන්ද්‍රිය ඇති වෙන කයක් මවයි.

තරුණය, මෙයද භික්ෂුවගේ ප්‍රඥාවකි.

“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමසිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි නැවතීමට පැමිණි කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, ඍද්ධිවිධි පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු නොයෙක් අයුරු ඇති ඍද්ධිවිධි වෙන් වෙන් කොට දක්වයි. එකෙක්ව බොහෝ සේ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට පර්වතය හරහට නොහැපෙමින් යයි දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම් මතුවීම් කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිඳගෙනම යෙයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභව ඇති සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි, මඹ ලොව තෙක් ශරීරයෙන් වසඟ බව පවත්වයි.

“මාණවකය, දක්ෂ කුඹල්කරුවෙක් හෝ කුඹල්කරු අතවැසියෙක් හෝ යහපත්සේ පදම් කළ මැටියෙන් කැමති කැමති වලන් ආදී වර්ගයන් යම්සේ කරන්නේද, නිපදවන්නේද, තරුණය, දළ කැටයම් කරුවෙක් හෝ අතවැසියෙක් හෝ සකස් කළ දළයෙහි යම්සේ කැමති කැමති දළ කැටයම් වර්ගයක් කරන්නේද, නිපදවන්නේද, තරුණය, දක්ෂ රන්කරුවෙක් හෝ රන්කරු අතවැසියෙක් හෝ පදම්කළ රණින් කැමති කැමති රන් අබරණ ජාතීන් යම්සේ කරන්නේද, නිපදවන්නේද-තරුණය, එසේම භික්ෂුව සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, ඍද්ධිවිධි පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ නොයෙක් ඍද්ධි විධි වෙන් වෙන් කොට දක්වයි. එකෙක්ව බොහෝ සේ වෙයි, බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට අහසෙයි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වත හරහට නොහැපෙමින් යෙයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම්, මතුවීම් කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කරයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිඳගෙනම යෙයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති, සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹලොව තෙක් ශරීරයෙන් වසඟ බව කෙරෙයි. මෙයද ඔහුගේ ප්‍රඥාවකි.

ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, දිව්‍ය කණ සම්බන්ධ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඒ භික්ෂුව පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ දිව්‍යමය කණ සම්බන්ධ ඥාණයෙන් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරෙහිවූද, සමීපයෙහිවූද, දෙයාකාර ශබ්දයන් අසයි.

“මාණවකය, දික් මගට පැමිණි පුරුෂයෙක් බෙර හඬද මිහිඟු බෙර හඬද, සක්, පණාබෙර, ගැටබෙර හඬද, යම්සේ අසාද, ඔහුට මේ බෙරහඬ යයිද, මිහිඟු බෙරහඬයයිද, සක්, පණාබෙර, ගැටබෙර හඬයයිද සිතෙන්නේය. තරුණය, එලෙසින්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලෙශ පහවූ ක්ලේශයන් ඇති කල්හි, මෘදුවූ කල්හි, ස්ථිර බවට පැමිණි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, දිව්‍ය කණෙන් ලබන ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු මෙසේ පිරිසිදුවූ මිනිස් කණ ඉක්මවූ දිව්‍ය කණ සම්බන්ධ ඥානයෙන් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද දුරෙහිවූද, සමීපයෙහි වූද, දෙයාකාර ශබ්දයන් අසයි. මෙයද ඔහුගේ ප්‍රඥාවකි.

“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, පහවූ ක්ලෙශ ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුවූ කල්හි, ස්ථිර බවට පැමිණි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පර සිත් දැනගන්නා ඤාණය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දනියි. රාග සහිත සිත රාග සිතයයි දනියි. රාගය පහවූ සිත රාගයෙන් තොරවූ සිතයි දනියි. ද්වෙෂ සහිත සිත දොස සිතයයි දනියි ද්වෙෂය පහවූ සිත ද්වෙෂයෙන් තොරවූ සිතයයි දනියි. මොහ සහිත සිත මොහ සිතයයි දනියි, මොහය පහවූ සිත මොහයෙන් තොරවූ සිතයයි දනියි. හැකුලුනු සිත හැකුලුනු සිතයයි දනියි, විසුරුණු සිත විසුරුණු සිතයයි දනියි, මහත් බවට ගිය සිත, මහත් බවට ගිය සිතයයි දනියි. මහත් බවට නොගිය සිත, මහත් බවට නොගිය සිතයයි දනියි. කාම සහිත සිත, කාම සිතයයි දනියි. ලෞකික හිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිතයයි දනියි. සමාධිගතවූ සිත සමාධිගත සිතයයි දනියි, සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිතයයි දනියි, (ක්ලෙශයෙන්) මිදුනු සිත, මිදුනු සිතයයි දනියි. නොමිදුනු සිත නොමිදුනු සිතයයි දනියි.

“තරුණය, සැරසෙන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ලමා වයසෙහි සිටියෙක් හෝ තරුණයෙක් හෝ පිරිසිදු, නොකිළිටි කැඩපතෙක හෝ පිරිසිදු දිය භාජනයෙක්හි හෝ තමාගේ මූනේ ශොභාව පරීක්ෂා කරන්නේ යම්සේ කැලල් සහිත නම් කැලල් සහිතයයි දැනගනීද කැලල් රහිත නම් කැලල් රහිතයයි දැනගනීද,

“තරුණය, එසේම භික්ෂුතෙම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පරසිත් දැනගන්නා ඤාණය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු අන්‍ය සත්වයන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ සිත (තමන්ගේ) සිතින් දැන ගනියි. රාග සිත රාගසිතයයි දනියි. රාගයෙන් තොරවූ සිත රාගයෙන් තොරවූ සිතයයි දනියි. දොස සිත දොස සිතයයි දනියි. දොසයෙන් තොරවූ සිත දොසයෙන් තොරවූ සිතයයි දනියි. මොහසිත මොහ සිතයයි දනියි, මොහයෙන් තොරවූ සිත මොහයෙන් තොරවූ සිතයයි දනියි. හැකුලුණු සිත හෝ විසුරුණු සිත හෝ මහත් බවට ගිය සිත හෝ මහත් බවට නොගිය සිත හෝ කාම සහිත සිත හෝ අනුත්තර සිත හෝ එකඟවූ සිත හෝ එකඟ නොවූසිත හෝ දනියි. මිදුණු සිත හෝ මිදුණු සිතයයි දනියි. නොමිදුණු සිත හෝ නොමිදුණු සිතයයි දනියි.

තරුණය, මෙයද ඔහුගේ ප්‍රඥාවකි.

“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලෙෂයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ, කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහි කිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට (ඊට) නමයි. හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහි කෙරෙයි. කෙසේද යත් එක් ජාතියක්ද, දෙ ජාතියක්ද, තුන් ජාතියක්ද, හතර ජාතියක්ද, පස් ජාතියක්ද, දස ජාතියක්ද, විසි ජාතියක්ද, තිස් ජාතියක්ද, සතළිස් ජාතියක්ද, පණස් ජාතියක්ද, සියක් ජාතියක්ද, දහස් ජාතියක්ද, සියක් දහස් ජාතියක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, අසුවල් තැන වීමි, මෙනම් ඇත්තෙමි, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, අසුවල් තැන උපන්නෙමි, එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙම්, මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව, නොයෙක් විදියේ පෙර ජීවිත සිහි කෙරෙයි.

“තරුණය, පුරුෂයෙක් යම්සේ තම ගමින් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් තමන්ගේ ගමට එන්නේද, ‘මම, සිය ගමින් අසුවල් ගමට ගියෙමි, එහි මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කථාකෙළෙමි, මෙසේ නිශ්ශබ්ද වීමි. එ ගමිනිදු අසවල් ගමට ගියෙමි, එහිද මෙසේ සිටියෙමි. මෙසේ හුන්නෙමි, මෙසේ කථාකෙළෙමි, මෙසේ නිශ්ශබ්ද වීමි. ඒ මම ඒ ගමින් සිය ගමට පැමිණියෙමි’යි හෙතෙම දන්නේය.

“තරුණය, එපරිද්දෙන්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලෙශ පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහි කිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ නොයෙක් පෙර විසීම් සිහි කෙරෙයි. කෙසේද යත්. එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද, නොයෙක් කල්ප විස්සකින් යුත් කල්පයන්ද, නොයෙක් කල්ප රාශියකින් යුත් කල්පයන්ද, නොයෙක් කල්පයන්ද, ‘අසුවල් තැන වීමි. මෙබඳු නම් ඇත්තෙම්, මෙබඳු ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු පාට ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සැප දුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතව මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිත (පෙරවිසූ පිළිවෙළ) දැක්වීම් සහිත, නොයෙක් ආකාරවූ පෙර විසීම් සිහි කෙරෙයි.

මාණවකය, මෙයද ඔහුගේ ප්‍රඥාවකි.

“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසුදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශ පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, සත්වයන්ගේ මරණින් පසු උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ පිරිසුදුවූ, මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී, පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොව ගියාවූද නරකලොව ගියාවූද කර්මය ලෙස පැමිණි සත්වයන් දනී. ‘මේ පින්වත් සත්ත්වයෝ ශරීර දුශ්චරිතයෙන් යුක්තය වචන දුශ්චරිතයෙන් යුක්තය, හිතේ දුශ්චරිතයෙන් යුක්තය. උත්තමයන්ට බණින්නෝය, මිථ්‍යදෘෂ්ටිකයෝය. මිථ්‍යාදෘෂ්ටිකර්ම සමාදන් වූවෝය. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ, නිරයට පැමිණෙත්. නැතහොත්, මේ පින්වත් සත්ත්වයෝ ශරීර සුචරිතයෙන් යුක්තය, වචන සුචරිතයෙන් යුක්තය, හිතේ සුචරිතයෙන් යුක්තය, උත්තමයින්ට නොබණින්නෝය, සත්‍යය අදහන්නෝය, සත්‍ය ඇදහීම් සමාදන් වූවෝය. මරණින් මතු යහපත් පැමිණීමවූ, ස්වර්ග ලොකයට පැමිණියෝය’යි මෙසේ පිරිසුදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද, හොඳ ලොව ගියාවූද නරක ලොව ගියාවූද කර්මය ලෙස පැමිණි සත්ත්වයන් දනී.

“මාණවකය, යම්සේ පාරේ හන්දියක ප්‍රාසාදයක් වේද, එහි ඇස් ඇති පුරුෂයෙක් සිටියේ ගෙට ඇතුල්වෙන, ගෙයින් නික්මෙන, වීථියෙහි හැසිරෙණ පාර හන්දියේ හිඳින මනුෂ්‍යයන් දක්නේද, ඔහුට මෙසේ සිතෙයි, ‘මේ මිනිස්සු ගෙට ඇතුළු වෙති. මොහු නික්මෙති. මොහු වීථියෙහි හැසිරෙති, මොහු පාර හන්දියේ ඉඳිති’යි කියායි. තරුණය, එසේම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි කටයුත්තට යොග්‍යවූ කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, සත්වයන්ගේ චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, සිත ඉදිරිපත් කොට නමයි. හේ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳලොව ගියාවූද නරක ලොව ගියාවූද කර්මය ලෙස පැමිණි සත්වයන් දනී, මේ පින්වත් සත්වයෝ ශරීර දුශ්චරිතයෙන් යුක්තය, වචන දුශ්චරිතයෙන් යුක්තය, හිතේ දුශ්චරිතයෙන් යුක්තය, උත්තමයින්ට බණින්නෝය, මිථ්‍යාදෘෂ්ටිකයෝය, මිථ්‍යාදෘෂ්ටිකර්ම සමාදන් වූවෝය. ඔවුහු ශරීරයෙන් වෙන්ව, මරණින් මතු අපායවූ දුර්ගතියවූ, දුකවූ, නිරයට පැමිණෙත්.’ නැතහොත්, මේ පින්වත් සත්වයෝ ශරීර සුචරිතයෙන් යුක්තය, වචන සුචරිතයෙන් යුක්තය, හිතේ සුචරිතයෙන් යුක්තය, උත්තමයින්ට නොබණින්නෝය. සත්‍යය අදහන්නෝය, සත්‍ය ඇදහීම් සමාදන් වූවෝය. ශරීරයෙන් වෙන්ව මරණින් මතු සුගතියවූ, ස්වර්ග ලෝකයට පැමිණියෝ’යි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද සුගතියට පැමිණියාවූද දුර්ගතියට පැමිණියාවූද කර්මය ලෙස පැමිණි සත්වයන් දනී. මෙයද ඔහුගේ ප්‍රඥාවකි.

“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසුදු කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි හිත ස්ථිරවූ කල්හි, කම්පානොවන භාවයට පැමිණි කල්හි සිතේ පැසවන කෙලෙස් පහකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු මේ දුකයි තතුලෙස දැනගණී, මේ දුක් ඉපදීමේ හෙතුවයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැති කිරීමයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැති කිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී, මේ පැසවන කෙලෙස්යයි තතු ලෙස දැනගණී, මේ පැසවන ක්ලේශයන්ගේ හේතුයයි තතු ලෙස දැනගණී, මේ ඒ කෙලෙස් නැතිකිරීම යයිතතු ලෙස දැනගණී, මේ ඒ කෙළෙස් නැතිකිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී. මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශාවන් කෙරෙන්ද මිදේ, සංසාරයට (භවයට) ඇති ආශාවන් කෙරෙන්ද සිත මිදේ, දැඩි මෝහය කෙරෙන්ද සිත මිදේ මිදුනු කල්හි මිදුනේය යන සිත වෙයි. ඉපදීම නැතිවිය උතුම් හැසිරීමෙහි වසන ලදී. කටයුත්ත කරනලදී, මේ ආත්ම භාවයෙන් පසු අනික් ආත්ම භාවයක් නැතැ’යිද දැනගණී,

“මාණවකය, යම්සේ පර්වත මුදුනක පිරිසිදු, සිත් සතුටු කරන නොකැළඹුනු, දිය විලක් වේද, එහි ඉවුරේ ඇස් ඇති පුරුෂයෙක් සිටියේ නැවතී තිබෙන්නාවූ සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලන්ද, කැබලිති කැටද, එහා මෙහා යන්නාවූ මසුන් රෑන්ද, දක්නේද, ඔහුට මෙසේ සිතෙන්නේය, ‘මේ දියවිල පිරිසිදුය මනා සිත් ප්‍රිය කරන්නේය, නොකැළඹුණේය. එහි මේ සිප්පි බෙල්ලන් සක් බෙල්ලන්ද, කැටකැබලිතිද නැවතී තිබේ. මසුන් රෑන් හැසිරෙත්ය කියායි බ්‍රාහ්මණය, එලෙසින්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමසිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, බොහෝ කල් සිට එන ක්ලෙශයන් නැතිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඔහු මේ දුකයයිතතු ලෙස දැනගණී, මේ දුක් ඉපදීමේ හෙතුවයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැතිකිරීමයයි තතු ලෙස දැනගණී, මේ දුක්නැතිකිරීමේ මාර්ගයයි තතුලෙස දැනගණී. මේ කෙලෙස් යයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් හේතුයයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් නැති කිරීමයයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් නැතිකිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී. මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශාවන් කෙරෙන්ද මිදේ. භවයට ඇති ආශාවන් කෙරෙන්ද මිදේ, මෝහය කෙරෙන්ද සිත මිදේ. මිදුනු කල්හි මිදුනේය යන සිත වෙයි. ඉපදීම නැතිවිය, උතුම් හැසිරීමෙහි වසනලදී, කටයුත්ත කරනලදී. මේ ආත්ම භාවයෙන් පසු අනික් ආත්ම භාවයක් නැතැයිද දැනගණී.

“මාණවකය, යම් හෙයකින් භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසුදු කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, බොහෝ කල් සිට එන ක්ලෙශයන් නැති කිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඔහු මේ දුකයයි තතු ලෙස දැනගණී. මේ දුක් ඉපදීමේ හෙතුවයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැතිකිරීමයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැතිකිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස්යයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් හේතුයයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් නැති කිරීමයයි තතු ලෙස දැනගණී. මේ කෙලෙස් නැතිකිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී. මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශාවන් කෙරෙන්ද මිදේ. භවයට ඇති ආශාවන් කෙරෙන්ද මිදේ. මෝහය කෙරෙන්ද සිත මිදේ මිදුනු කල්හි මිදුනේය. යන සිත වෙයි. ඉපදීම නැතිවිය. උතුම් හැසිරීමෙහි වසනලදී. කටයුත්ත කරණලදී, මෙයින් පසු මේ ආත්මභාවය පිණිස කටයුතු අනිකක් නැතැයි දැනගණී, තරුණය, මෙයද ඔහුගේ ප්‍රඥාවකි.

තරුණය, ඒ භාග්‍යවතුන්වහන්සේ යම් ප්‍රඥාවකගේ ගුණ කියන ස්වභාව ඇත්තේද, තරුණය, ඒ මේ උතුම්වූ ප්‍රඥාරාශිය වෙයි මෙහිද මේ ජනසමූහයා යෙදවූයේය. තැන්පත් කරවූයේය, පිහිටුවූයේය මෙහි මෙයින් මත්තෙහි කටයුතුවූ අන් දෙයක් නැත්තේය’යි කීයේය.

“පින්වත් ආනන්ද තෙරුන්වහන්ස, පුදුමයි, පින්වත් ආනන්ද තෙරුන්වහන්ස, ඉතා පුදුමයි. පින්වත් ආනන්ද තෙරුන්වහන්ස, උතුම්වූ ප්‍රඥා රාශිය සම්පූර්ණවූයේ වෙයි. අසම්පූර්ණ වූයේ නොවෙයි. පින්වත් ආනන්ද තෙරුන්වහන්ස, මෙසේ හාත්පසින් පිරුණාවූද උතුම්වූ ප්‍රඥා රාශියක් මේ බුද්ධ ශාසනයෙන් පිටත අන්‍යවූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් තුළ මම නොදැක්කෙමි. මෙහි මෙයින් මත්තෙහි කටයුතුවූ අන් දෙයක්ද නැත්තේමැයි, පින්වත් ආනන්ද තෙරුන්වහන්ස, ධර්මදේශනාව ඉතා යහපත්ය, පින්වත් ආනන්ද තෙරුන්වහන්ස ධර්මදේශනාව ඉතා යහපත්ය, පින්වත් ආනන්ද තෙරුන්වහන්ස, යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේ හෝ යම්සේද වසන ලද්දක් එලිදරව් කරන්නේ හෝ යම්සේද, මංමුළාවූවෙකුට මග කියන්නේ හෝ යම්සේද, ඇස් ඇත්තෝ රූපයන් දකිත්වායි අන්ධකාරයෙහි තෙල් පහනක් දරන්නේ හෝ යම්සේද, එයාකාරම පින්වත් ආනන්ද තෙරුන්වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශකරණ ලද්දේය.”

“පින්වත් ආනන්ද තෙරුන්වහන්ස, මේ මම භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේද, ධර්මයද, භික්ෂු සංඝයාද, සරණ කොට යෙමි. පින්වත් ආනන්ද තෙරුන්වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණගිය උපාසකයෙකැයි මා දරාගන්නා සේක්වා”යි තොදෙය්‍යපුත්‍රවූ ශුභ නම් මාණවකයා කීයේයි.

දසවෙනිවූ ශුභ සූත්‍රය නිමියේයි