මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකය

2. භික්ෂු වර්ගය

61. අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කලන්දකනිවාප නම් වෙළුවන විහාරයෙහි වැඩ වාසය කළහ. එකල්හි ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් වහන්සේ අම්බලට්ඨිකාවෙහි (වේළුවනාරාමය අසල පිහිටි වඩා විවෙක ඇති ආවාසයක) වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැගීසිට අම්බලට්ඨිකාව යම් තැනෙක්හිද ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් යම් තැනෙක්හිද එහි වැඩියහ. ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙමේ එන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුවේය. දැක ආසනයක් පැනවීය. පා සේදීමට දිය තැබීය. භාග්‍යවතුන් වහන්සේ පැමිණ පැනවූ අසුනෙහි වැඩහුන්හ. හිඳ පාදයන් සේදූහ. ආයුෂ්මත් රාහුල ස්ථවිරතෙමේද භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකපැත්තක හුන්නේය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ (පා සෝදා) දිය ස්වල්පයක් දිය බඳුනෙහි ඉතිරිකොට තබා ආයුෂ්මත් රාහුල ස්ථවිරයන්ගෙන් මෙසේ ඇසූහ. “රාහුලය, තොපි දිය බඳුනෙහි ඉතිරිකොට තබන ලද මේ දිය ස්වල්පය දක්නහුද?”

“එසේය, ස්වාමීනි”

“රාහුලය, යම් භික්ෂුවකට දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද, ඔහුගේ මහණකමද මෙසේ ස්වල්පයෙකි.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ ඉතිරිව තුබූ දිය ස්වල්පය ඉවත් කොට ආයුෂ්මත් රාහුල ස්ථවිරයන්ගෙන් මෙසේ ඇසූහ. “රාහුල, තොපි ඉවත දමන ලද ඒ ඉතිරිවූ දිය ස්වල්පය දක්නහුද?”

“එසේය, ස්වාමීනි.”

“රාහුලය, යම් භික්ෂුවක් දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද, ඔවුන් විසින් මහණකම්ද මෙසේ ඉවත දමන ලද්දේය.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ දියබඳුන යටිකුරු කොට මුණින් නවා ආයුෂ්මත් රාහුල ස්ථවිරයන්ගෙන් මෙසේ ඇසූහ. “රාහුලය, ඔබ යටිකුරු කළ මේ දියබඳුන දක්නහුද?” “එසේය, ස්වාමීනි.” “රාහුලය, යම් භික්ෂුවකට දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද ඔහුගේ මහණකම මෙසේ මුණින් නමන ලද්දේය.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ දිය බඳුන උඩුකුරු කොට ආයුෂ්මත් රාහුල ස්ථවිරයන්ගෙන් මෙසේ ඇසූහ “රාහුලය, තොපි හිස්වූ කිසිවක් නැති මේ දිය බඳුන දක්නහුද?” “එසේය, ස්වාමීනි.” “රාහුලය, යම් භික්ෂුවකට දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද ඔහුගේ මහණකමත් මෙසේ හිස්ය. (මහණකමට අයත් ගුණ කිසිවක් නැත.)

“රාහුලය, යම්සේ රජුගේ, රියකඳක් පමණ මහදළ ඇති උස මහත ඇති ජාතිසම්පන්න, යුදයට බැසගත් ඇතෙක් වේද, ඒ ඇතා යුදයට ගොස් ඉදිරි පාදවලින්ද වැඩකරයි. පසු පාදවලින්ද වැඩ කරයි. ඉදිරි කයින්ද වැඩ කරයි. පසු කයින්ද වැඩ කරයි. හිසින්ද වැඩ කරයි. කණින්ද වැඩ කරයි. දත්වලින්ද වැඩ කරයි. වලිගයෙන්ද වැඩ කරයි. (නමුත්) සොඬ රකී. එහිදී ඇතුන් බලන්නාට මෙවැනි අදහසක් වෙයි. මහ දළ ඇති උස මහත ඇති ජාතිසම්පන්න, යුදයට බැසගත් රජුගේ මේ ඇතා යුදයට ගොස් ඉදිරි පාදයෙන්ද වැඩ කරයි. පසු පාදයෙන්ද වැඩ කරයි. ඉදිරි කයින්ද වැඩ කරයි. පසු කයින්ද වැඩ කරයි. හිසින්ද වැඩ කරයි. කණින්ද වැඩ කරයි. දත්වලින්ද වැඩ කරයි. වලිගයෙන්ද වැඩ කරයි. (නමුත්) සොඬ රකී. රජුගේ ඇතාගේ ජීවිත පරිත්‍යාගය නොකෙළේය යනුයි.

“රාහුලය, යම් හෙයකින් මහ දළ ඇති උස මහත ඇති ජාතිසම්පන්න යුදයට බැසගත් රජුගේ ඇතා යුදයට ගොස් ඉදිරි පාදවලින්ද වැඩ කරයි. පසු පාදවලින්ද වැඩ කරයි. ඉදිරි කයින්ද වැඩ කරයි. පසු කයින්ද වැඩ කරයි. හිසින්ද වැඩ කරයි. කණින්ද වැඩ කරයි. දත්වලින්ද වැඩ කරයි. වලිගයෙන්ද වැඩ කරයි. සොඬවැලෙන්ද වැඩ කරයි. එහිදී ඇතුන් බලන්නාට මෙබඳු සිතක් වෙයි. මහ දළ ඇති උස මහත ඇති ජාතිසම්පන්න, රජුගේ මේ ඇතා යුදයට ගොස් ඉදිරි පාදවලින්ද වැඩ කරයි. පසු පාදවලින්ද වැඩ කරයි. ඉදිරි කයින්ද වැඩ කරයි. පසු කයින්ද වැඩ කරයි. හිසින්ද වැඩ කරයි. කණින්ද වැඩ කරයි. දත්වලින්ද වැඩ කරයි. වලිගයෙන්ද වැඩ කරයි. සොඬවැලෙන්ද වැඩ කරයි. රජුගේ ඇතාගේ ජීවිත පරිත්‍යාගයද කෙළේය යනුයි. දැන් රජුගේ ඇතා විසින් කළ යුතු අන්දෙයක් නැත. රාහුල, එපරිද්දෙන් යම්කිසිවෙකුට දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද, ඔහුට නොකළ හැකි කිසි පාපයක් ඇතැයි මම නොකියමි. රාහුලය, එහෙයින් සිනහ වීමටවත් බොරු නොකියන්නෙමියි ඔබ මෙසේ හික්මිය යුතුයි.

“රාහුලය, එය කුමක්යයි සිතන්නෙහිද? කැඩපත කවර ප්‍රයොජනයක් පිණිසද?” “ස්වාමීනි, (එය) මුහුණ බැලීම පිණිසයි.” “රාහුලය, එලෙසින් බලව. (නුවණින්) බල බලා කයින් කටයුතු කළ යුතුය. (නුවණින්) බල බලා වචනයෙන් කටයුතු කළ යුතුය. (නුවණින්) බල බලා සිතින් කටයුතු කළ යුතුය.

“රාහුල, තොප කයින් යම් කටයුත්තක් කරන්ට කැමති වෙහිද, තොප විසින් ඒ කයින් කරන කටයුත්ත සලකා බැලිය යුතුය. “මම කයින් යම් මේ කටයුත්තක් කරණු කැමැත්තෙම්ද, මාගේ මේ කයින් කරන කටයුත්ත තමන්ට පීඩා පිණිස පවත්නේද, අනුන්ට පීඩා පිණිස පවත්නේද, දෙදෙනාටම පීඩා පිණිස පවතියිද? මේ කයින් කරන කටයුත්ත අකුසල්ද, දුක් රැස්කරන්නේද, දුක් විපාක ඇති කරන්නේද, රාහුලය, (එසේ) සලකා බලන්නාවූ ඔබ මෙසේ දැනගන්නෙහිද, ‘මම යම් මේ කයින් කරන කටයුත්තක් කරන්ට කැමැත්තෙම්ද, මාගේ මේ කයින් කරන කටයුත්ත තමහට පීඩා පිණිස පවත්නේය. අනුන්ට පීඩා පිණිස පවත්නේය. තමන්ට හා අනුන්ට පීඩා පිණිස පවත්නේය. මේ කයින් කරන කටයුත්ත අකුසල්ය. දුක් රැස් කරන්නේය. දුක් විපාක ඇතිකරන්නේය. (යැයි දැනගන්නෙහිද) රාහුලය, තොප විසින් එබඳු කයින් කරන කටයුත්තක් ඒකාන්තයෙන් නොකළ යුතුය. රාහුල, ඉදින් ඔබ සලකා බලන්නේ මෙසේ දැනගන්නෙහිද, ‘මම යම් මේ කයින් කරන කටයුත්තක් කරන්ට කැමැත්තෙම්ද, මාගේ මේ කයින් කරන කටයුත්ත තමහට පීඩා පිණිස නොපවත්නේය. අනුන්ට පීඩා පිණිස නොපවත්නේය. තමන්ට හා අනුන්ට පීඩා පිණිස නොපවත්නේය. මේ කයින් කරන කටයුත්ත කුසල්ය. සැප රැස්කරන්නේය. සැප විපාක ඇති කරන්නේය.’ රාහුලය, තොප විසින් එබඳු කයින් කරන කටයුතු කළ යුතුය.

“රාහුලය, කයින් කටයුත්තක් කරන කල්හිද තොප විසින් ඒ කයින් කරන කටයුත්ත සලකා බැලිය යුතුය. මම යම් මේ කයින් කටයුත්තක් කරම්ද, මාගේ මේ කයින් කරන කටයුත්ත තමහට පීඩා පිණිස පවත්නේද? අනුන්ට පීඩා පිණිස පවත්නේද? තමහට හා අනුන්ට පීඩා පිණිස පවත්නේද? මේ කයින් කරන කටයුත්ත අකුසල්ද දුක් රැස්කරන්නේද? දුක් විපාක ඇතිකරන්නේද? යනුවෙනි. රාහුලය, ඉදින් මෙසේ සලකන්නාවූ ඔබ මෙසේ දන්නෙහිද. ‘මම කයින් යම් මේ කටයුත්තක් කරම්ද, මාගේ මේ කයින් කරන කටයුත්ත තමාට පීඩා පිණිසද පවත්නේය. අනුන්ට පීඩා පිණිසද පවතින්නේය, තමාට හා අනුන්ට පීඩා පිණිසද පවත්නේය, මේ කයින් කරන කටයුත්ත අකුසල්ය. දුක් රැස් කරන්නේය, දුක් විපාක ඇති කරන්නේය.’ රාහුලය, ඔබ එබඳු කයින් කරන කටයුත්තක් නොකරන්නෙහිය. රාහුලය, ඉදින් ඔබ සලකා බලන්නේ මෙසේ දන්නෙහිද, මම කයින් යම් මේ කටයුත්තක් කරම්ද, මාගේ මේ කයින් කරණ කටයුත්ත තමහට පීඩා පිණිස නොපවත්නේය, අනුන්ට පීඩා පිණිස නොපවත්නේය, තමාට හා අනුන්ට පීඩා පිණිස නොපවත්නේය, මේ කයින් කරනකටයුත්ත කුසල්ය. සැප රැස් කරන්නේය. සැප විපාක ඇතිකරන්නේයයි දන්නෙහිද, රාහුල, ඔබ එබඳු කයින් කරන කට යුත්ත නොනවත් වන්නෙහිය.’ නැවත නැවත කරන්නෙහිය.

“රාහුල, තොප විසින් කයින් කටයුත්තක් කොටද, ඒ කයින් කළ කටයුත්ත සලකා බැලිය යුතුය. ‘මම යම් මේ කයින් කටයුත්තක් කෙළෙම්ද, මාගේ මේ කයින් කළ කටයුත්ත තමාට පීඩා පිණිසද පවත්නේද? අනුන්ට පීඩා පිණිසද පවත්නේද? තමාට හා අනුන්ට පීඩා පිණිසද පවත්නේද? මේ කයින් කළ කටයුත්ත දුක් රැස් කරන්නේද? දුක් විපාක ඇති කරන්නේද? යනුවෙනි. රාහුල, ඉදින් ඔබ සලකා බලන්නේ මෙසේ දන්නෙහිද, ‘මම යම් මේ කයින් කටයුත්තක් කෙළෙම්ද, මාගේ මේ කයින් කළ කටයුත්ත තමාට පීඩා පිණිසද පවත්නේය, අනුන්ට පීඩා පිණිසද පවත්නේය, තමන්ට හා අනුන්ට පීඩා පිණිසද පවත්නේය, මේ කයින් කළ කටයුත්ත අකුසල්ය, දුක් රැස් කරන්නේය, දුක් විපාක ඇති කරන්නේය.’ රාහුල, තොප විසින් එබඳු කයින් කළ කටයුත්තක් ශාස්තෲන් වහන්සේ වෙත හෝ නුවණ ඇති සමානව ඇසුරු කරන්නන් වෙත හෝ පැමිණ කියයුතුයි, විවෘත කළ යුතුයි, ප්‍රකට කළ යුතුයි, (එසේ) කියා, විවෘත කොට, ප්‍රකට කොට, නැවත සංවරයට පැමිණිය යුතුයි, රාහුල, ඉදින් ඔබ සලකා බලන්නේ මෙසේ දන්නෙහිද, ‘මම යම් මේ කයින් කටයුත්තක් කෙළෙම්ද, මාගේ මේ කයින් කළ කටයුත්ත තමාට පීඩා පිණිස නොපවතී. අනුන්ට පීඩා පිණිස නොපවතී, තමාට හා අනුන්ට පීඩා පිණිස නොපවතී. මේ කයින් කළ කටයුත්ත කුසල්ය. සැප රැස් කෙරෙයි. කියා රාහුල, ඔබ එයින් (ඇතිවූ) ප්‍රීතියෙන් හා සන්තොෂයෙන් වාසය කරන්නෙහිය, රෑ දාවල් දෙක්හි කුසල ධර්මයන්හි හික්මෙන්නෙහිය.

“රාහුල, ඔබ වචනයෙන් යම් කටයුත්තක් කරන්ට කැමති වෙහිද, (එවිට) තොපගේ ඒ වචනයෙන් කරන කටයුත්ත සලකා බැලිය යුතුයි, (කෙසේද?) ‘මම වචනයෙන් යම් මේ කටයුත්තක් කරනු කැමැත්තෙම්ද, මාගේ මේ වචනයෙන් කරන කටයුත්ත තමාට පීඩා පිණිස පවත්නේද, අනුන්ට පීඩා පිණිස පවත්නේද, තමාට හා අනුන්ට පීඩා පිණිස පවත්නේද? මේ වචනයෙන් කරන කට යුත්ත අකුසල්ද? දුක් රැස් කරන්නේද? දුක් විපාක ඇති කරන්නේද?’ (කියායි) රාහුල, ඉදින් (එසේ) සලකා බලන්නේ මෙසේ දැන ගන්නෙහිද, ‘මම වචනයෙන් යම් මේ කටයුත්තක් කරනු කැමැත්තෙම්ද, මාගේ මේ වචනයෙන් කරන කටයුත්ත තමාට පීඩා පිණිසද පවත්නේය. අනුන්ට පීඩා පිණිසද පවත්නේය, තමාට හා අනුන්ට පීඩා පිණිස පවත්නේය, මේ වචනයෙන් කරන කටයුත්ත අකුසල්ය, දුක් රැස් කරන්නේය, දුක් විපාක ඇත්තේය,’ (කියායි) රාහුල, තොප විසින් එබඳුවූ වචනයෙන් කරන කටයුත්ත ඒකාන්තයෙන් නොකළ යුතුය, රාහුල, ඉදින් ඔබ සලකා බලන්නේ මෙසේ දැන ගන්නෙහිද ‘මම වචනයෙන් යම් මේ කටයුත්තක් කරනු කැමත්තෙම්ද, මේ මාගේ වචනයෙන් කරන කට යුත්ත තමහට පීඩා පිණිසද නොපවත්නේය, අනුන්ට පීඩා පිණිස නොපවත්නේය, තමාට හා අනුන්ට පීඩා පිණිස නොපවත්නේය, මේ වචනයෙන් කරන කටයුත්ත කුසල්ය, සැප රැස් කරන්නේය, සැප විපාක ඇත්තේය,’ (කියායි) රාහුලය, තොප විසින් එබඳු වචනයෙන් කරන කටයුත්ත කළ යුතුය.

“රාහුලය, වචනයෙන් කටයුත්තක් කරන කල්හිද ඔබ විසින් ඔබගේ එම වචනයෙන් කරන කටයුත්ත සලකා බැලිය යුතුයි. ‘මම යම් මේ වචනයෙන් කට යුත්තක් කරම්ද මාගේ මේ වචනයෙන් කරන කටයුත්ත තමාට පීඩා පිණිස පවත්නේද, අනුන්ට පීඩා පිණිස පවත්නේද, තමාට හා අනුන්ට පීඩා පිණිස පවත්නේද? මේ වචනයෙන් කරණ කටයුත්ත අකුසල්ද? දුක් රැස් කරන්නේද? දුක් විපාක ඇති කරන්නේද, (යනුවෙනි.) රාහුල, ඉදින් මෙසේ සලකන්නාවූ ඔබ මෙසේ දන්නෙහිද? ‘මාගේ මේ වචනයෙන් කරන කටයුත්ත තමාට පීඩා පිණිස පවත්නේය. අනුන්ට පීඩා පිණිස පවත්නේය. තමාට හා අනුන්ට පීඩා පිණිස පවත්නේය. මේ වචනයෙන් කරන කටයුත්ත අකුසල්ය දුක් රැස් කරන්නේය. දුක් විපාක ඇති කරන්නේය. රාහුල ඔබ එබඳු වචනයෙන් කරන කටයුත්ත නොකරන්නෙහිය.

“මම වචනයෙන් යම් මේ කටයුත්තක් කරන්නෙම්ද මේ මාගේ වචනයෙන් කරන කටයුත්ත තම හට පීඩා පිණිසද නොපවත්නේද, අනුන්ට පීඩා පිණිසද නොපවත්නේද, තමාට හා අනුන්ට පීඩා පිණිසද නොපවත්නේද, මේ වචනයෙන් කරන කටයුත්ත කුසල්ද, සැප රැස් කරන්නේද, සැප විපාක ඇත්තේද’ (කියායි.) රාහුල එබඳු වචනයෙන් කරන කටයුතු නිතර කරන්නෙහිය.

“රාහුල, වචනයෙන් කටයුත්තක් කළ කල්හිද, තොප තාගේ එම වචනයෙන් කළ කටයුත්ත සලකා බැලිය යුතුය ‘මම යම් මේ වචනයෙන් කරන කටයුත්තක් කෙළෙම්ද, මේ මාගේ වචනයෙන් කළ කටයුත්ත තමහට පීඩා පිණිසද පවත්නේද, අනුන්ට පීඩා පිණිසද පවත්නේද, තමන්ට හා අනුන්ට පීඩා පිණිස පවත්නේද, මේ වචනයෙන් කළ කටයුත්ත දුක් රැස් කරන්නේද, දුක් විපාක ඇති කරන්නේද කියායි. රාහුල ඉදින් ඔබ සලකා බලන්නේ මෙසේ දන්නෙහිද? ‘මම කයින් යම් මේ කටයුත්තක් කෙළෙම්ද, මාගේ මේ කයින් කළ කටයුත්ත තමාට පීඩා පිණිසද පවත්නේය. තමන්ට හා අනුන්ට පීඩා පිණිස පවත්නේය. මේ වචනයෙන් කළ කටයුත්ත අකුසල්ය. දුක් රැස් කරන්නේය. දුක් විපාක ඇති කරන්නේයයි දන්නෙහිද? රාහුල, තොප විසින් එබඳු මේ වචනයෙන් කළ කටයුත්ත ශාස්තෲන් වහන්සේ වෙත හෝ නුවණ ඇති සමානව ඇසුරු කරන්නන් වෙත හෝ පැමිණ කිය යුතුයි. විවෘත කළ යුතුයි. ප්‍රකට කළ යුතුයි. (එසේ) කියා විවෘත කොට ප්‍රකට කොට නැවත සංවරයට පැමිණිය යුතුයි. ඉදින් ඔබ සලකා බලන්නේ මෙසේ දන්නෙහිද ‘මම වචනයෙන් යම් මේ කටයුත්තක් කෙළෙම්ද, මාගේ මේ වචනයෙන් කළ කටයුත්ත තමාට පීඩා පිණිසද නොපවතී. අනුන්ට පීඩා පිණිසද නොපවතී. තමාට හා අනුන්ට පීඩා පිණිස නොපවතී. මේ වචනයෙන් කළ කටයුත්ත කුසල්ය. සැප රැස් කරයි. සැප විපාක ඇති කරයි.’ රාහුල, කුශල ධර්මයන්හි රෑ දාවල් දෙකේ හික්මෙමින් එම ප්‍රීතියෙන් හා සන්තොෂයෙන් ඔබ වාසය කරන්නෙහිය.

“රාහුල, ඔබ සිතින් යම් කටයුත්තක් කරනු කැමැත්තේ වෙහිද? ඔබගේ එම සිතින් කරන කටයුත්ත සලකා බැලිය යුතුය, ‘මම යම් මේ සිතින් කටයුත්තක් කරනු කැමැත්තෙම්ද, මාගේ මේ සිතින් කරන කටයුත්ත තමහට පීඩා පිණිසද පවත්නේද. අනුන්ට පීඩා පිණිස පවත්නේද? තමහට හා අනුන්ට පීඩා පිණිස පවත්නේද? මේ සිතින් කරන කටයුත්ත අකුසල්ද? දුක් රැස් කරන්නේද? දුක් විපාක ඇති කරන්නේද?’ යනුවෙනි, රාහුලය, (එසේ) සලකා බලන්නාවූ ඔබ මෙසේ දැනගන්නේද, ‘මම සිතින් යම් මේ කටයුත්තක් කරන්ට කැමැත්තෙම්ද? මාගේ සිතින් කරන කටයුත්ත තමහට පීඩා පිණිස පවත්නේය. අනුන්ට පීඩා පිණිස පවත්නේය. තමහට හා අනුන්ට පීඩා පිණිස පවත්නේය. මේ සිතින් කරන කටයුත්ත අකුසල්ය. දුක් විපාක ඇති කරන්නේය.’ රාහුලය, තා විසින් එබඳු සිතින් කරන කටයුත්ත එකාන්තයෙන් නොකළ යුතුයි.

“රාහුල ඉදින් ඔබ සලකා බලන්නේ මෙසේ දැනගන්නෙහිද? ‘මම යම් මේ සිතින් කරන කටයුත්තක් කරන්ට කැමැත්තෙම්ද, මාගේ මේ සිතින් කරන කටයුත්ත තමහට පීඩා පිණිස නොපවත්නේය. අනුන්ට පීඩා පිණිස නොපවත්නේය. තමහට හා අනුන්ට පීඩා පිණිස නොපවත්නේය. මේ සිතින් කරන කටයුත්ත කුසල්ය. සැප රැස් කරන්නේය. සැප විපාක ඇති කරන්නේය’ කියායි. රාහුල, ඔබ විසින් එබඳු සිතින් කරන කටයුත්ත කළ යුතුය.

“රාහුල, සිතින් කටයුතු කරන්නාවූ ඔබ විසින් ඔබගේ එම සිතින් කරන කටයුත්ත සලකා බැලිය යුතු.

“මම සිතින් යම් මේ කටයුත්තක් කරම්ද, මාගේ මේ සිතින් කරන කටයුත්ත තමහට පීඩා පිණිස පවත්නේද, අනුන්ට පීඩා පිණිස පවත්නේද? තමහට හා අනුන්ට පීඩා පිණිස පවත්නේද, මේ සිතින් කරන කටයුත්ත අකුසල්ද, දුක් රැස් කරන්නේද, දුක් විපාක ඇති කරන්නේද,’ යනුවෙනි. රාහුලය, ඉදින් මෙසේ සලකන්නාවූ ඔබ මෙසේ දන්නෙහිය. ‘මම සිතින් යම් මේ කටයුත්තක් කරම්ද, මාගේ මේ සිතින් කරන කටයුත්ත අනුන්ට පීඩා පිණිස පවත්නේය. තමහට පීඩා පිණිස පවත්නේය. තමහට හා අනුන්ට පීඩා පිණිස පවත්නේය. මේ සිතින් කරන කටයුත්ත අකුසල්ය. දුක් රැස් කරන්නේය. දුක් විපාක ඇති කරන්නේය.’ කියායි. රාහුල, ඔබ එබඳු සිතින් කරන කටයුත්ත නොකරන්නෙහිය.

“රාහුල, ඉදින් ඔබ සලකා බලන්නේ මෙසේ දන්නෙහිය. ‘මම යම් මේ සිතින් කරන කටයුත්තක් කරම්ද, මාගේ මේ සිතින් කරන කටයුත්ත තමහට පීඩා පිණිස නොපවත්නේය. අනුන්ට පීඩා පිණිස නොපවත්නේය. තමහට හා අනුන්ට පීඩා පිණිස නොපවත්නේය. කුසල්ය. සැප රැස් කරන්නේය. සැප විපාක ඇති කරන්නේය, (යනුවෙනි.)

“රාහුල, ඔබ එබඳු සිතින් කරන කටයුත්ත නිතර කරන්නෙහිය.

“රාහුල, සිතින් කටයුත්තක් කොටද, ඔබගේ එම සිතින් කරන කටයුත්ත සලකා බැලිය යුතු, (කෙසේද?) ‘මම සිතින් යම් මේ කටයුත්තක් කෙළෙම්ද’ මාගේ මේ සිතින් කළ කටයුත්ත තමහට පීඩා පිණිස පවත්නේද, අනුන්ට පීඩා පිණිස පවත්නේද, තමාට හා අනුන්ට පීඩා පිණිස පවත්නේද, මේ සිතින් කළ කටයුත්ත අකුසල්ද, දුක් රැස් කරන්නේද, දුක් විපාක ඇති කරන්නේද,’ යනුවෙනි. රාහුල, ඉදින් ඔබ සලකා බලන්නේ මෙසේ දන්නෙහිද? ‘මම යම් මේ සිතින් කටයුත්තක් කෙලෙම්ද, මාගේ මේ සිතින් කළ කටයුත්ත තමාට පීඩා පිණිසද පවත්නේය. අනුන්ට පීඩා පිණිසද පවත්නේය. තමහට හා අනුන්ට පීඩා පිණිසද පවත්නේය. මේ සිතින් කළ කටයුත්ත අකුසල්ය. දුක් වන්නේය. දුක් විපාක ඇති කරන්නේය’ (කියායි.) රාහුල, ඔබ විසින් එබඳු සිතින් කළ කටයුත්ත ශාස්තෲන් වහන්සේ වෙත හෝ නුවණ ඇති සමානව ඇසුරුකරන්නන් වෙත හෝ පැමිණ කිය යුතුයි. විවෘත කළ යුතුයි. ප්‍රකට කළ යුතුයි, කියා විවෘත කොට, ප්‍රකට කොට නැවත සංචරයට පැමිණිය යුතුයි.

“රාහුල, ඉදින් ඔබ සලකා බලන්නේ මෙසේ දන්නෙහිද, ‘මම සිතින් යම් මේ කටයුත්තක් කෙළෙම්ද, මාගේ මේ සිතින් කළ කටයුත්ත තමාට පීඩා පිණිස නොපවතී, අනුන්ට පීඩා පිණිස නොපවතී, තමාට හා අනුන්ට පීඩා පිණිස නොපවතී. මේ සිතින් කළ කටයුත්ත කුසල්ය, සැප රැස් කරයි. සැප විපාක ඇති කරයි’ යනුවෙනි.

“රාහුල, ඔබ එම ප්‍රීතියෙන් හා සන්තොෂයෙන් කුශල ධර්මයන්හි දාවල් රෑ දෙකේ හික්මෙමින් වාසය කරන්නෙහිය.

“රාහුල, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කරන කටයුතු පිරිසිදු කළාහුද, වචනයෙන් කරන කටයුතු පිරිසිදු කළාහුද, සිතින් කරන කටයුතු පිරිසිදු කළාහුද, ඒ සියල්ලෝ එපරිද්දෙන්ම සලක සලකා කයින් කරන කටයුතු පිරිසිදු කළාහුය. සලක සලකා වචනයෙන් කරන කටයුතු පිරිසුදු කළාහුය. සලක සලකා සිතින් කරන කටයුතු පිරිසුදු කළාහුය.

“රාහුල, අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කරන කටයුතු පිරිසිදු කරන්නාහුද, වචනයෙන් කරන කටයුතු පිරිසුදු කරන්නාහුද, සිතින් කරන කටයුතු පිරිසුදු කරන්නාහුද, ඒ සියල්ලෝද එපරිද්දෙන්ම සලකා සලකා කයින් කරන කටයුතු පිරිසුදු කරන්නාහුය. සලක සලකා වචනයෙන් කරන කටයුතු පිරිසුදු කරන්නාහුය. සලක සලකා සිතින් කරන කටයුතු පිරිසුදු කරන්නාහුය. රාහුල, මේ කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කරන කටයුතු පිරිසුදු කරත්ද, වචනයෙන් කරන කටයුතු පිරිසුදු කරත්ද, සිතින් කරන කටයුතු පිරිසුදු කරත්ද, ඒ සියල්ලෝ සලක සලකා කයින් කරන කටයුතු පිරිසුදු කරත්. සලක සලකා වචනයෙන් කරන කටයුතු පිරිසුදු කරත්. සලක සලකා සිතින් කරන කටයුතු පිරිසිදු කරත්.

“රාහුල, එබැවින් ‘සලක සලකා කයින් කරන කටයුතු පිරිසුදු කරන්නෙමු. සලක සලකා වචනයෙන් කරන කටයුතු පිරිසුදු කරන්නෙමු. සලක සලකා සිතින් කරන කටයුතු පිරිසුදු කරන්නෙමු’යි ඔබ මෙසේ හික්මිය යුතුයි.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුවූ ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු විය.

පළමුවෙනිවූ අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රය නිමි. (2-1)