ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

4. චතුක්ක නිපාතය

13. ලොකාභිඤ්ඤා සූත්‍රය

“මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් ලොකය මනාකොට අවබොධ කරන ලද්දේය. තථාගතයන් වහන්සේ ලෝකයෙන් වෙන්වූසේක. මහණෙනි, ලොකය (දුක) ඉපදීමට හෙතුවූ තෘෂ්ණාව තථාගතයන් වහන්සේ විසින් මනාව දැනගන්නා ලද්දේය. තථාගතයන් විසින් ලොකය (දුක) හට ගැණීමට හෙතුව පහකරන ලද්දේය. මහණෙනි, ලොකයගේ නොපැවැත්ම (නිවන) තථාගතයන් විසින් මනාකොට දැනගන්නා ලද්දේය. ලොකයගේ නොපැවැත්ම (නිවන) තථාගතයන් විසින් ප්‍රත්‍යක්ෂ කරන ලද්දේය. මහණෙනි, ලොකය (දුක) නිරුද්ධ කිරීමට පමුණුවන පිළිපැදීම තථාගතයන් විසින් මනාව දැනගන්නා ලද්දීය. තථාගතයන් විසින් ලොකය නිරුද්ධ කිරීමට පමුණුවන ප්‍රතිඥාතොමෝ වඩන ලද්දීය.

“මහණෙනි, දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බඹුන් සහිතවූ සත්ව ලොකයා විසින් මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ සත්ව ප්‍රජාව විසින් යම් දක්නා ලද දෙයක් වේද අසන ලද්දක් වේද ආඝ්‍රාණය කරන ලද රසවිඳින ලද ස්පර්ශ කරනලද දෙයක් වේද, දන්නා ලදද පැමිණෙන ලද්දේද සොයන ලද්දේද සිතින් නැවත නැවත සලකන ලද්දේද තථාගතයන් විසින් ඒ යම්හෙයකින් මනාව දැනගන්නා ලද්දේ එහෙයින් තථාගතයයි කියනු ලැබේ.

“මහණෙනි, යම් දිනක රෑ තථාගතයන් වහන්සේ නිරුත්තවූ සම්‍යක් සම්බොධිය අවබොධකරන සේක්ද, යම් පඤ්චස්කන්ධයන්ගේ ශෙෂයක් නැති නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානාසේක්ද, මේ (මැද) යම් ධර්මයක් වදාරණසේක්ද, කියනසේක්ද, දක්වනසේක්ද ඒ හැම එසේම වෙයි. අන් අයුරකින් නොවේ. එහෙයින් තථාගතයයි කියනු ලැබේ.

“මහණෙනි, තථාගතයන් වහන්සේ යම්සේ කියනු සුලුද එසේම කරන සුලුය. තථාගතයන් වහන්සේ යම්සේ කරන සුලුද, එසේම කියන සුලුය. මෙසේ යම් අයුරකින් කියනු සුලුද ඒ අයුරෙන් කරන සුලුය. යම් අයුරකින් කරන සුලුද ඒ අයුරෙන් කියන සුලුය. එහෙයින් තථාගතයයි කියනු ලැබේ.

“මහණෙනි, දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බඹුන් සහිතවූ සත්ව ලොකයෙහි මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ සත්ව ප්‍රජාවෙහි තථාගතයන් වහන්සේ මඩින සේක. කිසිවෙකු විසින් නොමඩනා ලද්දේය. ඒකාන්තයෙන් දක්නාසේක. සමවත්ද සිතද තමාගේ වසයෙහි පවත්වන සේක. එහෙයින් තථාගතයයි කියනු ලැබේ යයි.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“සියලු තුන්ලොව දැන ඒ ත්‍රෛධාතුක සත්ව සන්නිවාසයෙහි යම් කිසිවක් ඇද්ද, ඒ මුලුල්ල නොවෙනස් සේ දැන සියලු ලොකයෙන් මිදුණුසේක. සියලු ලොකයෙහි (බන්ධනයෙන්) තොරවූසේක.

“සියලු මැඩපැවැත්වූ ධෛර්යසම්පන්න වූ ඒ තථාගතයන් වහන්සේ ඒකාන්තයෙන් සියලු ක්ලෙශ ග්‍රන්ථයන් මුදා සිටිසේක. උන්වහන්සේ විසින් උතුම්වූ නිවන ස්පර්ශ කරන ලද්දේය. ඒ නිවන කොයිනුත් බිය නැත්තේය.

“නිදුක්වූ සිඳින ලද සැක ඇත්තාවූ ක්ෂය කරනලද ආශ්‍රවයන් ඇත්තාවූ මේ සර්වඥයන් වහන්සේ සියලු කර්මයන්ගේ ක්ෂය කිරීමට පැමිණිසේක. උපධීන්ගේ ක්ෂය කිරීමයයි කියන ලද නිර්වාණයෙහි ඵලවිමුක්තියෙන් මිදුණුසේක.

“ඒ මේ භාග්‍යවතුන් වහන්සේ චතුස්සත්‍යාවබොධය කළසේක. මේ බුදුරජාණන් වහන්සේ කෙලෙස් නැසූ හෙයින්ම නිරුත්තර සිංහවූ සර්වඥයන් වහන්සේ දෙවියන් සහිත සත්ව ලොකයාට ශ්‍රෙෂ්ඨවූ ධර්මචක්‍රය පැවැත්වූසේක.

“මෙසේ යම් කෙනෙක් බුදුන් සරණ ගියාහු වෙද්ද, ඒ දෙවියෝ ද මිනිස්සුද උන්වහන්සේ කරා පැමිණ පහවූ බිය ඇති ගුණයෙන් මහත් බුදුන්වහන්සේට නමස්කාර කෙරෙති.

“බුද්ධ ඍෂීන් වහන්සේ දැමුණුසේක. අන්‍යයන් දමනය කරන හෙයින් දැමුණවුන් අතුරෙන් ශ්‍රෙෂ්ඨවූ සේක. ශාන්ත වූසේක. සන්සුන් වුවන් අතුරෙන් ශ්‍රෙෂ්ඨවූ සේක. (කෙලෙසුන්ගෙන්) මිදුණුසේක. මිදුනවුන් අතුරෙන් අග්‍ර වූසේක. (සසර සයුරෙන්) එතෙර වූසේක. එතෙරවූවන් අතුරෙන් උතුම් වූසේක.

“මෙසේ දෙවියන් සහිත ලොකයෙහි නුඹවහන්සේ හා සමාන පුද්ගලයෙක් නැත්තේයයි මහත්වූ හෝ පූජ්‍යවූ පහවගිය බිය ඇති මේ බුදුන්වහන්සේට දෙවි මිනිස්සු වඳිත් යයි”

ඉතිවුත්තකයේ චතුක්ක නිපාතය නිමි

ඉතිවුත්තකපාළි නිට්ඨිතා.