මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසය

4. විභංග වර්ගය

131. භද්දෙකරත්ත සූත්‍රය

මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසනලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමිපයෙහිවූ, ජෙතවන නම්වූ අනේපිඩුමහ සිටුහුගේ ආරාමයෙහි වැඩවාසය කරණසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’ කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. ඒ භික්ෂූහු පින්වතුන් වහන්සැයි’ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

“මහණෙනි, තොපට විදර්ශනා භාවනාවෙහි යෙදී වාසය කරණ බැවින් යහපත්වූ එක් රැයක් පිළිබඳවූ උදෙසීමයයි කියනලද මාතෘකාවද විස්තර වශයෙන් බෙදීමද, දෙශනා කරන්නෙමි. එය අසව්, මොනවට මෙනෙහි කරව්, කියන්නෙමියි” වදාළේය. “එසේය ස්වාමීන් වහන්සැයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේහට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

[1] “ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන් ගෙන් නොයන්නේය. අනාගත (නුපන්) පඤ්චස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යමක් ඉක්ම ගියේද එයා ප්‍රහීණ වූයේ (නැතිවූයේවේ.) අනාගත පඤ්චස්කන්ධය නොපැමිණියේ (නුපන්නේ) වෙයි.

[2] “වර්තමානවූ (ඉපද පවත්නාවූ) යම් පඤ්චස්කන්ධයක් වේද, ඒ පඤ්චස්කන්ධය ඒ ඒ උපන් තන්හිම අනිත්‍යාදී වශයෙන් බලන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට පණ්ඩිත භික්ෂුතෙමේ වඩන්නේය.

[3] “අදම කෙලෙස් තවන වීර්‍ය්‍යය කළ යුත්තේය. හෙට මරණය සිදුවන්නේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති ඒ මාරයා සමග ගිවිසුම්කොට නැවතීමක් නොවන්නේමය.

[4] “මෙසේ වාසය කරන්නාවූ කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ රෑ දාවල් දෙක්හි අනලස්වූ මෙසේ පිළිපන් පුද්ගලයා ඒකාන්තයෙන් යහපත්වූ එක් රැයක් ඇති භික්ෂුව යයි ශාන්තවූ බුද්ධ මුනිතෙමේ වදාළේය.

“මහණෙනි, කෙසේ වනාහි ඉකුත්ව ගිය ස්කන්ධයන් අනුව යන්නේද? අතීත කාලයෙහි මම මෙබඳු රූප ඇත්තෙක් වූයෙම් යයි එහි තෘෂ්ණාව අනුව පවත්වන්නේය. අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වූයෙම්යයි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අතීතකාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වූයෙම්යයි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වූයෙම්යයි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. අතීත කාලයෙහි මෙබඳු විඥාණ ඇත්තෙක් වූයෙම්යයි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. මහණෙනි, මෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව යන්නේය.

“මහණෙනි, කෙසේ නම් ඉකුත්වූ ස්කන්ධයක් අනුව නොයන්නේද? අතීත කාලයෙහි මෙබඳු රුප ඇත්තෙක් වූයෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්නේය. අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වූයෙම්යයි, එහි තෘෂ්ණාව නොපවත්නේය. අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වූයෙම්යයි, එහි තෘෂ්ණාව නොපවත්නේය. අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වූයෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්නේය. අතීත කාලයෙහි මෙබඳු විඥාණ ඇත්තෙක් වූයෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්නේය. මහණෙනි, මෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව නොයන්නේය.

“මහණෙනි, කෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කෙරේද? අනාගත කාලයෙහිදී මෙබඳු රූප ඇත්තෙක් වන්නෙම් යයි එහි තෘෂ්ණාව පවත් වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව පවත් වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව පවත් වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු විඥාන ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව පවත් වන්නේය. මහණෙනි, මෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේය. මහණෙනි, කෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකෙරේද, අනාගත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්නේය. අනාගත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්නේය. අනාගත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. මහණෙනි, මෙසේ වනාහි අනාගත ස්කන්ධයන්හි ප්‍රාර්ථනා නොකරන්නේය.

“මහණෙනි, කෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන්හි විදර්ශනාවගේ අභාවයෙන් තෘෂ්ණා දෘෂ්ටීන් විසින් අදිනු ලැබේද? මහණෙනි, මේ ලොකයෙහි ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂ නොවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුණාවූ, බුද්ධාදී සත්පුරුෂයන් නොදක්නාවූ, එම සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ නොවූ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණාවූ, ඇසූ පිරූ තැන් නැති පෘථග්ජන තෙමේ රූප ස්කන්ධය තමා වශයෙන් දකින්නේය. තමන් රූප ස්කන්ධය ඇත්තෙකැයි කියා හෝ දකින්නේය. රූප ස්කන්ධය තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකින්නේය. රූප ස්කන්ධයෙහි තමා ඇත්තේයයි කියා හෝ දකින්නේය. වේදනා ස්කන්ධය තමායයි දකින්නේය. තමා වේදනා ස්කන්ධය ඇත්තෙක කියා හෝ දකින්නේය. වේදනා ස්කන්ධය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දකින්නේය. වේදනා ස්කන්ධයෙහි තමා ඇත්තේය කියා හෝ දකින්නේය. සංඥා ස්කන්ධය තමා වශයෙන් දකින්නේය. තමා සංඥා ස්කන්ධය ඇත්තෙක කියා හෝ දකින්නේය. සංඥා ස්කන්ධය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දකින්නේය. සංඥා ස්කන්ධයෙහි තමා ඇත්තේය කියා හෝ දකින්නේය. සංස්කාර ස්කන්ධය තමා වශයෙන් දකින්නේය. තමා සංස්කාර ස්කන්ධය ඇත්තෙකැයි කියා හෝ දකින්නේය. සංස්කාර ස්කන්ධය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දකින්නේය සංස්කාර ස්කන්ධයෙහි තමා ඇත්තේය කියා හෝ දකින්නේය. විඥාන ස්කන්ධය තමා වශයෙන් දකින්නේය. තමා විඥාන ස්කන්ධය ඇත්තෙක කියා හෝ දකින්නේය. විඥාන ස්කන්ධය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දකින්නේය. තමා විඥාන ස්කන්ධය කෙරෙහි ඇත්තේය කියා හෝ දකින්නේය. මහණෙනි, මෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන්හි විදර්ශනා භාවනා නැති හෙයින් තෘෂ්ණා දෘෂ්ටීන් විසින් අදිනු ලැබේ.

“මහණෙනි, කෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන්හි තෘෂ්ණා දෘෂ්ටීන් විසින් නොඅදිනු ලැබේද, මහණෙනි, මේ සස්නෙහි ආර්‍ය්‍යයන් දක්නා ස්වභාව ඇත්තාවූ, ආර්‍ය්‍යධර්මයෙහි දක්ෂවූ, ආර්‍ය්‍යධර්මයෙහි හික්මුනාවූ, බුද්ධාදී සත්පුරුෂයන් දක්නා ස්වභාව ඇත්තාවූ, එම සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපය තමායයි නොදක්නේය. තමා රූප ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. රූප ස්කන්ධය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ නොදක්නේය. රූප ස්කන්ධය කෙරෙහි තමා ඇත්තේය කියා හෝ නොදක්නේය. වේදනා ස්කන්ධය තමා වශයෙන් නොදක්නේය. තමා වේදනාව ඇත්තෙකැයි හෝ නොදක්නේය. වේදනාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදක්නේය. තමා වේදනාව කෙරෙහි ඇත්තේ යයි කියා නොදක්නේය. සංඥා ස්කන්ධය තමා වශයෙන් නොදක්නේය. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. සංඥාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදක්නේය. තමා සංඥාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදක්නේය. සංස්කාර ස්කන්ධය තමා වශයෙන් නොදක්නේය. තමා සංස්කාර ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. සංස්කාර තමාකෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදක්නේය. තමා සංස්කාර කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදක්නේය. විඥාන ස්කන්ධය තමා වශයෙන් නොදක්නේය. තමා විඥාන ස්කන්ධය ඇත්තෙකැයි හෝ නොදක්නේය. විඥාන ස්කන්ධය තමා කෙරෙහි හෝ නොදක්නේද, තමා විඥාන ස්කන්ධය කෙරෙහි හෝ නොදක්නේද, මහණෙනි, මෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන්හි තෘෂ්ණා දෘෂ්ටීන් විසින් නොඅදිනු ලැබේ.

“අතීත පඤ්ච ස්කන්ධයන් අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය. අනාගත පඤ්ච ස්කන්ධයන් තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. ඒකාන්තයෙන් එබඳු පුද්ගලයා යහපත් එක් රැයක් ඇති තැනැත්තේයයි ශාන්තවූ බුද්ධ මුනි තෙමේ වදාරන්නේයි.

“මහණෙනි, තොපට යහපත් එක් රාත්‍රියක් ඇති තැනැත්තාගේ උද්දෙස සංඛ්‍යාත මාතෘකාවක් විභංගයයි කියනලද විස්තර දෙශනාවක් දෙශනා කරන්නෙමි යන යම් වචනයක් කියන කරන ලද්දේද, එය මේ සඳහා කියන ලද්දේ වෙයි.”

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළේය. සතුටු සිත් ඇති ඒ භික්ෂූන්වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට විශෙෂයෙන් සතුටු වූවාහුය.

පළමුවැනිවූ භද්දෙකරත්ත සූත්‍රය නිමි. (4-1)