සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

7. මහා වර්ගය

6. සම්මසන සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ “කම්මාස්සදම්ම” නම්වූ, කුරුරට වාසීන්ගේ නියම්ගම සමීපයෙහි වසනසේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන්ට කථාකළසේක. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.

“මහණෙනි, තොපි අභ්‍යන්තර ප්‍රත්‍යයන් විමසා බැලීම කරන්නහුද?” මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මම වනාහි අභ්‍යන්තර ප්‍රත්‍යය විමසා බැලීම කරන්නෙමි”යි කියායි. “මහණ, ඔබ කෙසේ වනාහි අභ්‍යන්තර ප්‍රත්‍යයන් විමසා බැලීම කරන්නෙහිද?” ඉක්බිති ඒ මහණ තෙම (තමා විමසා බලන ක්‍රමය) පැහැදිළි කළේය. යම්සේ ඒ මහණතෙම පැහැදිළි කළේද, ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේගේ සිත සතුටු නොකළේය.

“මෙසේ කීකල්හි ඇවැත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “භාග්‍යවතුන් වහන්සේ යම් අභ්‍යන්තර ප්‍රත්‍යය විමසා බැලීමක් දේශනා කරනසේක් නම්, භාග්‍යවතුන් වහන්ස, එයට මේ කාලයයි. සුගතයන් වහන්ස, එයට මේ කාලයයි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරත්යයි” කියායි. “ආනන්දය, එසේවී නම් අසව්, මනාකොට මෙනෙහිකරව්. කියන්නෙමියි” (වදාළ සේක.) “එසේය ස්වාමීනි,” කියා, ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විමසා බැලීම කරන්නේ අභ්‍යන්තර ප්‍රත්‍යය විමසා බලයි. (කෙසේද?) යම් මේ නානාප්‍රකාරවූ, ජරා මරණ දුක් ලෝකයෙහි උපදීද, මේ දුක වනාහි කුමක් නිදාන කොට ඇත්තේද? කුමක් හේතු කොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? කුමක් ඇතිකල්හි ජරා මරණය ඇතිවේද? කුමක් නැතිකල්හි ජරා මරණය ඇති නොවේද? කියායි. ඒ මහණතෙම විමසා බලන්නේ මෙසේ දැනගනියි. (කෙසේද?) යම් මේ නානාප්‍රකාරවූ, ජරා මරණ දුක් ලෝකයෙහි උපදීද, මේ දුක වනාහි පඤ්චස්කන්ධය නිදානකොට ඇත්තේය. පඤ්චස්කන්ධය සමුදය කොට ඇත්තේය. පඤ්චස්කන්ධය ජාතිකොට ඇත්තේය. පඤ්චස්කන්ධය ප්‍රභවකොට ඇත්තේය. පඤ්චස්කන්ධය ඇති කල්හි ජරා මරණය ඇතිවේ. පඤ්චස්කන්ධය නැති කල්හි ජරා මරණය ඇති නොවේ, කියායි.

“ඒ මහණතෙම ජරා මරණයද දැනගනියි. ජරා මරණය ඇතිවීමේ හේතුවද දැනගනියි. ජරා මරණය නැතිවීමද දැන ගනියි. ජරා මරණය නැතිකරන යම් මාර්ගයක් වේද, එයත් දැනගනියි. ධර්මය අනුව හැසිරෙන්නේ, එසේ පිළිපන්නේද වෙයි. මහණෙනි, මේ මහණ තෙම සියලු ආකාරයෙන් මනාකොට දුක් නැතිකිරීම පිණිස, ජරා මරණය නැතිකිරීම පිණිස පිළිපන්නේයයි කියනු ලැබේ.

“ඉක්බිති නැවතත් විමසාබැලීම කරන්නේ අභ්‍යන්තර ප්‍රත්‍යය විමසා බලයි. කෙසේද? මේ පඤ්චස්කන්ධය වනාහි කුමක් නිදාන කොට ඇත්තේද, කුමක් හේතුකොට ඇත්තේද, කුමක් ජාතිකොට ඇත්තේද, කුමක් ප්‍රභවකොට ඇත්තේද, කුමක් ඇතිකල්හි පඤ්චස්කන්ධය ඇතිවේද? කුමක් නැතිකල්හි පඤ්චස්කන්ධය ඇතිනොවේද? කියායි. හෙතෙම විමසනු ලබන්නේ මෙසේ දැනගනියි. පඤ්චස්කන්ධය තණ්හාව නිදානකොට ඇත්තේය. තණ්හාව හේතුකොට ඇත්තේය. තණ්හාව ජාතිකොට ඇත්තේය. තණ්හාව ප්‍රභවකොට ඇත්තේය. තණ්හාව ඇතිකල්හි පඤ්චස්කන්ධය ඇතිවේ. තණ්හාව නැතිකල්හි පඤ්චස්කන්ධය ඇති නොවේය කියායි. හෙතෙම පඤ්චස්කන්ධයද දැනගනියි. පඤ්චස්කන්ධය ඇතිවීමේ හේතුවද දැනගනියි. පඤ්චස්කන්ධය නැතිවීමද දැනගනියි. පඤ්චස්කන්ධය නැතිකිරීමට යායුතු සුදුසු මාර්ගයක් වේද, එයත් දැනගනියි. ධර්මය අනුව හැසිරෙන්නේ එසේ පිළිපන්නේද වෙයි. මහණෙනි මේ මහණතෙම සියලු ආකාරයෙන් මනාකොට දුක් නැතිකිරීම පිණිස, පඤ්චස්කන්ධය නැතිකිරීම පිණිස පිළිපන්නේයයි කියනු ලැබේ.

“ඉක්බිති නැවතත් විමසා බැලීම කරන්නේ, අභ්‍යන්තර ප්‍රත්‍යය විමසා බලයි. (කෙසේද?) මේ තණ්හාව වනාහි උපදිනු ලබන්නී, කොතැන්හි උපදින්නීද? සිටිනු ලබන්නී, කොතැන්හි සිටින්නීද? කියායි. ඒ මහණතෙම විමසන්නේ මෙසේ දැනගනියි. (කෙසේද?) ලෝකයෙහි වනාහි යම්කිසි ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් ඇත්තේ වේද, මෙතැන්හි මේ තණ්හා තොමෝ උපදිනු ලබන්නී, උපදින්නීය. සිටිනු ලබන්නී, සිටින්නීය, ලෝකයෙහි ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය කවරේද? ලෝකයෙහි ඇස ප්‍රිය ස්වභාවයෙන් සහ මධුර ස්වභාවයෙන් යුක්තය. මෙහි මේ තණ්හා තොමෝ උපදිනු ලබන්නී උපදින්නීය. සිටිනු ලන්නී සිටින්නීය. ලෝකයෙහි කණ ප්‍රිය ස්වභාවයෙන් සහ මධුර ස්වභාවයෙන් යුක්තය. මෙහි මේ තණ්හා තොමෝ උපදිනු ලබන්නී උපදින්නීය. සිටිනු ලබන්නී සිටින්නීය. ලෝකයෙහි නැහැය ප්‍රිය ස්වභාවයෙන් සහ මධුර ස්වභාවයෙන් යුක්තය. මෙහි මේ තණ්හා තොමෝ උපදිනු ලබන්නී උපදින්නීය. සිටිනු ලබන්නී සිටින්නීය. ලෝකයෙහි දිව ප්‍රිය ස්වභාවයෙන් සහ මධුර ස්වභාවයෙන් යුක්තය. මෙහි මේ තණ්හා තොමෝ උපදිනු ලබන්නී උපදින්නීය. සිටිනු ලබන්නී සිටින්නීය. ලෝකයෙහි කය ප්‍රිය ස්වභාවයෙන් සහ මධුර ස්වභාවයෙන් යුක්තය. මෙහි මේ තණ්හා තොමෝ උපදිනු ලබන්නී උපදින්නීය. සිටිනු ලබන්නී සිටින්නීය. ලෝකයෙහි මනස ප්‍රිය ස්වභාවයෙන් සහ මධුර ස්වභාවයෙන් යුක්තය. මෙහි මේ තණ්හා තොමෝ උපදිනු ලබන්නී උපදින්නීය. සිටිනු ලබන්නී සිටින්නීය.

“මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ලෝකයෙහි යමක් ප්‍රිය ස්වභාවය ඇත්තේ, මධුර ස්වභාවය ඇත්තේ වේද, එය නිත්‍ය වශයෙන් දැක්කාහුද, සැප වශයෙන් දැක්කාහුද, ආත්ම වශයෙන් දැක්කාහුද, නිරෝගී වශයෙන් දැක්කාහුද, නිර්භය වශයෙන් දැක්කාහුද, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ තණ්හාව වැඩුවාහුය.

“යම් කෙනෙක් තණ්හාව වැඩුවාහුද, ඔවුහු පඤ්චස්කන්ධය වැඩුවාහුය. යම් කෙනෙක් පඤ්චස්කන්ධය වැඩුවාහුද, ඔවුහු දුක වැඩුවාහුය. යම් කෙනෙක් දුක වැඩුවාහුද, ඔවුහු ජාති, ජරා, මරණ ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයන්ගෙන් නොමිදුනාහුය. දුකින් නොමිදුනාහු යයිද කියමි.

“මහණෙනි, අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ලෝකයෙහි යමක් ප්‍රිය ස්වභාවය ඇත්තේ, මධුර ස්වභාවය ඇත්තේ වේද, එය නිත්‍ය වශයෙන් දක්නාහුද, සැප වශයෙන් දක්නාහුද, ආත්ම වශයෙන් දකින්නාහුය, නිරෝගි වශයෙන් දකින්නාහුද, නිර්භය වශයෙන් දකින්නාහුද, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ තණ්හාව වඩන්නාහුය.

“යම් කෙනෙක් තණ්හාව වඩන්නාහුද, ඔවුහු පඤ්චස්කන්ධය වඩන්නාහුය. යම් කෙනෙක් පඤ්චස්කන්ධය වඩන්නාහුද, ඔවුහු දුක වඩන්නාහුය. යම් කෙනෙක් දුක වඩන්නාහුද, ඔවුහු ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් උපායාසයන්ගෙන් නොමිදෙන්නාහුය. දුකින් නොමිදෙන්නාහුයයිද කියමි.

“මහණෙනි, වර්තමාන කාලයෙහි වනාහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ලෝකයෙහි යමක් ප්‍රිය ස්වභාවය ඇත්තේ, මධුර ස්වභාවය ඇත්තේ වේද, එය නිත්‍යවශයෙන් දකිත්ද, සැප වශයෙන් දකිත්ද, ආත්මය වශයෙන් දකිත්ද, නිරෝගී වශයෙන් දකිත්ද, නිර්භය වශයෙන් දකිත්ද, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ තණ්හාව වඩත්.

“යම් කෙනෙක් තණ්හාව වඩත්ද, ඔවුහු පඤ්චස්කන්ධය වඩත්. යම් කෙනෙක් පඤ්චස්කන්ධය වඩත්ද, ඔවුහු දුක වඩත්. යම් කෙනෙක් දුක වඩත්ද, ඔවුහු ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයන්ගෙන් නොමිදෙත්. දුකින් නොමිදෙත් යයිද කියමි.

“මහණෙනි, යම්සේ වනාහි වර්ණයෙන් යුක්තවූ, ගන්ධයෙන් යුක්තවූ, රසයෙන් යුක්තවූ, පියයුතු සුරාවෙන් පිරවූ, භාජනයක් වේද, එයද වනාහි විෂයෙන් මිශ්‍රවූයේය. ඉක්බිති ග්‍රීෂ්මයෙන් තැවුනාවූ, ග්‍රීෂ්මයෙන් ස්පර්ශකළාවූ, ක්ලාන්තවූ, තැති ගත්තාවූ, පිපාසිතවූ, පුරුෂයෙක් එන්නේය. ඔහුට මෙසේ කියන්නාහුය. පින්වත් පුරුෂය, නුඹගේ මේ පියයුතු සුරාවෙන් පිරවූ භාජනය වර්ණයෙන් යුක්තවූයේය. ගන්ධයෙන් යුක්තවූයේය. රසයෙන් යුක්තවූයේය. එයද වනාහි විෂයෙන් යුක්තවූයේය. ඉදින් කැමැත්තෙහි නම් බොව. බොන්නාහට වර්ණයෙන්ද, ගන්ධයෙන්ද, රසයෙන්ද, කැමැති වන්නේය. පානය කළ කල්හි වනාහි ඒ හේතුවෙන් මරණයට හෝ පැමිණෙහිය. මරණය සමාන දුකකට හෝ පැමිණෙහිය කියායි.

ඒ පුරුෂතෙම ඒ පියයුතු සුරාවෙන් පිරවූ භාජනය නොවිමසා වහා බොන්නේද, අත් නාරින්නේද, හෙතෙම ඒ හේතුවෙන් මරණයට හෝ පැමිණෙයි. මරණය සමාන දුකකට හෝ පැමිණෙයි. මහණෙනි, එසේම වනාහි අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ලෝකයෙහි යමක් ප්‍රිය ස්වභාවය ඇත්තේ වේද, මධුර ස්වභාවය ඇත්තේ වේද, එය නිත්‍ය වශයෙන් දැක්කාහුද, සැප වශයෙන් දැක්කාහුද, ආත්ම වශයෙන් දැක්කාහුද නිරෝගි වශයෙන් දැක්කාහුද, නිර්භය වශයෙන් දැක්කාහුද ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ තණ්හාව වැඩුවාහුය.

“යම් කෙනෙක් තණ්හාව වැඩුවාහුද, ඔවුහු පඤ්චස්කන්ධය වැඩුවාහුය. යම් කෙනෙක් පඤ්චස්කන්ධය වැඩුවාහුද, ඔවුහු දුක වැඩුවාහුය. යම් කෙනෙක් දුක වැඩුවාහුද, ඔවුහු ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයන්ගෙන් නොමිදුනාහුය. දුකින් නොමිදුනාහු යයිද කියමි.

“මහණෙනි, අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ලෝකයෙහි යමක් ප්‍රිය ස්වභාවය ඇත්තේ වේද, මධුර ස්වභාවය ඇත්තේ වේද, එය නිත්‍ය වශයෙන් දැක්කාහුද, සැප වශයෙන් දැක්කාහුද, ආත්මය වශයෙන් දැක්කාහුද, නිරෝගි වශයෙන් දැක්කාහුද, නිර්භය වශයෙන් දැක්කාහුද, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ තණ්හාව වඩන්නාහුය.

“යම් කෙනෙක් තණ්හාව වඩන්නාහුද, ඔවුහු පඤ්චස්කන්ධය වඩන්නාහුය. යම් කෙනෙක් පඤ්චස්කන්ධය වඩන්නාහුද, ඔවුහු දුක වඩන්නාහුය. යම් කෙනෙක් දුක වඩන්නාහුද, ඔවුහු ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, (හැඬීම්), දුක්, දොම්නස්, උපායාසයන්ගෙන් (වැළපීමෙන්) නොමිදෙන්නාහුය. දුකින් නොමිදෙන්නාහු යයිද කියමි.

“මහණෙනි, වර්තමාන කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ලෝකයෙහි යමක් ප්‍රිය ස්වභාව ඇත්තේ වේද, මධුර ස්වභාවය ඇත්තේවේද, එය නිත්‍ය වශයෙන් දකිත්ද, සැප වශයෙන් දකිත්ද, ආත්ම වශයෙන් දකිත්ද, නිරෝගි වශයෙන් දකිත්ද, නිර්භය වශයෙන් දකිත්ද, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ තණ්හාව වඩත්.

“යම් කෙනෙක් තණ්හාව වඩත්ද, ඔව්හු පඤ්චස්කන්ධය වඩත්. යම් කෙනෙක් පඤ්චස්කන්ධය වඩත්ද, ඔවුහු දුක වඩත්. යම් කෙනෙක් දුක වඩත්ද, ඔවුහු ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව (හැඬීම්), දුක් දොම්නස් උපායාසයන්ගෙන් (වැළපීමෙන්) නොමිදෙත්. දුකින් නොමිදෙත්යයිද, කියමි.”

“මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ලෝකයෙහි යමක් ප්‍රිය ස්වභාවය ඇත්තේ වේද, මධුර ස්වභාවය ඇත්තේ වේද, එය අනිත්‍ය වශයෙන් දැක්කාහුද, දුක් වශයෙන් දැක්කාහුද, අනාත්මය වශයෙන් දැක්කාහුද, රෝග වශයෙන් දැක්කාහුද භය වශයෙන් දැක්කාහුද ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ තණ්හාව දුරු කළාහුය.

“යම් කෙනෙක් තණ්හාව දුරු කළාහුද, ඔවුහු පඤ්චස්කන්ධය දුරු කළාහුය. යම් කෙනෙක් පඤ්චස්කන්ධය දුරු කළාහුද, ඔවුහු දුක දුරු කළාහුය යම් කෙනෙක් දුක දුරුකළාහුද ඔවුහු ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව (හැඬීම්), දුක්, දොම්නස්, උපායාසයන්ගෙන් (වැළපීමෙන්) මිදුනාහුය. දුකින් මිදුනාහුයයිද කියමි.”

“මහණෙනි, අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ලෝකයෙහි ප්‍රිය ස්වභාවය ඇති, මධුර ස්වභාවය ඇති යමක් වේද, එය අනිත්‍ය වශයෙන් දකින්නාහුද, දුක් වශයෙන් දකින්නාහුද, අනාත්ම වශයෙන් දකින්නාහුද, රෝග වශයෙන් දකින්නාහුද, භය වශයෙන් දකින්නාහුද, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ තණ්හාව දුරු කරන්නාහුය. යම් කෙනෙක් තණ්හාව දුරු කරන්නාහුද, ඔවුහු පඤ්චස්කන්ධය දුරු කරන්නාහුය. යම් කෙනෙක් පඤ්චස්කන්ධය දුරු කරන්නාහුද, ඔවුහු දුක දුරු කරන්නාහුය යම් කෙනෙක් දුක දුරු කරන්නාහුද ඔවුහු ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව (හැඬීම්), දුක්, දොම්නස්, උපායාසයන්ගෙන් (වැළපීමෙන්) මිදෙන්නාහුය. දුකින් මිදෙන්නාහුයයිද කියමි”

“මහණෙනි, වර්තමාන කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ ලෝකයෙහි ප්‍රිය ස්වභාව ඇති, මධුර ස්වභාවය ඇති, යමක් වේද, එය අනිත්‍ය වශයෙන් දකිත්ද, දුක් වශයෙන් දකිත්ද, අනාත්ම වශයෙන් දකිත්ද, රෝග වශයෙන් දකිත්ද, භය වශයෙන් දකිත්ද, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ තණ්හාව දුරු කෙරෙත්. යම් කෙනෙක් තණ්හාව දුරු කෙරෙත්ද, ඔවුහු පඤ්චස්කන්ධය දුරු කෙරෙත්. යම් කෙනෙක් පඤ්චස්කන්ධය දුරු කෙරෙත්ද, ඔවුහු දුක දුරු කෙරෙත්. යම් කෙනෙක් දුක දුරු කෙරෙත්ද ඔවුහු ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව (හැඬීම්), දුක්, දොම්නස් උපායාසයන්ගෙන් (වැළපීමෙන්) මිදෙත්. දුකින් මිදෙත්යයි කියමි.

“මහණෙනි, යම්සේ වනාහි වර්ණයෙන් යුක්තවූ, ගන්ධයෙන් යුක්තවූ, රසයෙන් යුක්තවූ, පියයුතු සුරාවෙන් පිරවූ භාජනයක් වේද, එයද වනාහි විෂයෙන් මිශ්‍රවූයේය. ඉක්බිති ග්‍රීෂ්මයෙන් තැවුනාවූ, ග්‍රීෂ්මයෙන් ස්පර්ශ කළාවූ, ක්ලාන්තවූ, තැති ගත්තාවූ, පිපාසිතවූ පුරුෂයෙක් එන්නේය. ඔහුට මෙසේ කියන්නාහුය. ‘පින්වත් පුරුෂය, නුඹේ මේ පියයුතු සුරාවෙන් පිරවූ භාජනය වර්ණයෙන් යුක්තවූයේය, ගන්ධයෙන් යුක්තවූයේය. රසයෙන් යුක්තවූයේය. එයද වනාහි විෂයෙන් යුක්තවූයේය. ඉදින් කැමැත්තෙහි නම් පානය කරව පානය කරන්නාහට වනාහි ඒ පැන් රිසි වන්නේය. පානයකොට වනාහි ඒ හේතුවෙන් මරණයට හෝ පැමිණෙන්නෙහිය. මරණය සමාන දුකකට හෝ පැමිණෙන්නෙහිය කියායි.

“මහණෙනි, ඉක්බිති ඒ පුරුෂයාට මේ අදහස ඇති වෙයි. මට මේ සුරා පිපාසය වනාහි ජලයෙන් හෝ සංසිඳවන්නට හැක්කේය. මිදුනු කිරෙහිවූ දියෙන් හෝ සංසිඳවන්නට හැක්කේය. ලුණු සහ අත්සුණු මිශ්‍ර ජලයෙන් හෝ සංසිඳ වන්නට හැක්කේය. ධාන්‍ය වර්ග, ගෙඩි වර්ග, බඩ වර්ග දමා සෑදූ දියෙන් හෝ සංසිඳවන්නට හැක්කේය. යමක් මට බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස වන්නේද මම එය පානය නොකරන්නෙමි කියායි. හෙතෙම ඒ සුරා භාජනය සලකා බැලීමෙන් පානය නොකරන්නේය. අත්හැර දමන්නේය. හෙතෙම ඒ හේතුවෙන් මරණයට හෝ නොපැමිණෙන්නේය. මරණය හා සමාන දුකකට හෝ නොපැමිණෙන්නේය.

“මහණෙනි, එසේම අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ලෝකයෙහි ප්‍රිය ස්වභාවය ඇති, මධුර ස්වභාවය ඇති යමක් වේද, එය අනිත්‍ය වශයෙන් දැක්කාහුද, දුක් වශයෙන් දැක්කාහුද, අනාත්ම වශයෙන් දැක්කාහුද, රෝග වශයෙන් දැක්කාහුද, භය වශයෙන් දැක්කාහුද ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ තණ්හාව දුරු කළාහුය. යම් කෙනෙක් තණ්හාව දුරු කළාහුද, ඔවුහු පඤ්චස්කන්ධය දුරු කෙරෙත්. යම් කෙනෙක් පඤ්චස්කන්ධය දුරු කෙරෙත්ද ඔවුහු දුක දුරු කෙරෙත්. යම් කෙනෙක් දුක දුරු කෙරෙත්ද ඔවුහු ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව (හැඬීම්), දුක්, දොම්නස් උපායාසයන්ගෙන් (වැළපීමෙන්) මිදුනාහුය. දුකින් මිදුනාහුයයිද කියමි.

“මහණෙනි අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ලෝකයෙහි ප්‍රිය ස්වභාවය ඇති, මධුර ස්වභාවය ඇති යමක් වේද, එය අනිත්‍ය වශයෙන් දකින්නාහුද, දුක් වශයෙන් දකින්නාහුද, අනාත්ම වශයෙන් දකින්නාහුද, රෝග වශයෙන් දකින්නාහුද, භය වශයෙන් දකින්නාහුද ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ තණ්හාව දුරු කරන්නාහුය. යම් කෙනෙක් තණ්හාව දුරු කරන්නාහුද ඔවුහු පඤ්චස්කන්ධය දුරු කරන්නාහුය. යම් කෙනෙක් පඤ්චස්කන්ධය දුරු කරන්නාහුද ඔවුහු දුක දුරු කරන්නාහුය. යම් කෙනෙක් දුක දුරු කරන්නාහුද ඔව්හු ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව (හැඬීම්), දුක්, දොම්නස්, උපායාසයන්ගෙන් (වැළපීමෙන්) මිදෙන්නාහුය. දුකෙන් මිදෙන්නාහුයයි කියමි.

“මහණෙනි, වර්තමාන කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ලෝකයෙහි ප්‍රිය ස්වභාව ඇති, මධුර ස්වභාවය ඇති යමක්වේද, එය අනිත්‍ය වශයෙන් දකිත්ද, දුක් වශයෙන් දකිත්ද, අනාත්ම වශයෙන් දකිත්ද, රෝග වශයෙන් දකිත්ද, භය වශයෙන් දකිත්ද ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ තණ්හාව දුරු කෙරෙත්. යම් කෙනෙක් තණ්හාව දුරු කෙරෙත්ද, ඔවුහු පඤ්චස්කන්ධය දුරු කෙරෙත්. යම් කෙනෙක් පඤ්චස්කන්ධය දුරු කෙරෙත්ද, ඔවුහු දුක දුරුකෙරෙත්. යම් කෙනෙක් දුක දුරු කෙරෙත්ද, ඔවුහු ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව (හැඬීම්), දුක්, දොම්නස්, උපායාසයන්ගෙන් (වැළපීමෙන්) මිදෙත්. දුකින් මිදෙත්යයි කියමි.”

(හයවන සම්මසන සූත්‍රය නිමි.)