අංගුත්තර නිකාය
එක නිපාතය
4. දේවදූත වර්ගය
38. සක්කභාසිත සූත්‍රය
“මහණෙනි, පෙර ශක්‍ර දෙවෙන්ද්‍ර තෙම තව්තිසා දෙවියන් අවබෝධ කරවමින් ඒ වේලාවෙහි මේ ගාථාව ප්‍රකාශ කෙළේය.
“යම් මනුෂ්‍යයෙක් තෙම මා වැන්නෙක් වන්නේද නොහොත් මා විසින් පැමිණෙන ලද සම්පත්තියට පැමිණෙනු කැමති වන්නේද, හෙතෙම තුදුස්වක් දිනයෙහිද, පසළොස්වක් දිනයෙහිද, පක්ෂයෙහි අටවක් දිනයෙහිද ප්‍රාතිහාර්‍ය්‍ය පක්ෂයෙහිද ගුණාංගයකින් යුක්තවූ උපොසථ සීලයෙහි උපවාසය කරන්නේය.’
“මහණෙනි සක්දෙව්රජ විසින් ඒ මේ ගාථා තොමෝ වනාහි නපුරුකොට ගායනා කරණ ලද්දීය, යහපත් කොට ගායනා නොකරණ ලද්දීය, අයහපත් කොට ප්‍රකාශ කරණ ලද්දීය. යහපත් කොට ප්‍රකාශ නොකරණ ලද්දීය, ඊට හේතු කවරේද? මහණෙනි, දේවේන්ද්‍රවූ ශක්‍රතෙම වනාහි පහනොවූ රාග ඇත්තේය, පහනොවූ ද්වෙෂ ඇත්තේය, පහනොවූ මෝහ ඇත්තේය.”
“මහණෙනි, අර්හත්වූ ක්ෂය කරණ ලද කාමාදී ආශ්‍රව ඇත්තාවූ බඹසර වැස නිමකළාවූ කොට නිමවන ලද සිව්මග කටයුතු ඇත්තාවූ බහා තබන ලද ස්කන්ධාදී බර ඇත්තාවූ පිළිවෙලින් පැමිණියාවූ, අර්හත්වය ඇති ක්ෂය කරණ ලද භව බන්ධන ඇත්තාවූ මනාකොට දැන කෙලෙසුන් කෙරෙන් මිදුනාවූ යම් ඒ මහණෙක් වේද.
“යම් මනුෂ්‍යයෙක් තෙම මා වැනි ක්ෂීණාශ්‍රවකෙනෙක් වන්නේද? හෙතෙම තුදුස්වක් දිනයෙහිද, පසළොස්වක් දිනයෙහිද පක්ෂයෙහි අටවක් දිනයෙහිද, ප්‍රාතිහාර්‍ය්‍ය පක්ෂයෙහිද ගුණාංගයකින් යුක්තවූ උපොසථ සීලයෙහි උපවාසය කරන්නේය. ඒ භික්ෂුවම වනාහි කීමට සුදුසු වන්නේය කියායි.
“ඊට හේතු කවරේද? මහණෙනි, ඒ මහණතෙම වනාහි පහවූ රාග ඇත්තේ වේද, පහවූ ද්වෙෂ ඇත්තේ වේද පහවූ මෝහ ඇත්තේ වේද? එහෙයිනි, (මෙහි මේ සූත්‍රයේ 1. ඡෙදය යොදාගත යුතුයි.)
“මහණෙනි, බොහෝ පෙර සක්දෙව්රද විසින් මේ ගාථා තොමෝ වනාහි නපුරු කොට ගායනා කරණ ලද්දීය, යහපත් කොට ගායනා නොකරණ ලද්දීය. අයහපත් කොට ප්‍රකාශ කරණ ලද්දීය, යහපත් කොට ප්‍රකාශ නොකරණ ලද්දීය. ඊට හෙතු කවරේද, දෙවේන්ද්‍රවූ ශක්‍රතෙම වනාහි උත්පත්තියෙන්ද, ජරා මරණ දෙකින්ද, ශෝකවලින්ද, වැළපීම්වලින්ද, කායික දුක් වලින්ද චෛතසික දුක් වලින්ද, දැඩි ආයාස වලින්ද නොමිදුනේය. සියලු සංසාර දුකින් නොමිදුනේයයි කියමි.
“මහණෙනි, අර්හත්වූ ක්ෂය කරණ ලද කාමාදී ආශ්‍රව ඇත්තාවූ බඹසර වැස නිමකළාවූ කොට නිමවන ලද සිව්මග කටයුතු ඇත්තාවූ බහා තබන ලද ස්කන්ධාදී බර ඇත්තාවූ පිළිවෙලින් පැමිණියාවූ, අර්හත්වය ඇති ක්ෂය කරණ ලද භව බන්ධන ඇත්තාවූ මනාකොට දැන කෙලෙසුන් කෙරෙන් මිදුනාවූ යම් ඒ මහණෙක් වේද, ඒ භික්ෂුවම වනාහි මෙසේ කීමට සුදුසු වන්නේය. කෙසේද?
“යම් මනුෂ්‍යයෙක් තෙම මා වැනි ක්ෂීණාශ්‍රව කෙනෙක් වන්නේද හෙතෙම තුදුස්වක් දිනයෙහිද, පසළොස්වක් දිනයෙහිද, පක්ෂයෙහි අටවක් දිනයෙහිද, ප්‍රාතිහාර්‍ය්‍ය පක්ෂයෙහිද ගුණාංගයකින් යුක්තවූ උපොසථ සීලයෙහි උපවාසය කරන්නේය.’ කියායි.
“මහණෙනි, ඒ මහණතෙම ජාති, ජරා, මරණ, ශොක පරිදෙව, දුක් දොම්නස්, උපායාසවලින් මිදුනේය. සියලු සසර දුකින් මිදුනේයයි කියමියි” වදාළේය.”